බෙලෙක්කවලට වන්දනාමාන කරන ඊනියා ප‍්‍රබුද්ධයින්ගේ ගොදුරක් බවට පත් ‘‘සිනමා අඹරේ රිදී සීනුව’’

‘‘සිනමා අඹරේ රිදී සීනුව’’ යැයි අභිෂේක ලබා සිටි ජනප‍්‍රිය ගායිකා ඇන්ජලීන් ගුණතිලක මහත්මිය පසුගිය දා දිවියෙන් සමුගත්තා. 1939 දී මාතර දී උපත ලැබූ ඇය දිවියෙන් සමුගන්නා විට 79 වන වියේ පසු වුණා. ඇය මිය ගියේ විවාහ ජීවිතයේ 53 වැනි සැමරුම් දිනයේ ද වීම විශේෂත්වයක්.

වයස අවුරුදු 13 දී ගුවන් විදුලි සංස්ථාවේ ‘‘ළමා පිටියේ’’ ගීතා ගායනා කරමින්  ගීත ගායනා ලෝකයට පිවිසි ඇන්ජලීන් 1958 දී සිනමා පසුබිම් ගීත ගායනයට එක් වුණා. ඒ ‘‘සොහොයුරෝ’’ චිත‍්‍රපටයේ පසුබිම් ගීත ගායනා කරමින්. එතැන් ඇය චිත‍්‍රපට සිය ගණනක පසුබිම් ගීත ගායනා කළා. අතිෂයින් ජනප‍්‍රිය වූ එම ගීත මගින් එකී චිත‍්‍රපටවලට මහත් ආලෝකයක් ලැබුණා. පසුගිය කාලය තුළ ඇන්ජලීන් ගුණතිලක මහත්මිය විසින් ගීත 5000කට ආසන්න ප‍්‍රමාණයක් ගායනා කර තිබුණා. ඒවායින් අති විශාල සංඛ්‍යාවක් අතිෂය ජනප‍්‍රියත්වයට පත් වුණා.

ඇන්ජලීන් ගුණතිලක මහත්මිය ගායනා කළ ගීත වත්මන් තරුණ පරපුර දක්වා පරම්පරා කිහිපයක් රස විඳිනවා. එම ගීත තවත් චිරාත් කාලයක් මෙරට ජනතාවගේ හදවත් තුළ වැජඹෙන බව පැහැදිලියි.

දශක හයකට ආසන්න කාලයක් ගීත 5000ක් පමණ ගායනා කළත්, එම ගීත අතිෂයින් ජනප‍්‍රිය ඒවා වුණත් ඇය කිසිම අවස්ථාවක ‘‘නිල සම්මානලාභිනියක්’’ නොවුණ බව ප‍්‍රකට කරුණක්. එයින් අදහස් වන්නේ පසුගිය දශක කිහිපය පුරා සිය ගණනක් වන ගායිකාවන්ට තිළිණ කළ කිසිම නිල සම්මානයකින් ඇය පිදුම් ලැබුවේ නැහැ. එහෙත් ඇය මිය යන මොහොත දක්වා ම අප‍්‍රමාණ ජනතා සම්මානයෙන් පිදුම් ලැබූ බව පැහැදිලි සත්‍යයක්. ඇයට, ඇගේ හඬට එතරම් ම මෙරට ජනතාව ආදරය කළා. ඇලූම් කළා.

ඇන්ජලීන් ගුණතිලක මහත්මියව මේ ආකාරයෙන් නොසලකා හැරීම, නොතකා හැරීම ගැන පසුගිය ඉරිදා (මාර්තු 31* ජාතික රූපවාහිනියේ, ‘‘ඉරිදා ආයුබෝවන්’’ වැඩසටහන පැමිණ සිටි ප‍්‍රවීන මාධ්‍යවේදී ඒ.ඞී. රංජිත් කුමාර මහතාගෙන් ප‍්‍රශ්න කළා. එහිදී රංජිත් කුමාර මහතා තමා ම පෞද්ගලිකව මුහුණ දුන් සිදුවීමක් හෙළි කළා. එහිදී ඔහු සඳහන් කළේ ඇන්ජලීන් ගුණතිලක මහත්මිය ගීත ගායනා කළ චිත‍්‍රපටක් අතිෂයින් ජනප‍්‍රිය වූ අවස්ථාවක ඇයට සම්මානයක් ප‍්‍රදානය නොකිරීමට හේතුව තමන් එකී විනිශ්චය මණ්ඩලයට සහභාගීව සිටි මෙරට ජනප‍්‍රිය පාසලක විදුහල්පතිනියකගෙන් ප‍්‍රශ්න කළ බවයි.

‘‘මම එයාට සම්මාන දීලා ඉස්කෝලේට මූණ දෙන්නේ කොහොමද ?’’ කියලා එකී විදුහල්පතිනිය ප‍්‍රකාශ කළ බව ඒ.ඞී. රංජිත් කුමාර ප‍්‍රකාශ කළා.

මෙකී ප‍්‍රකාශය මගින් ලංකාවේ විනිශ්චය මණ්ඩවල අසුන් ගන්නා ඊනිසා ප‍්‍රබුද්ධයින්ගේ තරම අපට මනාව වටහා ගත හැකියි. ජනතාවගේ මතය, සංවේදනා ගැන කිසිදු හැඟීමක් නැති මේ ඊනියා විනිශ්චය මණ්ඩල සාමාජික සාමාජිකාවන් අතින් ඇන්ජිලීන් ගුණතිලක පමණක් නොව ජනතා හදවත් වැළඳගත් තවත් ගායික ගායිකාවන් විශාල පිරිසක් නොසලකා හැරීමට, නොතකා හැරීම ලක් වූ බව නොරහසක්.

මෙම සාකච්ඡුාවේදී තවත් සුවිශේෂ කරුණක් හෙළි වුණා. ලංකාවෙව් සංගීත කාලව, විශේෂයෙන් එළිමහන් ප‍්‍රසංග කලාව පිරිහී ඇති ආකාරය පමණක් නොව ඊනිසා සුපිරි තරු වැඩසටහන් සමාජයට කර ඇති විනාශය ද එම ප‍්‍රකාශය මගින් හෙළි වුණා. මෙම කරුණ අනාවරණය කළේ ජනප‍්‍රිය ගායන ශිල්පී කීර්ති පැස්කුවල් මහතා.

කීර්ති පැස්කුවල් මහතා සඳහන් කළ ආකාරයට එක්තරා එළිමහන් ප‍්‍රසංගයකදී ඇන්ජලීන් ගුණතිලක මහත්මිය සහ තරු වැඩසටහන් මගින් බිහිකළ ගායිකාවක් ගීත ගායනා කර තිබෙනවා. එහි විශේෂත්වය වන්නේ අර තරු ගායිකාව ද ගායනා කර තිබෙන්නේ ඇන්ජලීන් ගුණතිලක මහත්මිය ගායනා කළ අතිෂය ජනප‍්‍රිය ගීතයි\ මේ ගීතය දශක කිහිපයක් පුරා අතිෂයින් ජනප‍්‍රිය වූ ගීත. ප‍්‍රසංගය අවසානයේ කීර්ති පැස්කුවල් තරු ගායිකාවගෙන් ගීත ගායනා කිරීම සඳහා ඇයට කොපමණ මුදලක් ලැබුණා ද යන්න විමසා තිබෙනවා.

‘‘රුපියල් 50,000ක් ’’ ඇය ආඩම්බරෙන් පිළිතුරු දුන්නා.

ඒ සමග කීර්ති පැස්කුවල් ඇන්ජලීන්ගෙන් ඇයට ලැබුණ ගණන විමසා තිබෙනවා.

‘‘රුපියල් 20,000යි’’ ඇය කිව්වා.

මේ කතා ගැන තව කිසිවක් ලිවීමට අවශ්‍ය නැහැ. ලංකාව පත්ව තිබෙන අවාසනාවන්ත තත්ත්වයේ කැඩපතක් බවට මෙවැනි සිදුවීම් පත්ව තිබෙනවා.

පසුගිය කාලයේ හතු පිපෙන ආකාරයට බිහි වූ සුපිරි තරු වැඩසටහන්වල ගායනා කළ බහුතරයක් ගී අතර ඇන්ජලීන්ගේ ගී තිබුණ බව ඒවා නැරඹු සියලූ දෙනාටම රහසක් නොවෙයි. අමු අමුවේ සිදු වූ මෙම බුද්ධිමය දේපොළ මංකොල්ලයෙන් බොහෝ දෙනෙක් කෝටිපතියන් සහ පොරවල් වූ බව රහසක් නොවෙයි. දැන් ඇන්ජලීන් නැති තත්ත්වය තුළ ඇගේ ආත්මය බදු ඒ ගීත හිතූ හිතූ ආකාරයට මංකොල්ල කමින් පේ‍්‍රක්ෂකයින් ද කොලල් කෑමට පහසු අවස්ථාවක් උදාවන බව පැහැදිලි කරුණක්.

ඇන්ජලීන් ගුණතිලක මහත්මිය අප හැරදා යාම හුදු අහම්බයක් නොවෙයි. ඇය පරමායුෂ භුක්ති වින්ඳ බවයි අපට නම් හිතෙන්නේ. එහෙත් ඇය තවත් චිරාත් කාලයක් ජීවත් වුණා නම් කොපමණ හොඳ ද කියලා හිතෙනවා. ඒ අපේ තරුණ කාලයේ වගේම ගෙවෙමින් පවතින මැදි වයසේ ද ඇයගේ මියුරු හඬ ශ‍්‍රවණය නොවන දිනයක් නොමැති නිසයි. අප සියලූ දෙනාම ඇයට එපමණට ආදරය කළ නිසයි.

ලංකාවේ පවතින සංස්කෘතික නොදියුණුභාවය සහ පටු මහන්තත්වය, කල්ලි සහ ගුරුකුල වන්දනාව නිසා විශ්වීය දායාද, පුරාවෘත්ත විය හැකි ගායක ගායිකාවන්, නළු නිළියන් විශාල පිරිසක් මේ පුංචි කොදෙව්වට පමණක් සීමා වුණා. ඇන්ජලීන්ගේ සමකාලීනයින් වන එච්.ආර්.ජෝතිපාල, පේ‍්‍රඞී සිල්වා, සුජාතා අත්තනායක, ලතා වල්පොල, ඒ අතර කිහිප දෙනෙක් පමණයි. ඉහත සඳහන් කළ විදුහල්පතිනිය වැනි පටු මානසික / සංස්කෘතික වහළුන් නොසිටියා නම් මේ සියලූ දෙනාම ලෝක පූජිත වන බවට සැකයක් නැහැ. අපේ ලතා වල්පොලලා, සුජාතා අත්තනායකලා, ඇන්ජලීන් ගුණතිලකලා ඉන්දියාවේ පමණක් නොව මුළු ලෝකයේම වස්තුවක් බවට පත්ව ඇති ලතා මංගෙෂ්කාර් වැනි ගායිකාවන් වන බවට සැකයක් නැහැ. කොහොම වුණත් සංස්කෘතික වහළුන් සහ වහළියන් ඒ ස්වර්ණමය අවස්ථාව අපට, රටට අහිමි කළා. ඒ වෙනුවට අනුන්ගේ ගීත ගායනා කරමින්, එම ගීත ගායනා කරන අයුරු විනිශ්චය කරමින් ‘‘මංපොර’’ වෙන කල්ලියක් සහ ඒ සියලූ දෙනාම අමු අමුවේ විකුණමින් තම මඩිය තරකර ගන්නා මාධ්‍ය සංස්කෘතියක් අප මත පටවා තිබෙනවා.

ඇන්ජලීන් ගුණතිලක මහත්මියගේ සමුගැනීම එක්තරා මිහිරි, ආශ්චර්යමත් යුගයක අවසානයක් බව සඳහන් කළ හැකියි. ජෝති මියගිය පසු සිනමා ශාලා පාළු වුණා. පේ‍්‍රඩි මියගිය පසු සිනමා ශාලා ගොළු වුණා. ඒ වගේම ඇන්ජලීන්ලා, සුජාතලා ගීත නොගැයූ පසුගිය යුගයේ ද සිනමා ශාලා ගුබ්බෑයම් බවට පත් වුණා. එළිමහන් ප‍්‍රසංග වේදිකා  කපුටන්ගේ කෙම්බිම් බවට පත් වුණා. සිංහල සිනමාවේ රිදී සීනුව ද සදාකාලික නිහඬ වූ පසු ….

ඇන්ජලීන් ඔබට සුභ ගමන්…

රුවන් ලොකුවිතානගේ

Recommended For You

About the Author: Admin