කුසලානෙට දින 60යි : ශ‍්‍රී ලංකාව අවුලෙන් අවුලට

‘‘ක‍්‍රිකට්’’ යනු මහත්වරුන්ගේ ක‍්‍රීඩාව වන්නා සේම උපරිම සාමූහිකත්වයක් හා පුද්ගලික කැපවීමක් ද අවශ්‍ය ක‍්‍රීඩාවකි. එහි තනියෙන් ගොඩයාමක් නැති අතර තමාට තනිව ගොඩයාමට අවශ්‍ය නම් සියලූ දෙනාම සමග එකට ම ගොඩ යා යුතු ය. තනි තනිව පුද්ගලික න්‍යාය පත‍්‍ර අනුව ක‍්‍රීඩා කළහොත් සිදුවනු ඇත්තේ කණ්ඩායමත් සමග වළට යාම පමණකි. එමෙන් ම යම් ආකාරයක තනි, හුදකලා ඉනිමක් මගින් ද වර්ණවත්භාවයක් ලැබෙනවා වෙනුවට සිදුවනු ඇත්තේ හෙළාදැකීමට ලක්වීම ම පමණකි. කොටින්ම ක‍්‍රිකට් යනු One man show එකක් නොව Group show එකකි.

මේ අටුවා ටීකා ලිවීමට සිදු වූයේ ක‍්‍රිකට් ක‍්‍රීඩකයින්ගේ සේම පේ‍්‍රක්ෂකයින්ගේ ද ලොකුම සිහිනය වන, අති උත්කර්ෂවත්ම තරඟාවලිය වන ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලිය සඳහා වන ශ‍්‍රී ලංකා කණ්ඩාමේ සූදානම ගැන දිනපතා ම විවිධාකාර පුවත් නිර්මාණය වන බැවිනි. නිර්මාණය කරන බැවිනි. ඒ අනුව ඉදිරියේ දී සිදුවන්නේ කුමක් දැයි කිසිවෙකුත් නොදන්නා උභතෝකෝටික තත්ත්වයක් නිර්මාණය වී ඇත. එයින් ක‍්‍රිකට් ක‍්‍රීඩකයින් සේම, ක‍්‍රීඩාලෝලීන් ද පීඩනයට පත්වන බව කිසිවෙකුටත් පහසුවෙන් බැහැර කළ නොහැකි ය.

ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ මෞලී මංගල්‍ය වන ක‍්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට තව හරියට ම ඇත්තේ මාස දෙකක පමණ කාලයකි. එය මැයි මස 30 වැනි දා ක‍්‍රිකට් මහගෙදර වන එංගලන්තයේ දී ආරම්භ වීමට නියමිතය. ලංකාවේ අපි සිංහල අවුරුදු කා වෙසක් ද බලා හැරී බලන විට ලෝක කුසලාන තරඟාවලිය ආරම්භ වී තිබෙනු දැකිය හැකි ය. මේ උත්සව සමයේ කාලය එතරම් වේගයෙන් ගලා යන්නේ ය.

මැයි 30 වන දා අරම්භ වන ක‍්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය සඳහා මේ වන විට ඒ සඳහා තරග වඳින රටවලින් ලංකාව හැර අන් සියලූ රටවල් හා කණ්ඩායම් අවශ්‍ය ප‍්‍රමාණයටත් වඩා සූදානම් ය. ඔවුන්ට තිබෙන්නේ පිටියට බැසීම පමණකි. පේ‍්‍රක්ෂකයින්ට ඇත්තේ ක‍්‍රීඩාංගනයට පැමිණ හෝ ජනමාධ්‍ය ඉදිරියේ සිටගෙන තරඟ නැරඹීම හෝ ශ‍්‍රවණය කිරීම පමණකි. සියල්ල තිතට, නියමිත ආකාරයට සිදු වෙමින් තිබෙන්නේ ය.

එහෙත් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම එළඹෙන ලෝක කුසලානය සඳහා කිසිඳු ආකාරයක සූදානමක් තබා ඒ ගැන සිතාවත් නැත. වඳුරන් ගෙවල් හදන ආකාරයට සැලසුම් සකස් කිරීමත්, ළිඳ ළඟ සංගමය සේ කෙහෙවළු පටලවා ගැනීමත් හැර අන්යමක් සිදුවන ආකාරයක් ද නැත. එය කොතරම් දුරදිග ගොස් තිබෙනවා ද යන්න මේ දක්වා ලෝක කුසලානය සඳහා සහභාගී වීමට නියමිත කණ්ඩායම නම් කර ගැනීම තබා ඒ ගැන ඉඟියක් ලබාදීමට පවා හැකියාවක් නැති බව වාර්තා වේ. කණ්ඩායමේ නායකයා පමණක් නොව පුහුණුකරු පවා දන්නා කෙනෙක් නැති බව වාර්තාවේ.

මේ අතර තවත් අපූරු කතා රැසක් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් වෙතින් වාර්තා වේ. ඒ අනුව ලෝක කුසලානය සඳහා සහභාගී වන ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායකයා සහ කණ්ඩායම තෝරා ගැනීම සිදුවන්නේ අපේ‍්‍රල් මස 04 – 11 දක්වා පැවැත්වෙන ‘‘අන්තර් පළාත් එක් දින ක‍්‍රිකට් තරගාවලියේ ’’ දක්ෂතා දක්වන ක‍්‍රීඩකයින් අනුව ය. කොළඹ, ගාල්ල, දඹුල්ල සහ මහනුවර වශයෙන් මෙම තරගාවලිය සඳහා සහභාගී වන කණ්ඩායම් නම්කර ඇති අතර එහිදී කොළඹ කණ්ඩායමට දිනේෂ් චන්දිමල් ද, ගාල්ල කණ්ඩායමට ලසිත් මාලිංග ද, දඹුල්ල කණ්ඩායමට  ඇන්ජලෝ මැතිව්ස් ද මහනුවර කණ්ඩායමට දිමුත් කරුණාරත්න ද නායකත්වය දෙන බව වාර්තා වේ.

මේ කතාව සත්‍යයක් නම් එය කිසිසේත් යහපත් හෝ දූරදර්ශී තීන්දුවක් නොවන බව ඉතා ම පැහැදිලිය. මන්ද ලෝක කුසලානය වැනි අතිෂය තරගකාරී, වැදගත් තරගාවලියක් සඳහා කණ්ඩායම සහ නායකත්වය තෝරා ගැනීම සඳහා පළාත් තරගාවලියක් දක්වා පසුබැසීම සිදුවීම හාස්‍යජනකත්වය ඉක්මවා ගිය ඛේදවාචකයක් ම වන බැවිනි. එහෙත් ශ‍්‍රී ලංකා කණ්ඩායම සහ ක‍්‍රිකට් පරිපාලනයේ පසුගිය පැටිකිරිය දෙස බලන විට මීටත් වඩා සිල්ලර / ලාමක තීන්දුවක් වුව ගැනීමට ඔවුන් පසුබට නොවන බව පැහැදිලිය. ඉතාම පටු සහ අවස්ථාවාදී සිල්ලර න්‍යාය පත‍්‍ර මත ක‍්‍රියාකරන මෙම සියලූ පාර්ශ්නයන්ගෙන් මෙතරම් දෙයක් හෝ අපේක්ෂා කිරීම සැබැවින්ම ඛේදවාචකයකි. නැතහොත් විගඩමකි. අනෙක් අතින් ලෝක කුසලානය සඳහා සහභාගී වන කණ්ඩාම තෝරා ගැනීමට නොහැකි වීම, නායකත්වයට ක‍්‍රීඩකයෙකු නම් කිරීමට නොහැකි වීම හරහා වර්තමානයේ ලෝකයේ වැඩිම ක‍්‍රිකට් පුහුණුකරු වැටුප ලබන පුහුණුකරුගේ ද තරම හා හැකියාව පෙන්වන අවස්ථාවක් වන බැවිනි.

මේ දක්වා ක‍්‍රිකට් කණ්ඩායම හෝ නායකයා තෝරා ගැනීමට නොහැකිව වල්පල් දොඩවමින් තත්ත්වය තව තවත් අවුල්කරන ක‍්‍රිකට් තේරීම් කමිටු සාමාජිකයින් පසුගිය කාලය පුරා අවශ්‍ය ප‍්‍රමාණයටත් වඩා වට මේස සාකච්ඡුා පැවැත් නමුත් සිදු වූ කිසිවක් නොමැති බව පැහැදිලි කරුණකි. එමගින් සිදු වූ එකම මෙහෙය වූයේ පාලකයින්ට අවශ්‍ය පරිදි ක‍්‍රීඩකයින් තෝරා ගැනීම ම පමණකි. අනෙක් අතට තේරීම් කමිටුව පත් වූ දා සිට අවංකව වැඩ කළේ නම් පළාත් තරග එනතෙක් සිටීමට කිසිඳු හේතුවක් නැත. මීට බොහෝ කලකට පෙර තම වගකීම ඉටුකළ හැකිව තිබුණි. එහෙත් ඒ කිසිවක් සිදු නොවීය. අවසානයේ දී සිදුව ඇත්තේ ක‍්‍රිකට් ලෝක කුසලානයට මාස දෙකක් තිබියදී පවා කණ්ඩායම හෝ නායකයා තෝරා ගැනීමට නොහැකිව හතර අතේ අත ගෑම පමණකි. මෙය ක‍්‍රිකට් පරිපාලනයේ නොහැකියාව පමණක් නොව ඊට උඩින් සිටින තවත් කිහිප දෙනෙකුගේ ද තරම පෙන්වන අවස්ථාවක් බව පමණක් සඳහන් කළ යුතු ය.

අරාජික තත්ත්වයක් වශයෙන් සැලකිය හැකි මෙම තත්ත්වය තුළ එළැඹෙන ක‍්‍රිකට් ලෝක කුසලානයේ දී ශ‍්‍රී ලංකා කණ්ඩායමට දැඩි පීඩනයකට මුහුණ දීමට සිදුවනු ඇති බව නම් නොඅනුමාන ය. ඒ සමග ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් තව දුරටත් අවුලෙන් අවුලට යනු ඇති බව ද පැහැදිලි ය. මන්ද ජයග‍්‍රහණයකදී සිටින පියවරු පරාජයේ දී නොසිටින බැවිනි. ජයග‍්‍රාහකයාට පියවර 100ක් සිටියත් පරාජිතයා අවජාතකයෙකු වන බැවිනි.

සටහන – තුසිත ප‍්‍රියංකර

LeP

Recommended For You

About the Author: Admin