ලොකු පොඩි සැමට සදාකාලික වද දෙන ඇදුම රෝගය

‘ඒ මිනිහා ඇදුමකාරයෙක්. අපෝ අඩියක් තියා ගන්න පණ නැහැ’ මේ කතාව ඇතැම් විට ඔබ අහලා ඇති. එහෙම නැතිනම් ඔබත් මෙවැනි අත්දැකීමකට මුහුණපාලා ඇති.

‘ඇදුම රොගය’ කියලා කියන්නේ ලෝකය පුරාම ව්‍යාප්ත වෙලා තිබෙන රෝගයක්. ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරන ආකාරයට මේ වන විට ලෝකය පුරා ඇදුම රෝගීන් මිලියන 300කට අධික ප්‍රමාණයක් සිටිනවා. ලංකාවේ මිලියනක් පමණ ඇදුම රෝගීන් සිටින බව වාර්තා වෙනවා. ඒ අනුව ළමුන්ගෙන් සියයට 25ක් ද වැඩිහිටියන්ගෙන් සියයට 10ක් ද ඇදුම රෝගයෙන් පෙළෙන බවයි සෞඛ්‍ය අංශ වාර්තා කරන්නේ. මෙහි ඇති වඩාත් භයානක තත්ත්වය වන්නේ පසුගිය දශකය තුළ ලංකාවේ ඇදුම රෝගීන්ගේ සංඛ්‍යාව සියයට 50කින් වර්ධනය වීමයි.

ඇදුම හැදෙන්නේ කොහොමද ?

අප හුස්ම ගන්නා විට බාහිර පරිසරයේ ඇති වාතය අපගේ පෙණහළු තුළට ගෙන ඒම සඳහා උපකාර වන සියුම් නාළ පද්ධතියක් අප ශරීරයේ තිබෙනවා. නිරෝගී පුද්ගලයෙකුගේ නම් මෙම නාළ ඇතුළත ඇති කුහරය අවහිරයකින් තොරව පවතිනවා.

එහෙත් ඇදුම රෝගීන්ට පමණක් විශේෂිත වූ යම් කිසි හේතුවක් නිසා මෙම නාල පද්ධතිය පරිසරයේ ඇති නොයෙකුත් සාධකවලට දැඩි සංවේදීභාවයක් දක්වනවා. මේ නිසා එම නාලවල බිත්ති ඉදිමීම (ශ්ලේෂ්මල)  සෙම නිපදවීම සිදු වෙනවා. මේ හේතුව නිසා මෙම නාලවල ඇතුළත කුහරය පටු වීමට ලක් වෙනවා. මේවැනි තත්ත්වයකදී මේ නාල තුළින් වායු හුවමාරුව අපහසු වෙනවා. අදුම රෝග ලක්ෂණවලට මෙය හේතු වෙනවා.

අදුම රෝගයේ ලක්ෂණ මොනවාද ?

පහත සඳහන් රෝග ලක්ෂණ ඇදුම රෝගියකු තුළ දැකිය හැකියි.

■          හුස්ම ගැනීමේ අපහසුව

■          වෙහෙස වී වැඩ කිරීමේ අපහසුතාවය

■          පපුවේ තද ගතිය

■          සෙම සහිත කැස්ස හෝ වියළි කැස්ස

■          හුස්ම ගැනීමේදී නිකුත්වන සියුම් ශබ්දය (රාං රූං හඬ)

ඇදුම රෝගියෙකුට මෙම රෝග ලක්ෂණ බොහෝ විට ඇතිවන්නේ උදෑසන හෝ රාත්‍රි කාලයේදීයි.

ඇදුම වැඩි වන්නේ කොහොමද ?

ඇදුම රෝගයෙහි ලක්ෂණ වැඩි කරන කරුණු දෙකක් තිබෙනවා.

1.         විසර්ජනය

2.         විසර්ජන නොවන සාධක

විසර්ජනයට අයත් වන්නේ දූවිලිවල ජීවත් වන ‘දූවිලි මැක්කා, කැරපොත්තන්, මල්වල පරාග, තෙතමනය සහිත ස්ථානවල හට ගන්නා දිලීර (පුස්) බළලුන්, බල්ලන් වැනි සතුන්ගේ ලොම්, කෙළ, කුරුල්ලන් (කුකුළන්, ලව් බර්ඞ්ස්) ආහාර කල්තබා ගැනීමට යොදන රසකාරක හා වර්ණකාරක, දූවිලි, දුම්, රසායනික ද්‍රව්‍ය, දර උදුන් භාවිතය, ලී කුඩු වැනි දේවලුයි.

ඇතැම් ඇදුම රෝගීන්ට ඉස්සන්, දැල්ලන්, කකුළුවන්, රටකජු, වැනි ආහාර ගැනීමෙන් ද ඇදුම රෝගය උත්සන්න විය හැකියි.

විසර්ජන නොවන සාධක – දේශගුණයෙහි සිදුවන වෙනස්කම්, සැර ගන්ධයන්, සුවඳ දුම්, සිගරැට් දුම්, මදුරු දඟර දුම, දර ලිප්වලින් නිකුත් වන දුම ආදිය විසර්ජන නොවන සාධක වශයෙන් සැලකෙනවා.

ඇදුම නිධන්ගත රෝගයක් ද?

ඔව්, ඇදුම රෝගය ද අධික රුධිර පීඩනය, දියවැඩියාව වැනි  නිදන්ගත රෝගයක් වශයෙන් සැලකෙනවා.

ඇදුම මාරාන්තිකද ?

වර්තමානයේදී ඇදුම රෝගීන් සඳහා සාර්ථක ප්‍රතිකාර ක්‍රම රැසක් තිබෙන නිසා ඇදුම රෝගය නිසා මිය යන රෝගීන්ගේ සංඛ්‍යාව ඉතාම අඩුයි. නමුත් සෑම ඇදුම රෝගියෙකුම රෝගය උත්සන්න වී තම ජීවිතයට හානි සිදුවිය හැකි අවස්ථා ගැන දැනුවත්ව සිටිය යුතුයි. ඒ නිසා ඇදුම රෝගය උත්සන්න වූ විට කළ යුතු ප්‍රථමාධාර පිළිගත් වෛද්‍යවරයෙකු හමුවී ලබා ගත යුතුයි.

ඇදුම රෝගය සුව කළ හැකිද ?

ළමා කාලයේදී ඇතිවන ඇදුම රෝගය අවුරුදු 12-14 පමණ වන විට පහව යනවා. නමුත් මෙය සිදුවන්නේ ළමුන්ගෙන් සියයට 50කට පමණයි. ඒ ගැන දෙමාපියන් මනාව දැනුවත් විය යුතුයි.

ඇදුම රෝගය නිධන්ගත රෝගයක් වන නිසා එය නිට්ඨාවට සුව කළ හැකි රෝගයක් නොවෙයි. කළ හැකිවන්නේ එය මනාව පාලනය කර ගැනීම පමණයි. මේ නිසා වෛද්‍ය උපදෙස් මත දිගු කාලීන ප්‍රතිකාර ගැනීම මගින් ඇදුම රෝගය මනාව පාලනය කරගත හැකියි.

රෝගයට ප්‍රතිකාර මොනවාද ?

ඇදුම රෝගීන් සඳහා දෙයාකාරයක ප්‍රතිකාර ලබා දෙනවා.

1.         රෝග ලක්ෂණ පාලනය කරන ඖෂධ

2.         රෝගය පාලනය කරන ඖෂධ

රෝග ලක්ෂණ පාලනය කරන ඖෂධ ඇදුම රෝගියාගේ හතිය හා කැස්ස යන රෝග ලක්ෂණ සමනය කිරීම හා ඉතාම ඉක්මනින් සහනය ලබාදීම සිදුකරනවා. මෙහිදී සිදුවන්නේ තාවකාලික සුවය ලබාදීමක් පමණයි. රෝගය/ රෝග නිධානය කෙරෙහි මෙම ඖෂධ මගින් කිසිදු බලපෑමක් සිදුවන්නේ නැහැ.

මෙම ඖෂධ භාවිතයට ගත යුත්තේ රෝග ලක්ෂණ ඇතිවිට පමණයි. මෙ ඖෂධ බොහෝ විට නිල් පැහැති උපකරණ සහ නිල් පැහැති කරල් වශයෙන් ලබාගත හැකියි. ඇදුම රෝගය තදින් ඇති පුද්ගලයින් මෙම ඖෂධ නිතරම තමන් අසලින් තබාගත යුතුයි.

රෝගය පාලනය කරන ඖෂධ

මෙම ඖෂධ රෝගය මත / රෝග නිධානයෙහි ක්‍රියාත්මක වෙනවා. රෝගය ක්‍රමානුකූලව සුව අතට පත් කරන අතර වායු මාර්ග තුළ සිදුවන ඉදිමීම ද නැති කරනවා.

ඇදුම රෝගීන් අහිතකර ඖෂධ මොනවාද ?

ඇදුම රෝගී තත්ත්වය ඇති වන්නේ අප හුස්ම ගන්නා නාළවලයි. ඒ නිසා මෙම නාළවලට ඖෂධ ලබාදීමේදී අතුරු ආබාධ අඩු පහසුම ක්‍රමය වන්නේ ‘ඉන්හේලරය’ භාවිත කිරීමයි. මෙමගින් ලබා ගන්නා ඖෂධීය වාෂ්පයක් හෝ කරල් වශයෙන් ලබාදීමක් සිදු වෙනවා.

ඇදුම රෝගීන් සඳහා පෙති වර්ග මගින් ඖෂධ ලබා දෙන විට වැඩි බෙහෙත් මාත්‍රාවක් ලබාදිය යුතුයි. එහෙත් මේ හේතුවෙන් අතුරු ආබාධ ද ඇතිවිය හැකියි. අධික රුධිර පීඩනය, දියවැඩියාව, ඇස් පෙනීම දුර්වල වීම, අස්ථි දුර්වල වීම ආදි රෝග ලක්ෂණ මේ හේතුවෙන් මතුවිය හැකි බැවින් මෙම පෙති ඖෂධ දීර්ඝ කාලයක් ලබාදීම සුදුසු නැහැ.

ඔබගේ සුවිශේෂ අවධානයට

  • නිසි ලෙස ප්‍රතිකාර ලබා ගැනීම මගින් රෝග ලක්ෂණ පාලනය වීම හේතුවෙන් ඔබගේ එදිනෙදා නිවසේ, පාසලේ, රාජකාරි ස්ථානයේ කටයුතු බාධාවකින් තොරව කළ හැකියි.
  • රෝගය නිසි ආකාරයට පාලනය කරගත නොහැකි වුවහොත් රෝගයට ලක්වීමේ අවදානම සැම විටම පවතිනවා.
  • රෝගය පාලනය කර ගැනීමෙන් ප්‍රතිකාර සඳහා වැය වන වියදම අඩු වෙනවා.
  • රෝගය පාලනය කර ගැනීමෙන් ස්නානය, ආහාර ගැනීමේ අවදානමට මුහුණදීමට සිදුවීම ආදිය සිදු වන්නේ නැහැ.

රෝගය හඳුනාගත පසු කළ යුත්තේ කුමක්ද ?

ඔබ ඇදුම රෝගයෙන් පෙළෙන බව හඳුනා ගත්තේ නම්, ඔබේ හිතුමතයට හා තව කෙනෙකුගේ කතාවට නොදන්නා අත් බෙහෙත් හා ගොඩ වෙදකම් කිරීමට නොයන්න. වහාම පිළිගත් සුදුසු වෛද්‍යවරයෙකු වෙත යන්න. ඔහු ඔබගේ රෝග ලක්ෂණ අනුව සුදුසු ඖෂධ හා ප්‍රතිකාර වර්ග නියම කරාවි.

ඇදුම රෝගීන්ට ශාරීරික ව්‍යායාම හොඳ ද ?

ශාරීරිකව වෙහෙසෙන විට ඇදුම රෝග ලක්ෂණ මතුවීමට පුළුවන්. එහෙත් මෙය හේතුවක් කරගෙන කිසිම අවස්ථාවක ශාරීරිව ව්‍යායාම කිරීමෙන් වළකින්න එපා. ඊට හේතුව වන්නේ නිසි ලෙස ඖෂධ භාවිත කිරීම මගින් තත්තවය පාලනය වන නිසයි.

ඇදුම රෝගී ඔබ ව්‍යායාම කිරීමට පෙර ශරීරය උණුසුම් කිරීමේ ව්‍යායාම කළ යුතුයි. අවශ්‍ය නම් ව්‍යායාම කිරීමට පෙර ඖෂධ (සහනදායී ඖෂධ වර්ගයක්) ලබාගත හැකියි.

ඇදුම රෝගීන්ට පිහිනීම හොඳද ?

පිහිනීම ඇදුම රෝගීන්ට ඉතාමත් සුදුසු ව්‍යායාමයක් වශයෙන් සැලකෙනවා.

ඉන්හේලයරය භාවිත කරන්නේ කෙසේද ?

ඉන්හේලරය මගින් ඖෂධ කෙළින්ම පෙණහළු කරා යොමු කරනවා. ඒ නිසා ඉන්හේලරය භාවිතයෙන් ඉක්මනින් ම සහනය ලැබෙනවා. ඒ වගේම ඉන්හේලරය මගින් මාත්‍රාව අවම කරගත හැකි නිසා අහිතකර ප්‍රතිඵල ද සිදුවන්නේ නැහැ.

ඉන්හේලරය භාවිත කිරීමේදී ඔබ සැලකිලිමත් විය යුතු වැදගත් කරුණක් වන්නේ විවිධ වර්ගයේ ඉන්හේලර් වර්ග වෙළෙඳපොළේ පැවතීමයි. ඔබට සුදුසු ඉන්හේලර් වර්ගය තෝරා ගැනීමට ඔබ සැලකිලිමත් විය යුතුයි. ඒ වගේම මෙම උපකරණය භාවිත කරන ක්‍රමය ද ඉතාම වැදගත් බව සිහියේ තබාගත යුතුයි.

ඇදුම රෝගීන් සැලකිලිමත් විය යුතු වැදගත් කරුණු

  • හතිය, මහන්සිය මෙන්ම සෙම සහිත තත්ත්වයන් විටෙක ඇදුම රෝගය ලෙස සැලකෙනවා. නමුත් මෙම රෝග ලක්ෂණ බොහෝ විට වෙනත් රෝග හේතුවෙන් ද ඇති වෙනවා.
  • කිරිපිටි වර්ග ඇදුම රෝගීන්ට නුසුදුසු යැයි මතයක් තිබෙනවා. නමුත් කිරිවල ඇති උකු ගතිය නිසා එය උඟුරේ තැන්පත් වූ විට බොහෝ ඇදුම රෝගීන් මෙය සෙම බැඳීමක් වශයෙන් වරදවා වටහා ගන්නවා.
  • විදුලි පංකා භාවිතයේදී දුහුවිල්ල ඇවිස්සීමක් සිදුවිය හැකියි. එනිසා ඇදුම රෝගියකුට යම්කිසි අපහසුවක් සිදුවිය හැකියි. එනිසා හැකි සෑම විටම ඇදුම රෝගියකු සිටින පරිසරය පිරිසිදුව තබා ගන්න.
  • ශරීරය උණුසුම්ව ඇති අවස්ථාවක (දහඩිය දමා ඇති විට) සීත වතුරෙන් ස්නානය කළහොත් ඇදුම රෝග ලක්ෂණ මතුවිය හැකියි.
  • මද උණුසුම් දියෙන් ස්නානය කරන්න.
  • ස්නානය කිරීමෙන් පසුව ශරීරයේ ජලය හොඳින් පිස දමන්න.

ඇදුම රෝගයෙන් වැළකෙන්නේ කෙසේද ?

ඇදුම රෝගයෙන් වැළකීම සඳහා ඔබට පහත සඳහන් ක්‍රම අනුගමනය කළ හැකියි.

■          සෑම දරුවෙකුටම මවුකිරි ලබාදීමෙන් කුඩා කාලයේදී ඇති විය හැකි ඇදුම රෝගය වළක්වා ගත හැකියි.

■          දුම් බීමෙන් හා දුම්බොන පුද්ගලයින් අසල සිටීමෙන් වැළකෙන්න.

■          ගෘහස්ත දූවිල්ල අවම කර ගන්න.

■          කොට්ට, මෙට්ට, ඇඳ ඇතිරිලි නිතරම අවුවේ දමා වියළි ගන්න.

■          නිවසේ, කාර්යාලයේ රැඳි තිබෙන දූවිල්ල තෙත රෙදි කඩකින් පිස දමන්න.

■          කාපට් වර්ග, පුළුවන් පිර වූ සෙල්ලම් බඩු ආදිය අවම වශයෙන් භාවිත කිරීම.

■          බල්ලන්, බළළුන් වැනි සුරතල් සතුන්ගේ ලොම් ඇදුම රෝගීන්ට සුදුසු නැත.

■          කැරපොත්තන් වඳ කර දමන්න

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශන ඇසුරිනි

LEP

Recommended For You

About the Author: Admin