ඝාතනයට ලක් වූ මාධ්‍යවේදී ජමාල්ගේ දරුවන්ට සෞදි රජයෙන් ඩොලර් බිලියන ගණනක් – දරුවන්ගේ කට වහන්න කළ වැඩක් බවට විවේචන

මහත් ආන්දෝලනයට ලක් වූ මාධ්‍යවේදී ජමාල් කාශොග්ජින්ගේ දරුවන් සිවු දෙනාට සෞදි රජය විසින් ඩොලර් බිලියන ගණනක් වටිනා නිවාස සහ මුදල් පරිත්‍යාග කර ඇතැයි රොයිටර් (රියාද්* පවසනවා.

සෞදි රජ පවුල දැඩිව විවේචනය කරන්නෙකු ලෙස ප‍්‍රකට මාධ්‍යවේදී ජමාල්ව පසුගිය වසරේදී තුර්කියේ ඉස්තාන්බුල් නුවර පිහිටි සෞදි තනාපති කාර්යාලය තුළ දී ඝාතනය කර ඔහුගේ අස්ටි කොටස් ඇසිඞ් වතුරේ දියකර හැර ඇතැයි සොයා ගැනීමට හැකි වුණා. ජමාල්ගේ ඝාතනය සම්බන්ධයෙන් සෞදි රජ පවුලට ඍජුව චෝදනා එල්ල වූ අතර මෙම ඝාතනය සිදු කළේ සෞදි ඔටුන්න හිමි කුමරු වන සල්මාන් කුමරුට හිතවත් කණ්ඩායමක් බවට විශ්වාස කළ අතර ඝාතනයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රියාද්හි රොයිටර් වාර්තාකරු පවසන ආකාරයට ජමාල්ගේ දරුවන් වෙනුවෙන් සෞදි රජය ඩොලර් බිලියන ගණනක් වැයකර තිබෙනවා. මේ ගැන අදහස් දක්වන පිරිස් පවසන්නේ ජමාල්ගේ දරුවන් නිහඬ කිරීම සඳහා සෞදි රජය විසින් මෙම පියවර ගෙන ඇති බවයි.

උපතින් සෞදි අරාබියානු ජාතිකයෙක් වන ජමාල් ඝාතනය වන විට ඇමෙරිකානු පුරවැසිභාවය ලබා ගෙන සිටියා. ඒ වන විට ඔහු ලොව බලවත්ම පුවත්පතක් වන ‘වොෂින්ටන් පෝස්ට්’’හි තීරු ලිපි රචකයෙකු ලෙස සේවය කළා.

ජමාල්ගේ ඝාතනය සම්බන්ධයෙන් ඇමෙරිකානු රජය මුල් දිනවල ඉමහත් උන්නදුවෙන් කටයුතු කළා. ජමාල් ඝාතන සිද්ධියේ පරීක්ෂණවල වත්මන් තත්ත්වය ගැන ඇමෙරිකානු රාජ්‍ය ලේකම් පොම්පේ ඕ පසුගිය සතියේ කොංග‍්‍රස් මණ්ඩලයේ විශේෂ විමර්ශන කමිටුව හමුවේ කරුණු අනාවරණය කළා. එහිදී රාජ්‍ය ලේකම්වරයා පවසා සිටියේ ජමාල් ඝාතනය සම්බන්ධ පරීක්ෂණ තවමත් අවසන්ව නැති බවයි.

ජමාල් ඝාතකයින්ට එරෙහිව ක‍්‍රියාකරනු වෙනුවට ඔහුගේ දරුවන් නිහඬ කිරීම සඳහා සෞදි රජය ගන්නා පියවර ලෝකයේ බොහෝ දෙනකුගේ දැඩි විවේචනයට ලක්ව තිබෙනවා. ඔහුන් සඳහන් කරන්නේ බලවතුන්ට එරෙහිව කටයුතු කළ බොහෝ මාධ්‍යවේදීන්ට අවසානයේ යුක්තිය ඉටු නොවූ බවයි.

ශ‍්‍රී ලංකාවේ ද ඝාතනය ලක් වූ ලසන්ත වික‍්‍රමතුංග, කේ. සිවරාම් හා අතුරුදන් වූ බවට සැකකරන ප‍්‍රගීත් එක්නැලිගොඩ ඇතුළු පිරිස වෙනුවෙන් තවමත් යුක්තිය ඉටු වී නැහැ.

Recommended For You

About the Author: Editor