උදාගම් ව්‍යාපාරය අදටත් වලංගු ඇයි ? 01 – කොටස

‘‘දඹුලු ගලේ ගිරි මුදුනට රන්ගිරි ගම පේනවා
සීගිරියේ ගිරි මුදුනට රන් හිරු රැස් වැටෙනවා
ඉසුරුමුණියේ පෙතලි ගලක් ඉතිහාසය කියනවා
උදාගමයි – මහවැලියයි මුළු රට සරු කරනවා…

දිළිඳු පුතා හෙට උපදින නව අරුණළු දකිනවා
දිළිඳු පැළක් හෙට දවසෙදී රජු මැඳුරට හැරෙනවා
නිරිඳෙකු ගෙට ගොඩවීලා ගැමි දුක ගැන අහනවා
පහුවදාට ඒ ගම මත උදා ගමක් හැදෙනවා…’’

මේ ප‍්‍රවීන ගායිකා චිත‍්‍රා සෝමපාල මහත්මිය මීට දශක තුන හතරකට පමණ ඉහතදී ගායනා කළ ජනප‍්‍රිය ගීයක්. එම යුගයේ බොහෝ දෙනෙක් මේ ගීතයට ආදරය කළා. ඒ මේ ගීතයේ අදහස ඔවුන්ට අති සංවේදී වුණ නිසා. ඔවුන්ගේම කතාව වුණ නිසා. වඩාත් සරල ආකාරයෙන් ප‍්‍රකාශ කළහොත් එදා චිත‍්‍රා සෝමපාල මහත්මිය මහත් අභිමානයෙන් ගායනා කළේ රටේ අගනුවර වූ කොළඹ මාළිඟාවත්තේ සිට දුර ඈත දඹුල්ලේ රන්ගිරිගම දක්වා වූ සුවහසක් ජනතාවගේ හෘද සාක්කියයි. හෘද ස්පන්දනයේ රාවයයි. මේ ගීයට වස්තු බීජය වුණේ එදා (1978- 1993) මුළු රටේම පමණක් නොවෙයි මුළු ලෝකයේම අවධානය දිනාගත් ‘‘උදාගම් ව්‍යාපාරය’’ (ගම්උදාව) සහ කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපාරයයි. එමගින් රටටත්, ජනතාවටත් උරුම කර දුන් සෞග්‍යායයි. සංවර්ධනනයි. මේ ලෝකයේම ගෞරවාදරයට පාත‍්‍ර වූ‘‘යළි පිබිදුනු උදා ගම්මාන’’ වැඩසටහනේ ආගිය කතාවයි…

හිසට සෙවනක් – හිතට නිවනක් අහිමි ජනතාවක්

1970 දශකය ශ‍්‍රී ලංකාවට පමණක් නොවෙයි මුළු ලෝකයේම ගමන් මඟ කෙරෙහි තීරණාත්මක බලපෑමක් කළ දශකයක් වශයෙන් සැලකෙනවා. ගෝලීය වශයෙන් ගත් විට 70 දශකය ආරම්භ වන්නේ ඛනිජ තෙල් මිල ඉහළ යාම හේතුවෙන් ඇති වූ ආර්ථික අර්බුදයක් සමගයි. නොසිතූ විරූ පරිදි ඉහළ ගිය ඛනිජ තෙල් මිල හමුවේ මුළු ලෝකයේම ආර්ථිකය දැඩි කම්පනයකටත් අර්බුදයකටත් ලක් වුණා. ඛනිජ තෙල් මත රැුඳියාව දැඩි ප‍්‍රශ්න කිරීමකට ලක් වුණා. එහි ප‍්‍රතිඵලයක් ලෙස විකල්ප බල ශක්තිය කෙරෙහි මුළු ලෝකයේම අවධානය යොමු වුණා. එය තවත් දශක කිහිපයකට පසු ගෝලීය පරිසරය කෙරෙහි වඩාත් සාධනීය බලපෑමක් කළා.
දේශපාලන වශයෙන් ගත් විට යටත් විජිතවාදයෙන් හා නව යටත් විජිතවාදයේ බැමි තව දුරටත් බුරුල් වීමක් 70 දශකය ආරම්භයේ සිටම දැකගත හැකි වුණා. අප‍්‍රිකාවේ, ලතින් ඇමෙරිකාවේ සහ මැදපෙරදිග කලාපය පුරා මේ රැුල්ල හමා ගියා. අග්නිදිග ආසියාව නව යටත් විජිතවාදයේ බැමිවලින් මිදෙන්න කළ අරගලය උත්සන්න වුණා. ඒ සමග ඇමෙරිකා එක්සත් ජනපදය ප‍්‍රමුඛ බටහිර රාජ්‍යවලත් පුළුල් දේශපාලන හා ආර්ථික ප‍්‍රතිසංස්කරණ දියත් වුණා. ඇමෙරිකාව විසින් නායකත්වය දුන් ධනවාදී බටහිර ඇලිය සහ සෝවියට් දේශය විසින් නායකත්වය දුන් සමාජවාදි ඇලිය අතර ‘‘සීතල යුද්ධය’’ තව දුරටත් තීව‍්‍රර වුණා. ඒ අතර කොමියුනිස්ට්වාදී (මා ඕවාදී) චීනයේ පුළුල් ප‍්‍රතිසංස්කරණ ආරම්භ වුණා. ඒ ‘‘ඩෙං ෂියා ඕ පෙන්’’ ගේ නායකත්වයෙන්. මහා බලවත් වත්මන් චීනය බිහි වුණේ ඒ ප‍්‍රතිසංස්කරණ හේතුවෙනුයි.

ලංකාව 1970 දශකයට මුහුණ දුන්නේ නව මහ මැතිවරණයක් සමගයි. 1965 දී බලයට පත් ඩඞ්ලි සේනානායක අගමැතිවරයාගේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව 1970 මාර්තු 25 වැනිදා විසුරුවා හැරීමට අග‍්‍රාණ්ඩුකාරයා පියවර ගත්තේ මැයි 27 වැනිදා මහ මැතිවරණය කැඳවමිනුයි. එම මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයට දැවැන්ත පරාජයකට මුහුණදීමට සිදු වුණා. මුළු ඡුන්ද 18,76,956ක් දිනාගත් එක්සත් ජාතික පක්ෂයට දිනාගත හැකි වුණේ මන්ත‍්‍රීධූර 17ක් පමණයි. මුළු ඡුන්ද 18,12,849ක් දිනාගත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය මන්ත‍්‍රීධූර 90ක් දිනාගත්තා. ශ‍්‍රීලනිප නායිකා සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය විසින් ආණ්ඩු බලය පිහිටෙවව්වා. ඒ ශ‍්‍රී ලංකා සමසමාජ (19) සහ ශ‍්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය (6) සමග සන්ධාන ගත වීම සමගයි. මේ සන්ධානගත වීම් හේතුවෙන් ‘‘සමගි පෙරමුණු ආණ්ඩුව’’ යනුවෙන් නාමකරණය වුණා.
නව ආණ්ඩුව බලයට පත්වීම සමග එවකට ගෝලීය රැුල්ලක් බවට පත්ව තිබූ සමාජවාදී දර්ශනය අනුව යමින් ආර්ථික හා දේශපාලන ප‍්‍රතිසංස්කරණ රැුසක් ක‍්‍රියාත්මක කළා. ඒ අතර ලංකාවට නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට ද පියවර ගත්තා. සමගි පෙරමුණු ආණ්ඩුව කොතරම් සමාජවාදී ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාත්මක කළත් 1971දී වාමාංශික ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධ කැරැුල්ලකට මුහුණදීමට සිදු වුණා. රැුකියා හිඟයෙන් බැට කෑ උගත් තරුණයින්, ඉඩම් හිඟයෙන් බැට කෑ ග‍්‍රාමීය ගොවි පවුල්වල තරුණයින් සහ කුල පීඩනයෙන් බැට කෑ තරුණයින් පිරිසක් ආයුධ අතට ගත්තේ දුප්පතුන්ව හා අවවරප‍්‍රසාදිතයින්ව කොන්කළ සමාජ ක‍්‍රමය පෙරළා දමා වඩාත් ජනතාවාදී පාලනයක් බිහි කිරීමේ පරමාර්ථයෙනුයි. ඒත් සමාජවාදී යැයි කියාගත් ආණ්ඩුව මේ වාමාංශික කැරැුල්ල සම්පූර්ණයෙන් මර්ධනය කළා. ඒත් ‘‘71 කැරැුල්ල’’ ලෙස නාමකරණ වූ මේ කැරැුල්ල මගින් ඇති කළ සමාජ හා දේශපාලන කම්පනයට විසඳුම් සෙවීමේ විධිමත් සැලසුමක් හෝ අවශ්‍යතාවක් ආණ්ඩුවට තිබුණේ නැහැ. ඒ වේදනාව සමාජය තුළ තවත් කාලයක් ජීවමානව පැවතුණා.

අලුත් ආණ්ඩුවක්, අලූත් වැඩපිළිවෙළක්, අලූත් ව්‍යවස්ථාවක් (ශ‍්‍රී ලංකාව ජනරජයක් බවට පත් කිරීම* සහ සන්නද්ධ අරගලයක් සමග ආරම්භ වූ 70 දශකය තවත් වසර කිහිපයක් යන විට ලංකාවේ සාමාන්‍ය ජනතාවට ඔවුන් එතෙක් මෙතෙක් නොවිඳි දැවැන්තම පීඩනය ඇති කළා. සමාජවාදී ප‍්‍රතිපත්ති මුවාවෙන් ඇති කළ ආනයන පාලන දැඩි සංවෘත්ත ආර්ථිකය මගින් නිර්මාණය කළේ ‘‘හාල් පොලූ, සීනි පොලූ’’ ආදියයි. එක තැන පල්වෙන සංවෘත්ත ආර්ථිකය රටේ රැුකියා නිර්මාණය කරනු වෙනුවට ඒවා තව දුරටත් සීමා කළා. සිමෙන්ති කොට්ටයක් ගැනීමට පමණක් නොව මඟුල් සාරිය ගැනීමට පවා සමුපකාර පොලීම්වල ලැඟිය යුතු අහේනි යුගයක් නිර්මාණය කළා. 1975 දී සමගි පෙරමුණේ දීගය හමාර වුණා. වාමාංශික පක්ෂ ආණ්ඩුවෙන් ඉවත් වුණා. ඒ සමග ගරා වැටීම ආරම්භ වූ ආණ්ඩුව නියමිත පරිදි 1975දී මහ මැතිවරණය නොපවත්වා කෛරාටික ලෙස තවත් වසර දෙකකට බලය දික්කර ගත්තා.
1977 ජූලි 21 වැනිදා ජාතික රාජ්‍ය සභාවේ ප‍්‍රථම මැතිවරණය හෙවත් 08 වැනි පාර්ලිමේන්තු මැතිවරණය පැවැත් වුණා. පුරා හත් වසරක් ජනතාව මුහුණ දුන් ආර්ථික, සමාජ හා දේශපාලන පීඩනයට ජනතාව ප‍්‍රතිචාර දක්වා තිබුණේ විශ්මිත ආකාරයෙන්. එතෙක් මෙතෙක් කාලයක් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෝකයේ මහ මැතිවරණයක් මගින් දේශපාලන පක්ෂයක් ලබා ගත් දැවැන්තම පාර්ලිමේන්තු බලයට එක්සත් ජාතික පක්ෂයට හිමිකම් කීමේ අවස්ථාව උදා වුණා. ඒ පාර්ලිමේන්තුවේ මුළු මන්ත‍්‍රීධූර සංඛ්‍යාවෙන් 6/5ක බලයක් (මුළු මන්ත‍්‍රීධූර 168න් 140ක බලයක්) හිමිකර ගැනීම සමගයි.

6/5ක බලයකින් අභිෂේක කළ නව යුගය

6/5ක අති දැවැන්ත පාර්ලිමේන්තු බලයක් සමග ආරම්භ වූ එක්සත් ජාතික පක්ෂයේ පාලනය ආරම්භයේදීම සුවිශේෂ ආර්ථික හා දේශපාලන ප‍්‍රතිසංස්කරණ රැුසක් ක‍්‍රියාත්මක කළා. 1971 ජනරජ ව්‍යවස්ථාව වෙනුවට විධායක ජනාධිපති ක‍්‍රමය පදනම් කරගත් අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් 1978දී සම්මත කර ගැනීමට එජාපය පියවර ගත්තා. ඒ සමග එතෙක් පැවැති ප‍්‍රජාපීඩක සංවෘත්ත ආර්ථික ප‍්‍රතිපත්තිය වෙනුවට ‘‘විවෘත ආර්ථික ප‍්‍රතිපත්තිය’’ ක‍්‍රියාත්මක කිරීම ආරම්භ වුණා. නිදහස් වෙළෙඳ කලාපය බිහි වුණේ මේ නව ආර්ථික ප‍්‍රතිපත්තියේ ප‍්‍රතිඵලයක් විදිහටයි. මේ සමග 30 අවුරුදු සැලසුමක් ලෙස ක‍්‍රියාත්මක වෙමින් පැවැති ‘‘මහවැලි සංවර්ධන සැලසුම’’ ‘‘කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපාරය’’ බවට පත් කරමින් වසර 6ක් තුළ එහි කටයුතු නිම කිරීමට ආණ්ඩුව පියවර ගත්තා. ශ‍්‍රී ලංකාව සහලින් සහ ජල විදුලියෙන් ස්වයං පෝෂිත වන නව යුගය ආරම්භ වුණේ කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපාරයේ ප‍්‍රතිඵලයක් විදහටයි. වර්තමානය වන විට මුළු රටම මහවැලියේ ප‍්‍රතිලාභ බුක්ති විඳිමින් සිටිනවා.

ගම්උදා ව්‍යාපාරය

1977දී බලයට පත් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විසින් ආරම්භ කළ සංවර්ධන ව්‍යාපාර අතර වඩාත් සුවිශේෂී ව්‍යාපාරයක් වශයෙන් දේශීය සහ ජාත්‍යන්තර අවධානය දිනා ගත්තේ ‘‘ගම්උදාව’’ හෙවත් උදාගම් ව්‍යාපාරයයි. අගමැති රණසිංහ පේ‍්‍රමදාස මහතාගේ (පළාත් පාලන, නිවාස හා ඉදිකිරීම් යන අමාත්‍යාංශ ද හිමිවිය* සංකල්පයක් මත ආරම්භ වූ ගම්උදා ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම පේ‍්‍රමදාස මහතාගේ අධීක්ෂණය හා කැපවීම මත ක‍්‍රියාත්මක වුණා. ඇතැමුන්ට අනුව, ආර්. පේ‍්‍රමදාස සහ ගම්උදාව ‘‘ගසට පොත්ත මෙන්’’ බැඳී පවතින්නක්. ගම්උදාව පේ‍්‍රමදාස මහතාගෙනුත්, පේ‍්‍රමදාස මහතා ගම්උදාවෙනුත් වෙන්කර කතා කළ නොහැකි බවයි එයින් අදහස් වන්නේ. එදා, ආර්. පේ‍්‍රමදාස යුගයේදී පැවති මේ සබැඳියාව අදත් ඒ ආකාරයෙන්ම ජීවමානව පවතින බව අපට පැහැදිලිව හඳුනාගත හැකියි.

ආර්.පේ‍්‍රමදාස මහතාට ප‍්‍රමුඛ ජාතික ව්‍යාපාරයක් වශයෙන් ගම්උදා ව්‍යපාරය ආරම්භ කිරීමට හේතු වූ කරුණු රැුසක් ගැන සමාජ විද්‍යාඥයින් සඳහන් කරනවා. ඒ අතර ප‍්‍රධාන වන්නේ විවිධ සමාජ – ආර්ථික හේතු හා පීඩනයන් හේතුවෙන් තමාගේම කියා නිවසකට හිමිකම් කීමට නොහැකි ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මෙකී යුගය වන විට ලංකාව තුළ සෑම ප‍්‍රදේශයකම ජීවත්වීමයි. කුල පීඩනයය විසින් ග‍්‍රාමීය වශයෙන් සිදු වූ බලපෑම හේතුවෙන් මෙන්ම ඉඩම් අහිමිවීම (වතු වගාවට ඉඩම් අල්ලා ගැනීම වැනි, ඉඩම් බෙදීයාම වැනි කරුණු නිසා ද ග‍්‍රාමීය සමාජයේ අති විශාල පිරිසක් තමන්ගේම කියා බිම් අඟලකට හිමිකමක් නොමැතිව ජීවත් වුණා. ඒ වගේම ආර්ථික අහේනිය විසින් ඔවුන්ට ගෙයක් දොරක් ගොඩනගා ගැනීමට ඇති හැකියාව තව දුරටත් දුර්වල කරලා තිබුණා. මේ තත්ත්වය තුළ ලංකාවේ ග‍්‍රාමීය සමාජයේ ඉඩම් හා නිවාස ප‍්‍රශ්නය දැවැන්ත සමාජ ගැටලූවක් බවට පත් වෙලා තිබුණා. ඒ වගේම නගර කරා සංක‍්‍රමණය වූ රාජ්‍ය සේවකයින්, කම්කරුවන් වැනි ප‍්‍රජා කණ්ඩායම් ද නිවාස හා ඉඩම් ප‍්‍රශ්නයෙන් දැඩිව බැටකෑවා. විශේෂයෙන් නාගරික කම්කරු පන්තිය හා ලිපිකරුවන් වැනි කණ්ඩායම්වලට මේ ප‍්‍රශ්නය දැඩිව බලපෑවා. ඉහත තත්ත්වය විසින් නිර්මාණය කළ සමාජ අසහනයට කඩිනම් විසඳුම් ලබාදීම වෙනුවෙන් අග‍්‍රාමාත්‍ය රණසිංහ පේ‍්‍රමදාස මහතා විසින් වඩාත් ජනතාවාදී හා ප‍්‍රායෝගික වැඩපිළිවෙළක් ලෙස ‘‘උදාගම්’’ වැඩසටහන ආරම්භ කළා. ‘‘හිසට සෙවණක් – හිතට නිවනක් ’’ යන තේමා පාඨය යටතේ ආරම්භ කළ ගම්උදා ව්‍යාපාරය රජයේ පූර්ණ අනුග‍්‍රහය හා ආශිර්වාදය ලබන දැවැන්තම සමාජ සුබසාධන වැඩසටහන බවට පත් වුණා. උදාගම් ව්‍යාපාරය හුදු නිවාස ගොඩනැගීමකින් ඔබ්බට ගිය සමාජ සවිබලකරණ හා සමාජ සංවර්ධන ව්‍යාපාරයක් බවයි මේ පිළිබඳ පර්යේෂණක කළ විශේෂඥයෝ අවධාරණය කළේ. මේ වැඩපිළිවෙළ යටතේ රජයේ පූර්ණ දායකත්වයෙන් නිවාස හා නිවාස සංකීර්ණ ඉදිකිරීමට අමතරව, ප‍්‍රජා සහභාගීත්වයෙන් ද, පුද්ගල හා දානපතීන්ගේ සහභාගීත්වයෙන් ද නිවාස ඉදිකිරීම සිදු වුණා. (අත්කම් නිවාස වැනි )
ඒ සමග උදාගම් ව්‍යාපාරය සඳහා වන රාජ්‍ය බර සැහැල්ලූ කර ගැනීම වෙනුවෙන් ‘‘සෙවණ’’ ලොතරැුයිය ආරම්භ කිරීමට ද පේ‍්‍රමදාස මහතා පියවර ගත්තා. ‘‘ඔබට මුදල් – රටට ගෙවල් ’’ යන තේමාව යටතේ අලෙවි වූ ‘‘සෙවණ’’ ලොතරැුයිය මගින් වඩාත් පුළුල් දායකත්වයක් හිමි වූ බව මේ පිළිබඳ සොයා බැලූ විශේෂඥයින් සඳහන් කරනවා. ඔවුන් කියන්නේ ‘‘සෙවණ’’ ලොතරැුයිය මගින් මුළු රටේ ජනතාවටම ගම්උදා ව්‍යාපාරය සමග සම්බන්ධවීමටත් තම දායකත්වය ලබාදීමටත් අවස්ථාව උදා වූ බවයි.

උදාගම් ව්‍යාපාරය තව දුරටත් පුළුල් වීමේදී වාර්ෂිකව එය ජාතික වැඩසටහනක් දක්වා ගමන් කිරීමක් සිදු වුණා. තෝරාගත් දිස්ත‍්‍රික්කයක දැවැන්ත සංවර්ධන වැඩපිළිවෙළක් සමග දියත් වූ ‘‘උදාගම් සැණකෙළිය’’ මගින් අදාළ ප‍්‍රදේශයේ දැවැන්ත සමාජ හා ආර්ථික සංවර්ධනයක් සිදු වුණා. අද විශ්වවිද්‍යාලයක් බවට පත්ව තිබෙන ‘‘රජරට විශ්වවිද්‍යාලය’’ පිහිටි මිහින්තලය මෙවැනි ජාතික වැඩසටහනක් පැවැති ස්ථානයක්. බුත්තල වැනි අති දුෂ්කර ප‍්‍රදේශවලට සංවර්ධනයේ අරුණළු වැටුණේ මේ වැඩසටහන මගින් බව බොහෝ දෙනෙක් අවිවාදයෙන් යුතුව පිළිගන්නවා.

වසර 2000දී සැමට සෙවණ

උදාගම් ව්‍යාපාරය මගින් මෙරට නිවාස නොමැති පවුල් දස ලක්ෂයක් සඳහා නිවාස ලබාදීම රණසිංහ පේ‍්‍රමදාස මහතාගේ අරමුුණ බවට පත්ව තිබුණා. ඒ අනුව ‘‘වසර 2000දී සැමට සෙවණ’’ යන ආදර්ශ පාඨය යටතේ ගම්උදා ව්‍යාපාරය වඩාත් පුළුල් වුණා.

නිවාස අයිතිය අහිමි ජනතාව වෙනුවෙන් නිවාස හිමිකම ලබාදීමේ වඩාත් නිර්මාණාත්මක හා ප‍්‍රායෝගික වැඩපිළිවෙළක් වශයෙන් ක‍්‍රියාත්මක වෙමින් පැවති ගම්උදාව 80 දශකයේ මධ්‍ය භාගය වන විට ජාත්‍යන්තරයේ අවධානය දිනාගත් ලොව ප‍්‍රමුඛ සමාජ සංවර්ධන ව්‍යාපාරයක් බවට පත් වුණා. ලංකාවේ උදාගම් ව්‍යාපාරය ක‍්‍රියාත්මක වන ආකාරය නිරීක්ෂණය කිරීමට, අත්දැකීම් ලබා ගැනීමට ලෝකයේ බොහෝ රාජ්‍යවල රාජ්‍ය නායකයින්, නිලධාරීන් හා ප‍්‍රජා නායකයින් ලංකාවට පැමිණියා. මේ ජාත්‍යන්තර අවධානයේ ප‍්‍රතිඵලයක් ලෙස 1985 ‘‘ලෝක නිවාස වසර’’ ලෙස නම් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය පියවර ගත්තා. ඒ සමග සෑම වර්ෂයකම ඔක්තෝබර් මස පළමු සඳහා දිනය ‘‘ලෝක ජනාවාස දිනය’’ ලෙස නම් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය පියවර ගත්තා. එය ශ‍්‍රී ලංකාවට ජාත්‍යන්තර තලයේ ලැබුණු ඉහළ පිළිගැනීමක් වශයෙන් සැලකිය හැකියි. ඒ වන විට ලෝකයේ ක‍්‍රියාත්මක වූ වඩාත්ම ප‍්‍රායෝගික හා ඵලදායීම ප‍්‍රජා සංවර්ධන වැඩසටහන වශයෙන් සැලකුණේ ගම්උදා ව්‍යාපාරයයි.

ජනතාභිෂේකය

1988 දෙසැම්බර් මස 19 වැනිදා පැවැති ජනාධිපති ජනග‍්‍රහණය කිරීමට රණසිංහ පේ‍්‍රමදාස මහතා සමත් වුණා. මෙම ජයග‍්‍රහණය මෙරට පොදු ජනතාව ලැබූ ජයග‍්‍රහණයක් වශයෙන් සැලකිය හැකියි. ඒ මෙරට දිළිඳු ජනතාව වෙනුවෙන් වඩාත් ප‍්‍රායෝගික හා ඵලදායී සංවර්ධන ව්‍යාපෘති දියත් කළ නායකයා වන්නේ රණසිංහ පේ‍්‍රමදාස මහතා වීම නිසයි.

ජනාධිපති ධූරයට පත් රණසිංහ පේ‍්‍රමදාස මහතා වඩාත් උනන්දුවෙන් හා සැලකිල්ලෙන් ගම්උදා ව්‍යාපාරය ක‍්‍රියාත්මක කිරීමට මෙම යුගයේදී පියවර ගත්තා. ඒ වන විට ‘‘නිවාස දස ලක්ෂයේ’’ වැඩසටහන තම ඉලක්ක සම්පූර්ණ කර ගෙන සිටි බැවින් ‘‘නිවාස විසිපන් ලක්ෂය’’ දක්වා ඉලක්කය දිගු කිරීමට පේ‍්‍රමදාස මහතා පියවර ගත්තා.

ගම්උදාව, ඇඟළුම් කම්හල් 200 වැඩසටහන, ‘‘ජනසවිය’’ වැනි පොදුජන සංවර්ධනය වෙනුවෙන් අති දැවැන්ත ආර්ථික හා සමාජ සංවර්ධන ව්‍යාපාරයක් දියත් කළ ජනාධිපති රණසිංහ පේ‍්‍රමදාස යුගය 1993 මැයි 01 වැනිදා අනපේක්ෂිත ආකාරයෙන් නිමාවට පත් වුණා. ඒ 1993 මැයි 01 වැනිදා, ජාත්‍යන්තර කම්කරු දිනයදා, එක්සත් ජාතික පක්ෂයේ මැයි රැුළිය සංවිධානය කරමින් සිටියදී කොටි ත‍්‍රස්තවාදීන්ගේ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයකට ලක්ව රණසිංහ පේ‍්‍රමදාස මහතා ඝාතනය වීම සමගයි.

රණසිංහ පේ‍්‍රමදාස මහතාගේ අභාවයත් සමග ඉතාම කෙටි කාලයකින්, 1994 අගෝස්තු 16 වැනිදා පැවැති පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය පරාජයට පත්වීම සමග 17 වසරක එක්සත් ජාතික පක්ෂයේ පාලනය අවසන් වුණා. ඒ සමග පොදුජනතාව වෙනුවෙන් දියත් වූ මෙරට දැවැන්තම සමාජ සංවර්ධන වැඩසටහන වූ ගම්උදා ව්‍යාපාරය අවසන් වුණා.
රණසිංහ පේ‍්‍රමදාස මහතාගේ අභාවයෙන් අඩ සියවසකට පසුවත් ලංකාවේ පොදුජන සංවර්ධනය වෙනුවෙන් දියත් වූ වඩාත් ප‍්‍රායෝගික හා ඵලදායි සංවර්ධන වැඩසටහන වශයෙන් ගම්උදාව සැලකෙනවා. එදත් අදත් ලංකාවේ ඕනෑම ප‍්‍රදේශයකට ගිය විට උදාගමක් දැකිය හැකියි. ඒ හරහා පිළිසරණ ලැබූ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් දැකගත හැකියි. රණසිංහ පේ‍්‍රමදාස නාමය අදත් ලංකාවේ නොමැකෙන, සදානුස්මරණීය නාමයක් වී තිබෙන්නේ ගම්උදාව මගින් උදාකළ සංවර්ධනය නිසා බව කිව හැකියි.


02 කොටස හෙට
සැකසුම : ප‍්‍රසන්න ධම්මික විතානගේ

Recommended For You

About the Author: Editor