ශ‍්‍රී ලාංකේය ප‍්‍රවාහනයේ නව යුගය ඇරඹූමක්

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රවාහන ක්ෂේත‍්‍රය සම්බන්ධයෙන් සංකීර්ණ ගැටලූ රැසක් පසුගිය කාලය පුරාම දැකිය හැකියි. දිනපතා මහා මාර්ගවලට එක්වන වාහන ප‍්‍රමාණය පාලනය කිරීමට විවිධ ක‍්‍රමෝපායන් අනුගමනය කළත් එයින් අපේක්ෂිත ප‍්‍රතිඵල ලබා ගැනීමට නොහැකි වෙලා තිබෙනවා. ඒ වගේම වැඩි වන වාහන ප‍්‍රමාණයට හා ප‍්‍රවාහන අවශ්‍යතා අනුව මාර්ග සංවර්ධනය සිදු වුණත් එයත් මේ ගැටලූවට තිරසර විසඳුමක් බවට පත්ව නැහැ. මේ තත්ත්වය තුළ ලංකාවේ ප‍්‍රවාහනය, එසේ නැත ිනම් මහා මාර්ගය යුධ පිටියක් බවට පත්ව තිබෙනවා. ජනතාවගේ ධනයත්, කාලයත් කා දමමින් ජාතික ආර්ථිකය වළට ගෙන යන ප‍්‍රධාන බලවේගයක් වී තිබෙනවා.

ශ‍්‍රී ලංකාව දීර්ඝ කාලයක් තිසේ පීඩා විඳි, විසඳුමක් පෙනෙන තෙක් මානයක නොවූ ඉහත සඳහන් ගැටලූවලට තිරසර විසඳුම් දෙන වැඩපිළිවෙළක සමාරම්භය මේ වන විට සනිටුහන් වෙලා තිබෙනවා. ඒ මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ සංකල්පයක් අනුව නිර්මාණය වූ ‘‘කොට්ටාව – මාකුඹුර බහුමාදිලි ප‍්‍රවාහන මධ්‍යස්ථානය’’ ජනතා අයිතියට පත් කිරීම සමගයි.

අති නවීන පහසුකම්වලින් සමන්විත කොට්ටාව – මාකුඹුර බහුවිධ ප‍්‍රවාහන මධ්‍යස්ථානය ක‍්‍රියාත්මක වීමත් සමග ශ‍්‍රී ලාංකේය සුහුරු ප‍්‍රවාහනයේ නව යුගයක් ආරම්භ වන අතර එමගින් දශක ගණනාවක් පුරා ප‍්‍රවාහන ක්ෂේත‍්‍රය මුහුණ දුන් දුෂ්කරතා රැුසකට තිරසර විසඳුම් ලැබෙනු ඇති බව විශ්වාස කළ හැකියි.

මනා ප‍්‍රවාහන සැලසුමක් රටකට අත්‍යවශ්‍ය වෙනවා. අධික වියදමක් කරමින්, පරිසරයට හානි සිදුකරමින් අධිවේගී මාර්ග පද්ධති ඉදිකිරීම, කුඩා මෝටර් රථ මාර්ගයට එක් කිරීම වැනි විසඳුම් ප‍්‍රායෝගිකව ලංකාවේ සාර්ථකවී නොමැති බව මේ වන විට ඉතාම පැහැදිලි කරුණක්. අඛණ්ඩව වර්ධනය වන, සංකීර්ණ වන ප‍්‍රවාහන පද්ධතිය මුහුණ දෙන මෙම ගැටලූව විසඳා ගැනීම වඩාත් විද්‍යාත්මක මෙන්ම ඵලදායි තිරසර විසඳුමක අවශ්‍යතාව පසුගිය කාලය පුරාම අඛණ්ඩව අවධාරණය කෙරුණා.

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රවාහනය සම්බන්ධ ගැටලූවලට විසඳුම් සෙවීම සඳහා වඩාත්ම ඵලදායී වැඩපිළිවෙළවල් ක‍්‍රියාත්මක වුණේ ඇමැති චම්පික රණවක මහතාගේ මඟ පෙන්වීම මතයි. ඒ අනුව පොදු ප‍්‍රවාහන ක්ෂේත‍්‍රය සංවර්ධනය කිරීම පිණිස වැඩසටහන් රැුසක් පසුගිය කාලය තුළ ක‍්‍රියාත්මක වුණා. ඒ අතර බස් ප‍්‍රමුඛතා මංතීරුව, සහසර ව්‍යාපෘතිය, ආදිය ක‍්‍රියාත්මක කර සාර්ථක ප‍්‍රතිඵල අත්පත් කර ගැනීමට හැකියාව ලැබුණ අතර එහි වඩාත්ම ප‍්‍රමුඛ වැඩසටහන වන ‘‘බහුවිධ ප‍්‍රවාහන මධ්‍යස්ථාන’’ ස්ථාපිත කිරීම මේ වන විට සිදුවෙමින් තිබෙනවා.

මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය මගින් ක‍්‍රියාත්මක ‘බස්නාහිර පළාත් මහා නගර සංවර්ධන සැලසුම’ තුළ අන්තර් ගත එක ප‍්‍රධාන සැලසුමක් වන්නේ සුහුරු නාගරික පද්ධතියට ගැළපෙන ලෙස තිරසර ප‍්‍රවාහන පද්ධතිය සංවර්ධනය කිරීමයි. ප‍්‍රවාහන ක්ෂේත‍්‍රයේ දියුණු රටවල් එම  මට්ටමට ළඟා වී ඇත්තේ රටට ගැළපෙන විද්‍යාත්මක ක‍්‍රමවේදයක් අනුගමනය කරමින්, දිනෙන් දින වැඩි වන ජනගහනයට සාපේක්ෂව නව තාක්ෂණය උපයෝගී කර ගනිමින් නව වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීම තුළින් බව පැහැදිලි කරුණක්.

බහුවිධ ප‍්‍රවාහන මධ්‍යස්ථාන ඉදිකිරීමේ සැලසුමට අනුව පිටකොටුව,මහනුවර, බත්තරමුල්ල යන නගර කේන්ද්‍ර කර ගනිමින් ප‍්‍රධාන ප‍්‍රවාහන මධ්‍යස්ථාන ඉදිකිරීමට තීරණය කර තිබෙනවා. එහි මූලික අදියරේ ප‍්‍රවාහන මධ්‍යස්ථානය ලෙස ‘‘කොට්ටාව – මාකුඹුර බහුමාදිලි ප‍්‍රවාහන මධ්‍යස්ථානය’’සැලකිය හැකියි. එය මාර්තු 31 වැනිදා ජනතා අයිතියට පත් කෙරුණා.

මහ නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක‍්‍රියාත්මක ‘‘මහ කොළඹ ප‍්‍රවාහන ජාල වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය’’ මගින් ඉදිකරන ලද මෙම මධ්‍යස්ථානය ජාත්‍යන්තර ප‍්‍රමිතියට මෙරට ඉදිකළ ප‍්‍රථම ප‍්‍රවාහන මධ්‍යස්ථනයයි.  බස් රථ, දුම්රිය ප‍්‍රවාහන පහසුකම් හා වාහන නැවතීමේ පහසුකම් ආදී අනෙකුත් ප‍්‍රවාහන සේවා එකම මධ්‍යස්ථානයකින් ලබාගත හැකිවීම, දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ කොළඹ දෙසට ධාවනය වන වාහන මෙම මධ්‍යස්ථානයේ නතර කර දුම්රිය හෝ බස් රථ භාවිත කරමින් තම ප‍්‍රවාහන අවශ්‍යතා සපුරා ගැනීමට හැකිවීම මෙන් ම නව දුම්රිය හා බස්රථ පර්යන්ත දෙකකින් හා රථවාහන ගාල් කිරීමේ පහසුකම් ද මෙහි පවතිනවා.

මේ සමග විවිධ නඩත්තු හා කළමනාකරණ ක‍්‍රමවේදයක් ද මෙහි ස්ථාපිත කර තිබෙනවා. මෙම මධ්‍යස්ථනයට අවශ්‍ය සියලූම බලශක්ති අවශ්‍යතා සූර්ය බලශක්තිය මගින් සපුරා ගැනීම තවත් සුවිශේෂ තත්ත්වයක්. මෙම ගොඩනැගිල්ලේ වහළය මත ස්ථාපිත සූර්ය කෝෂ මගින් කිලෝවොට් 180ක විදුලිය උත්පාදනය කිරීමට හැකියාව තිබෙනවා.

මෙම මධ්‍යස්ථානය ඉදිකිරීම සඳහා ජපන් ජාත්‍යන්තර සහයෝගීතා ආයතනයේ මූල්‍ය දායකත්වය සහ ශ‍්‍රී ලංකා රජයේ ආයෝජන යටතේ රුපියල් මිලියන 2000ක් වැය කර තිබෙනවා. ඩිජිටල් පුවරු මගින් නිරන්තරයෙන් ප‍්‍රවාහන සේවා පිළිබඳව ජනතාව දැනුවත් කිරීම මගින් මගීන්ට අවශ්‍ය දුම්රිය හෝ බස්රථ එම මොහොතේ ඇති ස්ථානය දැන ගැනීමට, අන්තර් ජාලය මගින් ටිකට්පත් වෙන්කරවා ගැනීම, දුම්රිය හා බස්රථවල එකම ප‍්‍රවේශ පත‍්‍රයකින් ගමන් කළ හැකි වීම, ස්වයං ප‍්‍රවේශ පත‍්‍ර ලබා ගැනීමේ පහසුව, විධිමත් ලෙස ගමන්මළු ප‍්‍රවාහනය කිරීමේ පහසුකම්, විවේකාගාර සනීපාරක්ෂක පහසුකම්, බැංකු පහසුකම්, ආපනශාලා, බිල්පත් ගෙවීමේ මධ්‍යස්ථාන ආදි පහසුකම් රැුසක් මෙම ස්ථානයෙන් ලබාගත හැකියි.

අතිෂයින් කාර්ය බහුල ජනතාවට මහ මගට ගතවන කාලය, කලට වේලාවට තම ප‍්‍රවාහන පහසුකම් ලබා ගැනීම වැනි අනෙකුත් පහසුකම් නවීන තාක්ෂණය මේ තුළින් සපුරා ගැනීමට හැකිවීම මෙම මධ්‍යස්ථානය මගින් ඉටුවන ජනතා ප‍්‍රතිලාභයන් වශයෙන් සැලකිය හැකියි. ඉදිරියේදී සැහැල්ලූ දුම්රිය පද්ධතියක ආරම්භය ද මෙම මධ්‍යස්ථානය මගින් සිදුවේ. මෙරට ප‍්‍රවාහන ක්ෂේත‍්‍රය වැඩි දියුණු කිරීම සඳහා නවීන ක‍්‍රමවේදයන් භාවිත කරමින් ඉදි වූ මෙම කොට්ටාව – මාකුඹුර බහුවිධ ප‍්‍රවාහන මධ්‍යස්ථානය ශ‍්‍රී ලාංකේය සුහුරු ප‍්‍රවාහනයේ නව යුගයක් ආරම්භ කරනු ඇති බව පැහැදිලි කරුණක්.

සටහන – රුවන් ලොකුවිතානගේ

LeP

Recommended For You

About the Author: Admin