මිත්‍යාව වපුරන ජනමාධ්‍ය වර්ජනය කළ යුතුයි – මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස

‘‘ශ‍්‍රී ලංකාවේ වර්තමාන ජනමාධ්‍ය ක‍්‍රියාකාරීත්වය දෙස අවධානය යොමු කරන විට පැහැදිලිව පෙනී යන්නේ ‘මිත්‍යාව’ කොතරම් දුරට මේ ජනමාධ්‍ය ක‍්‍රියාකාරීත්වය හා බැඳී පවතිනවාද යන්නයි. අද සමාජය තුළ, පුද්ගලයා තුළ මිත්‍යාව වපුරන ප‍්‍රධානම මාධ්‍ය බවට ජනමාධ්‍ය පත්ව හමාරයි.

මේ මිත්‍යා මාධ්‍ය ක‍්‍රියාකාරීත්වය පුද්ගයාට සත්‍ය ගවේෂණය කරන්න, සත්‍ය දැන ගන්න තිබෙන අවස්ථාව අහුරන ගමන්, ඔහුගේ බුද්ධියට නිගරු කරන, පැවැත්මට හානි කරන තොරතුරු, විශේෂණ හා දැන්වීම් වේගයෙන සමාජගත කරමින් සිටිනවා’’ යැයි ආචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසයි.

පුද්ගලයාට සත්‍ය ගවේෂණය කිරීමට ඇති අවස්ථාව අහුරන, ඔහුගේ බුද්ධියට නිගා කරන, ඔහුගේ පැවැත්මට හානිකර සියලූ තොරතුරු මම සලකන්නේ මිත්‍යා ප‍්‍රකාශන විදිහට. මේ අර්ථයෙන් ගත් විට අද ශ‍්‍රී ලංකාවේ ජනමාධ්‍ය විශාල වශයෙන් තම මාධ්‍ය හරහා මිත්‍යාව වපුරමින් සිටිනවා.

පුවත්පත ගතහොත් අන්තර්ගතය, පෙළ හා රූපය ලෙස අප කොටස් කරනවා. පෙළ හා රූපය තුළ මිනිසාගේ බුද්ධියට නිගා කරන, ඔහුගේ පැවැත්මට හානි කරන, ඔහුගේ සාමකාමී පවැත්මට විරුද්ධ වන කොපමණ ප‍්‍රකාශන අන්තර්ගතද ? එය වඩාත් සරල කළහොත් පුවත්පතක ඇති ප‍්‍රවෘත්ති, විශේෂාංග, දැන්වීම්, විශ්ලේෂණ තුළ මිනිසාගේ යහපැවැත්මට හානි කරන කොපමණ දේ තිබෙනවාද ? මෙය දීර්ඝ වශයෙන් සාකච්ඡුා කළ යුතුයි.

විනාශයේ ආරම්භය කොතැනද ?

ප‍්‍රචාරණ ආරම්භය සිදුවන්නේ ඉතා ශ්‍රේෂ්ඨ වූ පරමාර්ථ සහිතව. කීර්තිමත් පුවත්පත් සියල්ල අධ්‍යයනය කළහොත් ඒ බව මනාව පැහැදිලි වෙනවා. ලංකාවෙත් එහෙමයි. මුල්කාලීන පුවත්පත්වලට  ශ්‍රේෂ්ඨ සමාජ පරමාර්ථ තිබුණා. එය ආගම ප‍්‍රචාරය, එය ආරක්ෂා කර ගැනීම, භාෂාව රැුක ගැනීම, සංස්කෘතිය රැුක ගැනීම, ආදි වශයෙන් පුළුල් පරාසයක තිබුණා. එහෙත් එය ක‍්‍රමයෙන් වෙනත් දිශාවකට දෝලනය වුණා. එය නව සමාජ පරමාර්ථ වෙතින් ව්‍යාපාරික,  පුද්ගල අභිමතාර්ථ, දේශපාලන, ව්‍යාපාරික න්‍යාය පත‍්‍ර සාධනය කිරීමට යොමු වුණා. එය ශ‍්‍රී ලංකාව තුළ වඩාත් ප‍්‍රබල ආකාරයකට ක‍්‍රියාත්මක වුණා. මෙයට බලපෑ හේතු ගණනාවක් තිබුණා.

මෙහිදී ප‍්‍රථමයෙන් ම ප‍්‍රවෘත්ති කෙරේ අවධානය යොමු කළ යුතුයි. ලංකාවේ ජනමාධ්‍ය ප‍්‍රවෘත්ති විග‍්‍රහ කිරීමේදී ඒවා ඉදිරිපත් වන්නේ කෙසේද ? එය ඉදිරිපත් වන්නේ කාගේ දෘෂ්ටි කෝණයෙන් ද? එහි තුළිත බවක් තිබෙනවාද ? යන්න කෙරේ අවධානය යොමු කළ යුතුයි.

දෘෂ්ටි කෝණයේ අර්බුදය

ලංකාවේ ජනමාධ්‍ය ප‍්‍රවෘත්ති වාර්තා කරන්නේ අධිපතියාගේ, ධනේෂ්වර මිනිසාගේ, බලවත් පුද්ගලයාගේ දෘෂ්ටි කෝණයෙන්. එය මාධ්‍ය මෙහෙයවන අධිපතීන්ගේ හැඩරුව සමග තවත් ශක්තිමත් වෙනවා. මේ තත්ත්වය තුළ හඬක් නැති, බලයක් නැති පුද්ගලයාගේ, ප‍්‍රජාවගේ ප‍්‍රශ්නවලට මොකද වෙන්නේ ? කවුද ඒ හඬ සමාජගත කරන්නේ ? නව දේශපාලන න්‍යාය පත‍්‍රයට ක‍්‍රියා කරන රජය සතු ජනමාධ්‍ය, දේශපාලන හා ව්‍යාපාරික අභිමතාර්ථ ඇති පෞද්ගලික ජනමාධ්‍ය ඒ දුබලයාගේ හඬ සමාජ ගත කළාද ? කරනවාද ?

මෙය ලංකාව වැනි තෙවැනි ලෝකයේ රටවල දැකිය හැකි තත්ත්වයක්. මෙම සමාජවල ප‍්‍රශ්න කිරීමේ, තොරතුරු දැන ගැනීමේ අයිතිය ජනතාවට නැහැ.  සිවිල් සමාජය අතිෂයින් නිද්‍රාශීලීයි. බෙහෙත් තුණ්ඩුවේ නම කියන්න, ලියන්න, තමන් රජයේ දෙපාර්තමේන්තුවට භාර දුන් ලිපියට වූ දෙය දැන ගන්න, පාරට තාර දාන කොට වූ දෙය දැන ගන්න අපේ සමාජයට හැකියාවක් නැහැ. කොටින්ම බස් එකේ යන කොට ඉතුරු ශත පනහා ඉල්ලන්න තරම්වත් අයිතියක්, කොන්දක් අපේ සිවිල් සමාජයට නැහැ.

මාධ්‍ය ප‍්‍රතිචාරය කෙසේද ?

මෙයට මාධ්‍ය කොහොමද ප‍්‍රතිචාර දක්වන්නේ ? ඔවුන් අපරාධයක් සිදු වූ වහාම යන්නේ පොලීසියට. පොලීසිය උපුටා දැක්වමින් තමයි වාර්තා කරන්නේ. මාධ්‍යවේදියා තොරතුරු වෙත යන්නේ නැහැ. මෙය තමා නිරන්තරයෙන් ම සිද්ධ වෙන්නේ.

ප‍්‍රකට සිද්ධි වන ඉනෝකා සෙව්වන්දි, රීටා ජෝන්ස් වාගේ ඝාතනවලදී ජනමාධ්‍යවේදියා කළේ තනිකරම පොලිස් උපුටා ගැනීම් වාර්තා කිරීම පමණයි. පසුගිය කාලයේ (2003) වත්තල ප‍්‍රදේශයේ ගුවන් හමුදා බස් රථයක ගැටී පුද්ගලයෙකු මිය යාම වාර්තා කළේ ‘‘මරාගෙන මැරෙන කොටි සාමාජිකයෙකුගේ ඝාතන සැලසුමක් ’’ කියලා. එහෙමයි පොලිසිය උපුටා දැක්වූයේ. අන්තිමේදී වුණේ මොකක්ද ? ජනමාධ්‍ය උපහාසයට ලක් වුණා විතරයි. අඩු ගානේ මාධ්‍යවේදීන්ට පහර දුන්නත් ඔවුන් කළේ පොලිසිය දෙන වාර්තා පළ කිරීම විතරයි.

රටක බලය හිමි, බලයට අයිතිවාසිකම් කියන පුද්ගලයින් ගැන නිවැරදි වාර්තා පළ වෙනවාද ? නෑ. දේශපාලනඥයින්, උසස් නිලධරීන්, ප‍්‍රධාන ව්‍යාපාරිකයින්, හමුදා ප‍්‍රධානීන් කරන වංචා, දූෂණ, අපරාධ ආදි වාර්තා ලංකාවේ ජනමාධ්‍යවල පළ වෙන්නේ නැහැ. කොයි නිලධාරියාට ද, ව්‍යාපාරිකයාට ද දඬුවම් ලැබුණේ ? ජනමාධ්‍ය ඉතා සූක්ෂම ආකාරයට එම සිද්ධි යටපත් කරනවා, හංඟනවා, අගය බාල කරනවා. මෙය නිරන්තරයෙන් ම සිද්ධ වෙනවා. කෝ පසුගිය කාලේ රවී වෙත්තසිංහට එරෙහිව ගෙනා යෝජනා ? කෝ හමුදාපතිවරුන්ට විරුද්ධව ගෙනා චෝදනා ? කෝ ඇමැතිවරුන්ට, අවම වශයෙන් මන්ත‍්‍රීවරුන්ට විරුද්ධව මැතිවරණ කාලවල ගෙනා චෝදනා ? අද ඒවා නැහැ. දැන් අනුරුද්ධ රත්වත්තේ ගැන ලියනවා. ඒත් එය ඉතා කෙටි කාලයයි. රනිල් වික‍්‍රමසිංහගේ වතු ගැන, ජනපතිනියගේ බෑග් ගැන ලියපු මාධ්‍ය අද කොතැනද ඉන්නේ ?

මෙය යුද්ධය ගැනත් එහෙම යි. අද උතුරේ සිද්ධ වෙන දේ, සාම සාකච්ඡුාවල සිද්ධ වෙන දේ හරියට ජනමාධ්‍ය වාර්තා කරන්නේ නැහැ. මේ මිත්‍යා වාර්තාකරණය තුළ අධිපතියාගේ දෘෂ්ටිය ඉතා නිර්ලජ්ජ ආකාරයට ක‍්‍රියාත්මක යි. සිද්ධි වාර්තා කරන්නේ නැහැ. හංඟනවා, අගය බාල කරනවා. විකෘති කරනවා. අතිෂයෝක්තියට නඟනව. විවිධාකාර අර්ථ විචාරයන්ට භාජනය කරනවා. මේ කොයි ආකාරයෙනුත් සිද්ධ වෙන්නේ ප‍්‍රවෘත්තිය, සිද්ධිය හා මිත්‍යාව ගොඩනැගී පුද්ගලයාට සත්‍ය දැන ගන්න, ඇත්තට ම වෙන දේ දැන ගන්න, තිබෙන අයිතිය අහිමි කිරීම.

අපි තොරතුරු සමාජයක ජීවත් වුණත් විනාඩියෙන් විනාඩියට ප‍්‍රවෘත්ති කිවුවත් අප සිටින්නේ මාධ්‍ය මගින් තොරතුරු විකෘති කළ සමාජයක. මිත්‍යා තොරතුරු පිරි සමාජයක.

ප‍්‍රවෘත්ති මිත්‍යාවේ තිඹිරි ගෙය

ප‍්‍රවෘත්ති මූලාශ‍්‍ර සොයා ගන්නෙත් මේ ආකාරයෙන්. ප‍්‍රවෘත්ති බිහි වෙන්නේ අග නගරය කේන්ද්‍ර කර ගෙන. නගරයේ ප‍්‍රවෘත්ති විතරයි ජනමාධ්‍යවලට මූලාශ‍්‍ර වෙන්නේ. ඇමැතිවරයා, අමාත්‍යාංශ ආවරණය කරන්න විතරයි ජනමාධ්‍යවේදීන් රුචි කරන්නේ. අමාත්‍යාංශයේ ඇමැතිගේ මාධ්‍ය ඒකකය නිකුත් කරන මාධ්‍ය නිවේදනය තමා ප‍්‍රවෘත්තිය වෙන්නේ. ප‍්‍රවෘත්ති සාකච්ඡුාවලින් තමා ප‍්‍රවෘත්ති සොයා ගන්නේ.

පොළොන්නරුවේ වී විකිණීම ගැන කෘෂිකර්ම අමාත්‍යාංශය නිකුත් කරන මාධ්‍ය නිවේදනය ප‍්‍රවෘත්තියක් කරන ජනමාධ්‍ය ආයතන පොළොන්නරුව ප‍්‍රදේශයේ ප‍්‍රාදේශීය වාර්තාකරුගේ ප‍්‍රවෘත්තිය නොසලකා හරිනවා. මෙය තමා ජනමාධ්‍ය ආයතනවල මිත්‍යාව වර්ධනය වන ආකාරය.

බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා බැංකු ක්ෂේත‍්‍රයේ රැුකියා 20,000 ක් මේ වසරේ දෙන බව කියන කොට ඒක ප‍්‍රධාන ශීර්ෂ පාඨය වෙලා උණුසුම් ප‍්‍රවෘත්තියක් වෙනවා. ඒත් ඒ ප‍්‍රකාශය ගැන තිබෙන සැකය, අවිශ්වාසය ගැන ප‍්‍රකාශ කරන්න ජනමාධ්‍ය සූදානම් නැහැ. මෙය තමා මේ ජනමාධ්‍යවල තිබෙන ප‍්‍රවෘත්ති මිත්‍යාවේ තිඹිරි ගෙය.

ගවේෂණාත්මක වාර්තාකරණයත් ඊට දෙවැනි නෑ

මෙයයි ගවේෂණාත්මක වාර්තාකරණය තුළත් සිද්ධ වෙන්නේ. ගවේෂණාත්මක වාර්තාකරණය මගින් සිදුවිය යුත්තේ, හැංගුණ, හැංඟුව සැබෑව මතු කිරීමයි, අවිද්‍යාව පහ කිරීමයි. ඒත් අපේ ජනමාධ්‍ය ගවේෂණාත්මක වාර්තාකරණය කියලා කරන්නේ මොකක්ද ? පොලිසිය, රහස් පොලිසිය දෙන වාර්තාවලින් ඔබ්බට යාමක් නැහැ. සමහර පුවත්පත් ගවේෂණාත්මක වාර්තාකරණය කියලා කරන්නේ තමන්ගේ දේශපාලන ව්‍යාපෘතිවලට අන්තර්ගත දේ විතරයි. එයින් ඔබ්බට යාමක් නැහැ. ඒ දේශපාලන උණුසුම පහව යන කොට ඒ ගවේෂණාත්මක වාර්තාකරණය කොහෙන් ගියා ද නැහැ.

ලංකාවේ සමහර ඉංග‍්‍රිසි පුවත්පත් තුළ තිබෙන ගවේෂණාත්මක වාර්තාකරණය ජනතාව, සමාජය ඉලක්ක කරගත් එකක් නොවෙයි. තනිකරම දේශපාලන ව්‍යාපෘති ඉලක්ක කරගත් දෙයක්.

ඒත් සමහර විකල්ප පුවත්පත් සමාජ අරමුණු උදෙසා යම් මට්ටමක ගවේෂණාත්මක වාර්තාකරණයේ යෙදුණා. ‘‘රාවය’’ ඉන් ප‍්‍රධානයි. ඒත් මේ වාර්තාවලින් මොකද වුණේ ? කෝ ඒවායින් අධිකරණයට ගිහින් වැරදිකරුවන් වූ පිරිස් ? අන්තිමට ඒවා දේශපාලන ව්‍යාපාරවලට බිලි වුණා විතරයි.

අනෙක් අතට ජනමාධ්‍ය ආයතනවල තිබෙන විශාල දුර්වලතාව තමයි, ගවේෂණාත්මක වාර්තාකරණයට තිබෙන උනන්දුව, පෙළඹවීම අඩුවීම. ඔවුන් සූදානම් නැහැ ගවේෂණාත්මක වාර්තාකරුවන් නඩත්තු කරන්න. එයට අදාළ පහසුකම් දෙන්න. ඔවුන් සිතාගෙන සිටින්නේ, ප‍්‍රවෘත්ති සාකච්ඡුා, සම්මුඛ සාකච්ඡුා, මාධ්‍ය නිවේදන විතරක් ප‍්‍රවෘත්ති වලට ඇති කියලා.

මෙය මාධ්‍යවේදීන්ටත් අදාළයි. අපේ ජනමාධ්‍යවේදීන් ක‍්‍රියා කරන්නේ ඇමැතිවරයෙක්, අමාත්‍යාංශයක් ආවරණය කර ගෙන නිදහසේ ඉන්න. අවස්ථාව ආ විට පඩිය වැඩිකර ගන්න. ඉහළ තනතුරකට යන්න. විදේශ සංචාරවලට යන්න. ඉතිං ඔවුන්ගෙන් ජනතාවාදී ගවේෂණාත්මක වාර්තාකරණයක් බලාපොරොත්තු වීම විහිළුවක්.

රජය  පැත්තෙන් ගත්තත් සිදුවන්නේ එය ම යි. ආණ්ඩු බලයට එන්නේ ජනමාධ්‍යවේදීන්ට විශ‍්‍රාම වැටුප් දෙන්න, ගෙවල් දෙන්න පොරොන්දු දී ගෙන. ඉතිං අපි කොහොමද මේ පිරිසගෙන් ජනතාවට හිතවත් මාධ්‍ය භාවිතයක් බලාපොරොත්තු වෙන්නේ ? අඩුගානේ තම තමන්ගේ විශ‍්‍රාම වැටුපවත් දින ගන්න බැරි ජනමාධ්‍යවේදයෙන් කොහොමද පොදු ජනතාවගේ අයිතීන් දිනා ගන්නේ.

මෙය තමයි ‘මාධ්‍ය මිත්‍යාව’ කියලා කියන්නේ. දේශපාලන, ආර්ථික  උත්පාදනය හා තදින් බැඳී සිටින ජනමාධ්‍යවලින් කොහොමද සත්‍ය තොරතුරු දැන ගන්නේ ?

ප‍්‍රවෘත්ති අර්ථකථනය ගැන

මීළඟට මොකද වෙන්නේ ? මේ ප‍්‍රවෘත්ති අර්කථනයට භාජනය වෙනවා. එය කෙරෙන්නෙත් මේ ආකෘතිය තුළමයි. එයින් ඔබ්බට යාමක් වෙන්නේ නැහැ. එහිදීත් ගන්නේ අර අධිපතිවාදයට සම්බන්ධ පිරිස්මයි. ඇමැතිවරු, විපක්ෂය, විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරු වාගේ බල ව්‍යාපාරවලට සම්බන්ධ පිරිස. ඉතිං ඔවුන්ගෙන් කොහොමද නිවැරදි, අපක්ෂපාතී අර්ථකථනයක් බලාපොරොත්තු වන්නේ ?

අද අපේ ජනමාධ්‍යවල තිබෙන සම්මුඛ සාකච්ඡුා, සංවාද සටහන්වල තිබෙන්නේ හිස් වචන ටිකක් විතරයි. වගකීම් සහගත ප‍්‍රකාශ එහි දකින්නට නැහැ. වැරදි පිළිගැනීම්, තමන් නොදන්නා බව ප‍්‍රකාශ වෙන්නේ සියල්ල දත් ආකාරයට තමා සිද්ධ වෙන්නේ. ඒත් ඇත්තට ම ඒවා ඒ ආකාරයෙන් ම සිද්ධ වෙලාද? අද මධ්‍ය වලට සම්මුඛ සාකච්ඡුා දෙන බොහෝ පිරිස් කිතුල් ගහට නැග්ග මිනිහා වාගේ. මොනවා හරි කියනවා. ඔහු ම දන්නේ නැහැ කිවුවේ මොනවද කියලා. පස්සේ කියනවා මම එහෙම කිවුවේ නැහැ කියලා. බොරු ලියලා තියෙන්නේ කියලා.

ජනමාධ්‍යවේදීන්ගේ පටු දැක්ම

අනෙක් කාරණය තමා, ජනමාධ්‍යවේදියා තුන්කල් දකින දැක්මක් ඇති කෙනෙක් විය යුතුයි. ඔහු විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය ප‍්‍රශ්න කරමින් තමයි මාධ්‍ය භාවිතය තුළ සිටින්නේ. ඒ නිසා ඔහු සිවුවන ආණ්ඩුව වශයෙන් පෙනී ඉන්නවා. මෙයටයි බටහිර රටවල සිවුවන ආණ්ඩුව කියලා කිව්වේ. ඒත් අපේ සමාජයේ ජනමාධ්‍යවලට සිවුවන ආණ්ඩුව කියලා කිව්වේ නැහැ. (ලංකාවේ බහුලව භාවිත වන්නේ ‘‘ජනමාධ්‍ය කලාව / පුවත්පත් කලාව වැනි යෙදුම්ය : සංස්කාරක) එහෙම කියන කොට ම කියනවා ‘පත්තරවලට ආණ්ඩු පෙරළන්න බැහැ ’ කියලා. මෙය තමා අපේ රටේ ජනමාධ්‍යවල ශක්තිය පිළිබඳව පවතින සත්‍ය ය.

ප‍්‍රවෘත්ති ප‍්‍රභවය ලබන්නේ මිත්‍යාව තුළ නම්, එය අර්ථකථනය කෙරෙන්නේ මිත්‍යාව තුළ නම්, කොහොමද අපේ සමාජය ජනමාධ්‍ය තුළ බලයක් බලාපොරොත්තු වන්නේ ?

මිත්‍යා දැන්වීම්කරණය

මීට වඩා මිත්‍යාව වපුරන අංශයක් වෙන්නේ දැන්වීම්කරණය. එය තනිකරම මිත්‍යාව පිරුණු පාරාදීසයක්. මේ මොහොතේ  ඕනෑම ජනමාධ්‍යයක අන්තර්ගතය තුළින් සියයට 60 කට ආසන්න අගයක් දැන්වීම් සඳහා වැය වෙනවා. ඒකකේ දැන් කියන්නේ ‘‘අපි ප‍්‍රවෘත්ති, ටෙලි නාට්‍ය බලනවා වෙනුවට, දැන්වීම් බලන ගමන් ටෙලි නාට්‍ය හෝ ප‍්‍රවෘත්ති පෙනුණා කියලා.

ප‍්‍රවෘත්තිවලින් බලාපොරොත්තු වෙනවාට වඩා විශාල දෙයක් දැන්වීම් තුළින් බලාපොරොත්තු වෙනවා. ඒ පෙළඹවීම. ඒ පෙළඹවීම ඵලදායී පෙළඹවීමක් විය යුතුයි. එය දැන්වීම් මගින් ප‍්‍රචාරය කරන භාණ්ඩය හෝ සේවාව මිලදී ගෙන තමා සතු කර ගැනීමට ග‍්‍රාහකයා, පේ‍්‍රක්ෂකයා හෝ පඨකයා හෝ ශ‍්‍රාවකයා පෙළඹවිය යුතුයි. මේ පෙළඹවීම ඵලදායී කර ගන්න දැන්වීම්කරුවෝ ප‍්‍රබල ආකාරයට මිත්‍යාව උපයෝගී කර ගන්නවා. එය වර්ණය, ගුණය, අර්ථකථනය ආදී වශයෙන් විය හැකියි.

අපි මීට වඩා සරල අංශයන්ගෙන් ප‍්‍රවේශ වෙමු. අපි දකින ආකාරයට දැන්වීම් තුළ මොන තරම් අතාර්කික, මිනිස් බුද්ධියට නිගා දෙන, මිත්‍යාව වපුරන දැන්වීම් තිබෙනවාද ? නැතිවූ පුරුෂ ශක්තිය නැවත ලබා දෙන බවට සහතික වෙන දැන්වීම් කොපමණ තිබෙනවාද ? මෙවායින් සිද්ධ වෙන්නේ පුද්ගලයා තුළ ඇති තාර්කික විඥානයට යටපත් වීම පමණයි. මෙය මාධ්‍ය විසින් ජනතාව වෙත මිත්‍යාව ගෙන යන එක් ආකාරයක්. මෙයට වඩා ප‍්‍රබල ආකාරයෙන් දැන්වීම් මගින් මිත්‍යාව ප‍්‍රචාරය කරනවා. හොඳම උදාහරණය ‘‘හර්බල්’’ මිත්‍යාව. අද ජනමාධ්‍යවල ප‍්‍රචාරය වන දැන්වීම්වලින් බහුතරය ‘ශාක සාර’ දැන්වීම්. ලස්සන වෙන, පාට වැටෙන දැන්වීම්. ඒත් ඇත්තට ම කවුද හර්බල් සබන් ගෑව ම ලස්සන වෙනවා කියලා කිවුවේ. මේ වපුරන්නේ මිත්‍යාවක්නේ.

විද්‍යාගාරවල හදන සුවඳ ජාතිවලින් තමයි ඔය හර්බල් හදන්නේ. ඒවා කෘතිම දේවල්. ඒත් ප‍්‍රමිතිගත කරන්නේ, කොහෙඹ, වැනිවැල්, සැවැන්දරා, කස්තුරි, කෝමාරිකා, දෙහි කියලා. ඔය තරම් හර්බල් නිෂ්පාදනය කරනවා නම් ඒවා මිලදී ගන්න පුළුවන් වෙළෙඳ පොළක් රටේ තිබෙනවාද ? ඒවා කොහොද තිබෙන්නේ ? කෝමාරිකා වගාවන් ලංකාවේ නැහැ. දෙහි සබන් තියෙනවා. ඒත්  දෙහි ටික විකුණ ගන්න බැරිව කුණු වෙනවා. සෑම කිරිපිටි දැන්වීමකින් ම කෙරෙන්නේ මිත්‍යාව ප‍්‍රචාරය කිරීම විතරයි.

භාණ්ඩ සමාජයට ආශාව ඇති කරන්නේ, සරල චාම් ජීවිතය විනාශ කරන්නේ මේ දැන්වීම් කලාව මගින්. අන්තිමේදී මේ මගින් සිද්ධ වෙන්නේ කුමක්ද ? ඒ භාණ්ඩ අත්පත් කර ගැනීමට තරගයට යොමු වීම. ප‍්‍රචණ්ඩත්වයට යොමු වීම. ජනතාවගේ සංවේදීභාවය හීන වීම. අද ලංකාවේ සිද්ධ වෙලා තිබෙන්නේ එයයි. ලංකාවේ බහුතරය දරිද්‍රතා මට්ටමින් පහළ ජීවත් වෙන පිරිස. ඉතිං මේ ජනතාව තුළ තමයි මේ මිත්‍යාව වපුරන්නේ.

යොවුන් හා කාන්තා පුවත්පත්

මීටත් වඩා අන්ත ආකාරයට යොවුන් හා කාන්තා පුවත්පත් කලාව මිත්‍යාව වපුරනවා. එහි පෙළ තුළ තිබෙන්නේ ම මිත්‍යාව. ආදරය, ලිංගිකත්වය මෙම ධාරව තුළ ප‍්‍රධානයි. ඒත් මේ ලිංගිකත්වය, ආදරය තුළ යථාර්ථය ප‍්‍රකාශ වන්නේ නැහැ. රටේ බහුතරයක් තරුණ ප‍්‍රජාවට ලිංගික දැනුම නැහැ. හුදු ලිංගිකත්වය තමයි මේ පුවත්පත් මගින් උළුප්පා දක්වන්නේ. අද තරුණ ප‍්‍රජාව අතර ලිංගික ප‍්‍රචණ්ඩත්වය වර්ධනය වීමට මෙම යොවුන් හා කාන්තා පුවත්පත් කලාව වගකිව යුතුයි. අද යොවුන් ආදරය නිමා වන්නේ ප‍්‍රචණ්ඩ ආකාරයට. මේ තත්ත්වය ඇති කළේ මේ මිත්‍යා මාධ්‍ය කලාවයි.

තණකොළපෙත්තාගේ මාධ්‍ය කලාව

මේ තත්ත්වය පොදුවේ පුවත්පත් කලාවට පමණක් නොවෙයි සියලූ ජනමධ්‍යවලට අදාළයි. ඒ සියල්ල තුළ මේ මිත්‍යා මාධ්‍ය භාවිතය ඉතා හානිකර ආකාරයට ක‍්‍රියාත්මකයි. මේ මාධ්‍ය ගැන ප‍්‍රශ්න කිරීම අද සමාජය අතහැරලා තිබෙන්නේ. පැය 24 පුරාම සින්දු කියන, වල්පල් කියවන ජනමාධ්‍යවලින් මොනවාද බලාපොරොත්තු විය යුත්තේ ?

දැන් උදේ පාන්දර සිට මධ්‍යම රාත‍්‍රිය වන තුරු මේ මාධ්‍ය ආයතන කරන්නේ සින්දු දෙන එක. ඒක ද අපි වාගේ සංවර්ධනය වන රටක්, වාර්ගික යුද්ධයකට, දුගීකමට, සමාජ ප‍්‍රචණ්ඩත්වයට මුහුණදී සිටින රටක් බලාපොරොත්තු වෙන්නේ ? කෝ සංවර්ධන පුවත්පත් කලාවක්. මේක ඉතාම බරපතළ තත්ත්වයක්. මේ තණකොළපෙත්තාගේ මාධ්‍ය භාවිතයට දැන් විරාමය තැබිය යුතුයි.

මේ තත්ත්වයෙන් මෙරට ජනමාධ්‍ය සහ එහි බලපෑමෙන් සමාජය බේරා ගැනීමට කළ යුත්තේ කුමක්ද යන්න විමසිය යුතුයි.

අද ප‍්‍රත්‍යක්ෂ වෙලා තිබෙන ආකාරයට, මෙරට ජනමාධ්‍ය ගැන ජනතාව තුළ විශ්වාසයක් නැහැ. එය බිඳ වැටිලා. අද ජනතාව ප‍්‍රධාන මාධ්‍යවලින් ඈත් වෙලා ඉන්නේ මොකද ? ජනතාවගේ හඬ, ප‍්‍රශ්න නැගීම් මේ මාධ්‍ය තුළ නැහැ. ලියවෙන්නේ, කියවෙන්නේ, විශ්ලේෂණය වෙන්නේ අධිපතියාට වුවමනා දේ. තමන්ගේ පෞද්ගලික න්‍යාය පත‍්‍රයට අවශ්‍ය දේ. එයට වන්දි ගෙවන්නේ වසර ගණනාවක් පුරා ජනමාධ්‍යවලට තිබුණු විශ්වාසය යි.

අද අපේ ජාතික පුවත්පත් තමන්ගේ අලෙවි වර්ධනය කර ගන්න ගන්න උපාය මාර්ග තුළ ම ඒ බව පේනවා. අද ඔවුන් දිනපතා පුවත්පත් සමග පවා විශේෂාංග අතිරේක දෙනවා. මඟුල් දැන්වීම්, ලූහුඬු දැන්වීම් කෙරේ තමයි යොමුවෙලා තිබෙන්නේ. තෑගි දෙනවා. පුවත්පත් විද්‍යුත් මාධ්‍ය හරහා ප‍්‍රචාරයටත් යොමු වෙලා. මේ මොකද ? වෙළෙඳ පොළ බිඳ වැටීම තමයි ප‍්‍රධාන හේතුව. පත්තර කියවන පාඨකයාට ගෙවල් දුන්නේ, කාර් දුන්නේ මොන කාලයේද ? මොන රටේද ?

අනෙක් කාරණය තමය මේ වන විට අපේ ජනමාධ්‍ය සමාජ සංවාදයෙන් වේගයෙන් දුරස් වෙමින් සිටිනවා. ඉරිදා පත්තරයක් ගත්තොත් බලන්න දෙයක් නැහැ. ප‍්‍රධාන ශිර්ෂපාඨය කොහේදෝ තියෙන දෙයක් ගැන ලියවෙන්නේ. හතු පිපෙනවා වාගේ ප‍්‍රවෘත්ති බිහි වෙලා පසුවදාට ඒ ගැන හාංකවිසියක් නෑ.

අධිකරණයට දක්වන පුදුම බිය

සබ්ජුඞ්ෂේ මූලධර්මය කර තියාගෙන ඉන්න අපේ ජනමාධ්‍ය අධිකරණ තීන්දු ප‍්‍රශ්න කරන්න යන්නේ නෑ. නමුත් අද ලෝකයේ දියුණු රටවල් එය කෙරෙනවා. අපි ඒ ගැන හිතලවත් නැහැ. රාවය පුවත්පත මේ තත්ත්වය අභියෝගයට ලක් කරනවා. ඒත් කවුද රාවයට උපකාරයට ඉන්නේ ? රාවය කතුවරයා විතරයි. අපේ ජනමාධ්‍ය අධිකරණය, විධායකය, ප‍්‍රබල ව්‍යාපාරිකයින් අභියස නිහඬයි. පාවා දෙන සුළුයි.

සමාජ සංවාදයක් ඇරඹිය යුතුයි

මේ කාරණා ගැන සමාජ සංවාදයක් ආරම්භ විය යුතුයි. ජනමාධ්‍යවේදීන් දැනුවත් විය යුතුයි. මෙය කිසිසේත් රජයෙන් හෝ මාධ්‍ය ව්‍යාපාරිකයින්ගෙන් බලාපොරොත්තු වෙන්න බැහැ. මන්ද රජය, ව්‍යාපාරිකයෝ බලාගෙන ඉන්නේ ජනමාධ්‍ය කඬේ යවන්න. ඔවුන්ගේ කර පිටින් බලයට එන්න. මධ්‍ය ව්‍යාපාරිකයෝ හොයන්නේ උපරිම ලාභය විතරයි. ඒ තුළ ඔවුන් අපේ සියලූම වටිනාකම් විනාශ කරමින් ඒ මගින් මුදල් උපයමින් සිටිනවා. එය අද පෞද්ගලික ව්‍යාපාරයක් මිස ජනතා ව්‍යාපාරයක් නොවෙයි.

ඒ නිසා මෙම මාධ්‍ය මිත්‍යාවට, අධිපතිවාදයට එරෙහිව හඬ අවධි විය යුත්තේ ජනතාව තුළින්. ඔවුන් ඔවුන්ට පුළුවන් ආකාරයට මෙය කර තිබෙනවා. එයට මග පෙන්වීම හා නායකත්වය ලබා දීමයි දැන් කළ යුත්තේ. එයට විශ්වවිද්‍යාල, සිවිල් සංවිධාන හා ගැත්තන් නොවූ ජනමාධ්‍යවේදීන් පෙරමුණ ගත යුතුයි. නැතිනම් ජනමාධ්‍ය විසින් මේ වපුරන මිත්‍යාව නිසා අපේ සමාජයට සිදුවෙනවා සුරංගනා කතාවල මායාකාරියන්ගේ මිත්‍යාවට හසු වූ රටවල්වලට සිද්ධ වුණා වාගේ අන්ධකාරයේ ගිලිලා ඉන්න.

කැළණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදනය අධ්‍යයන අංශයේ මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සමග YOUNG JOURNALIST මාසික සඟරාව පසුගිය 2003 වසරේ අගෝස්තු කලාපය සඳහා කළ සම්මුඛ සාකච්ඡාවකි. මෙම සම්මුඛ සාකච්ඡාව  පළ වී වසර 16 කට පසුව වුව ද ලංකාවේ වත්මන් ජනමාධ්‍ය කර්මාන්තය තුළ දැකිය හැක්කේ එදා මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා මතු කළ තත්ත්වයම ය. එම ලිපිය කිසිදු ආකාරයක සංස්කරණය කිරීමකින් තොරව lankaepress තුළ නැවත පළ කරන්නේ එම ලිපිය මගින් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා අභියෝගයට ලක් කරන මාධ්‍ය භාවිතය අද ද ඒ ආකාරයෙන් ක‍්‍රියාත්මක වන නිසාය. ඒ මහතා යෝජනා කරන මාධ්‍ය ප‍්‍රතිසංස්කරණ අදට ද වලංගු නිසාය.

Recommended For You

About the Author: Admin