මන්නාරම සමූහ මිනීවල 1543 යාපනයේ රජු විසින් ඝාතනය කරන ලද කතෝලික භක්තිකයන්ගේ

එය සිදු වුයේ 1543දී ය. පෘතුගීසීන් ලංකාවට පැමිණියේ එයින් 38 වසරකට පෙර 1505දී ය. ඒ වන විට ලංකා දිවයින රාජ්‍ය ගණනාවකට බෙදී තිබිණි. එයින් වඩාත් ම ප්‍රබල රාජ්‍යය වූ කෝට්ටේ රාජධානියේ රජු වූ බුවනෙකබාහු රජු පෘතුගීසීන් සමග සන්ධානගතව සිටියේ ය. ඔහුගේ සොයුරු, සීතාවක නම් කුඩා රාජ්‍යයේ රජු වූ මායාදුන්නේ සැමවිට ම යුරෝපීය ආක්‍රමණිකයන්ට විරුද්ධ වූ අයෙකි. ඔහුගේ අනෙක් සොයුරා වූ රයිගම් රාජධානියේ රජු වූ රයිගම් බණ්ඩාර සමග සන්ධානගත වූ මායාදුන්නේ, ඒකාබද්ධ කෝට්ටේ හා පෘතුගීසි හමුදාවන්ට එරෙහිව සටන් කළේ ය.

රටේ වැඩි භූමි භාගයක් ආවරණය කළ කන්ද උඩරට රාජධානිය කඳුකර සහ වනාන්තර බිම්වලින් ගහන විය. එහෙයින් එය එතරම් ධනවත් සහ බලවත් වූයේ නැත. මහනුවර රජ වූ ජයවීර බණ්ඩාර ප්‍රතිවාදී පාර්ශ්ව දෙක අතර දෝලනය වෙමින් සිටියේ ය. කුඩා ප්‍රාදේශීය පාලකයන් වූ වන්නියාර්වරු මෙම ගැටුම් නිසොල්මනේ නිරීක්ෂණය කරන්නන් බවට පත් වී සිටිය හ. ආර්යචක්‍රවර්ති පරපුරෙන් පැවත ආ යාපනයේ රජුට සිය භූමිය ආක්‍රමණය කරන්නට උත්සාහ කළ පෘතුගීසීන් සමග ගැටුම් තිබිණි.

සේගරාජසේකරම් හෙවත් පෘතුගීසි ඓතිහාසික ලේඛනවල Xaga Raya ලෙස දැක්වෙන පළමු සංකිලි රජු, යාපනයේ රජු වූ අතර ඔහු පාලනය ගෙන ගියේ නල්ලූර් සිට ය. ඔහු සිංගයි පරරාජසේගරම් රජුගේ අනියම් බිසවකට දාව ලැබුණු පුත්‍රයෙකි. පළමු සංකිලි සිහසුන හිමි කරගත්තේ කුමන්ත්‍රණ මාලාවක් ඔස්සේ ය. ඒවායින් සිහසුනට හිමිකම් කියූ බොහෝ අය අභිරහස් මරණවලට ගොදුරු වූ හ. යාපනය රාජධානියේ ප්‍රධාන වරායක් වූ මන්නාරමෙහි ඒ වන විට දෙමළ කතෝලිකයන් සුළු පිරිසක් ජීවත් වූ හ. පැරණි සිංහල ඉතිහාස ග්‍රන්ථවල මෙම වරාය හැඳින්වෙන්නේ මහාතිත්ථ ලෙසයි. 13වන සියවස දක්වා ම එය පාලනය කරනු ලැබුවේ අනුරාධපුරයේ හෝ පොළොන්නරුවේ රජුන් විසිනි.

ක්‍රි.ව. 1541දී ශාන්ත ෆ්‍රැන්සිස් ක්ෂේවියර්තුමා සිය 35වන උපන් දිනයේදී අලුත් ප්‍රතුගීසි යුවරජු වූ මාර්ටින් ඇල්ෆොන්සෝ ද සූසා සමග පෘතුගාලයේ අගනුවර වූ ලිස්බන් වෙතින් එකල පෘතුගීසි ඉන්දියාවේ අගනුවර වූ ගෝව බලා නික්මුණේ ය. පිටත් වීමට පෙර ඔහු නැගෙනහිර භාර අපොස්තලික නන්ෂියෝවරයා හෙවත් පාප් වහන්සේගේ නියෝජිතයා ලෙස පත් කරන ලදී. 1542 මැයි 6දා ඔහු ගෝවට සම්ප්‍රාප්ත වූයේ ය. ඔහුගේ පළමු දූත මෙහෙය වුණේ ගෝවේ පෘතුගීසි පදිංචිකරුවන් අතර ක්‍රිස්තියානිය නැවත ස්ථාපිත කිරීමයි. ගෝවේ පෘතුගීසි ජනගහනයෙන් බහුතරය සැදුම් ලැබුවේ පෘතුගාලයේ සිරගෙවලින් තෝරාගන්නා ලද අසංවර මිනිසුන්ගෙනි. එසේ පැමිණි බොහෝ අය දේශීය කාන්තාවන් සමග සම්බන්ධකම් ඇති කරගෙන ඉන්දීය සංස්කෘතියට හැඩගැහුණ හ.

ගෝවෙන් පිටත කතෝලික දේශනාකරුවන් කීපදෙනෙකු මිස පූජකවරුන් සිටියේ නැත. ශාන්ත ක්ෂේවියර්තුමා වැඩි කාලයක් ගත කළේ ළමයින්ට ඉගැන්වීමට සහ රෝහල්වල රෝගීන්ට දේශනා පැවැත්වීමට ය. ළමුන් හා සේවකයන් කැඳවීම පිණිස සීනුවක් නාද කරමින් වීදිවල ගියේ ය. ඔහු පූජකවරුන්ගේ පුරෝගාමී සෙමනේරියක් වූ ශාන්ත පෝල් විද්‍යාලයේ ප්‍රධානියා විය. එය ආසියාවේ පළමු ජෙසුයිට් මූලස්ථානය විය. පසුව ඔහු දකුණුදිග ඉන්දියාවේ වෙරළාසන්න ගම්මානවල දේශන පැවැත්වී ය. එය ඉතා සාර්ථක වූ අතර බොහෝ ධීවර ප්‍රජාවන් ක්‍රිස්තියානිය වැළඳ ගත් හ. ඔහුගේ විචක්ෂණශීලීභාවය, ගුණ යහපත්කම සහ කාර්යක්ෂමතාවය පිළිබඳ මුහුදෙන් එතෙර මන්නාරමට ද සැළ විය.

ඉන් පසු සිදු වූ සිදුවීම් මෑතදී මන්නාරම සමූහ මිනී වලෙන් සොයාගත් පිරිමි, ගැහැණු සහ ළමා අස්ථි කොටස් සමග සම්බන්ධ යයි සැක කළ හැකි ය. මෙම සිදුවීම් ජේසු සභාවේ කතෝලික පූජකවරයකු වූ ප්‍රනාන්දු  ක්වෙයිරෝස් පියතුමා විසින් ලියන ලද “ලංකාවේ ලෝකායත්ත සහ ආධ්‍යාත්මික ආක්‍රමණය හෙවත් “The Temporal and Spiritual Conquest of Ceylon” දෙවන පොතෙහි 11වන පරිච්ඡේදයේ සවිස්තරව ඉදිරිපත් කර තිබේ. 1617දී ලිස්බන්හි උපන් මෙම පියතුමා 1635දී ගෝවට පැමිණියේ ය. එවකට ගෝවේ ජීවත් වූ බොහෝ පෘතුගීසි පූජකවරුන්, නිලධාරීන්, සොල්දාදුවන් සහ සිංහල, දෙමළ මිනිසුන් විසින් දෙන ලද තොරතුරු මත පදනම්ව ඔහු විසින් සුවිසල් පොත් හයක් ලියන ලදී. ශ්‍රී ලංකාව පිළිබඳ ඔහුගේ ලේඛන 1929දී එස්.ජී. පෙරේරා පියතුමා විසින් පෘතිගීසි බසට පරිවර්තනය කරන ලදී.

ක්වෙයිරොස් පියතුමා විසින් ලියන ලද පොතට අනුව, “ශාන්ත ෆ්‍රැන්සිස් ක්ෂේවියර්තුමා විසින් කරන ලද දේශනා සහ කරන ලද ප්‍රාතිහාර්යයන්  පිළිබඳ කටකතා රැල්ලක් මන්නාරම් වෙරළ තීරය පුරා පැතිරිණි. දිව්‍ය බලයෙන් මෙහෙයවන ලද මන්නාරමේ අධිෂ්ඨාන සහගත ප්‍රභූවරු තම ප්‍රදේශවල තත්වය සහ ශාන්ත ක්ෂේවියර්තුමා එහි පැමිණීමේ වැදගත්කම පිළිබඳව ද, ඔහුට පැමිණීමට නොහැකි නම් දෙවියන්ට වගඋත්තර ලබාදිය යුතු බව දූත පණිවුඩ මගින් යැවූ හ.” එම ආරාධනය පරිදි ශාන්ත ෆ්‍රැන්සිස් ක්ෂේවියර්තුමා සිය දූතයන් මන්නාරමට එවූ අතර 1543දී ඔහු ද එහි පැමිණියේ ය. “එහිදී ඔහු මහත් හරසර සහිතව පිළිගන්නා ලදී. ප්‍රශ්නෝත්තර විමසීමෙන් ඔහු දැඩිව ආගමික වූ හා ඒ බව ස්ථිරව ප්‍රදර්ශනය කළ මිනිසුන් 600ක් බෞතීස්ම කළේ ය.”

මෙම ක්‍රියාව ස්වදේශික පූජකයන් කෝපයට පත් කළ අතර “ඔවුහු නල්ලූර් වෙත ගොස් රජුට තත්වය වඩාත් නරක අන්දමින් හා අතිශයෝක්තියෙන් වාර්තා කළ හ. වෙනත් ආගමික පූජකවරයකු ඔහුගේ භූමියෙහි සරමින් මහජනයා මුලා කරමින් රජුට එරෙහිව ජනයා මෙහෙයවන බව ඔවුහු කී හ. “ඔහු වහා පියවර නොගතහොත්, වැඩි කාලයක් යන්නට පෙර ඔහුට රාජධානියක්, එහි ආගමික ස්ථාන හා යටත්වැසියන් නැති වන බව ද, දැනටමත් බොහෝ ආගමික ස්ථාන සමතලා කර දමා නන්නාඳුනන දෙවියකු එහි වන්දනා කරන බව ද,” ඔවුහූ රජුට පෙන්වා දුන් හ. මෙයින් කිපුණු හා කැළැඹීමට පත් රජු යාපනය රාජධානියේ මූලික භූමියෙන් හා මුග්‍රා වෙරළින් සන්නද්ධ මිනිසුන් 5000ක් සංවිධානය කර මන්නාරම බලා පැමිණියේ ය.”

කේවෙයරෝස් පියතුමා පැවසූ පරිදි මන්නාරෙම්දී “රජතුමාගේ හමුදාවට කිසිදු ප්‍රතිරෝධයක් එල්ල වූයේ නැත. මරණයට නියම වූ අන් අය මරණයට මුහුණ දුන් එඩිතර ආකාරය දැක කඳුළු හෙළූ හ. කුඩා ම දරුවෝ මර බියෙන් හැඬූ හ. ඔවුන්ගේ මව්වරු ඔවුන් සඟවන්නට උත්සාහ කළ හ. තම සගයන්ගේ හිස ගසා දමන ආකාරය දුටු ඔවුහු වධකයන්ට තම ගෙල ද පෑවේ විශ්වාසයේ විස්මිත බලයක් ප්‍රදර්ශනය කරමිනි. භට පිරිසේ නායකයා වූ කෘර රජු ගැහැණු, පිරිමි, වැඩිහිටි, ළමා, ළපටි කිසිවකු ඉතිරි කළේ නැත. ඔහුගේ සෙසු කෘරකම්වලටත් වඩා වෛරයක් ඔහු මෙම ක්‍රියාවෙන් ලබා ගත්තේ ය. “කෘර රජු සිතුවේ ඔහුට ක්‍රිස්තියානින් හා ෆ්‍රැන්සිස් ක්ෂේවියර් පියතුමා පවා ඝාතනය කර යහතින් සිටිය හැකි වනු ඇතැයි කියා ය. ළපටි පැළෑටි හා අපහසුවෙන් හට ගත් කතෝලික ඵල වනසා දැමූ ඔහුට ඉක්මණින් හෝ පසුව, සිය කෘරත්වය සඳහා වන්දි ගෙවීමට සිදු වනු විය.”

මරණයෙන් බේරුණු ශාන්තුවරයා 1544දී සාගරය තරණය කර කොචින් වෙත ළඟා වූයේ ය. එහිදී විකාර් ජනරාල් මිගෙල් වාස් හමු වූ ඔහු සමූලඝාතනය පිළිබඳ වාර්තා කළේ ය. යුවරජු මාර්ටිම් ඇල්ෆොන්සෝ ද සූසා සහ පෘතුගාලයේ රජු වූ දොන් ජෝම්ව ද ඒ පිළිබඳ දැනුවත් කරන ලදී. 1545 දී රෝමයේ සහෝදර පූජකතුමන්ලා වෙත ලිපියක් යැවූ ඔහු සිය ලියුමේ මෙසේ සටහන් කළේ ය: “මා එහි ගොස් ඔවුන් බෞතීස්ම කළ විට, එරට රජු විසින් ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු කෘර අන්දමින් මරා දමන ලදී. එයට හේතුව ඔවුන් ක්‍රිස්තියානින් වීමයි.”

ගොවේ තැන්පත් කර ඇති ශා: ෆ්‍රැන්සිස් ක්ෂේවියර් පියතුමාගේ දේහය

ක්වෙයිරෝස් පියතුමා සිය පොතෙහි සඳහන් කළ පරිදි, පෘතුගාලයේ රජතුමා වහා යාපනය රජුගෙන් පළිගන්නා ලෙස දැනුම් දෙන ලදී. ඒ වන විට ඉන්දියාවේ පෘතුගීසි හමුදා යුද වැදී සිටි හෙයින් එය පමා විය. කෝපයෙන් දැවෙමින් සිටි පෘතුගීසීන් ශාන්තුවරයාට මෙසේ කීවේ ය. “නාගපටුනෙහි කපිතාන්වරුන්ට හා ධීවරයන්ට ඔවුන්ට හැකි තරම් පිරිස් ඒකරාශී කරගෙන මෙම පළිගැනීම කරන්නැයි මම ලියමි. ඔවුන්ට එය කළ හැකි ය.” ශාන්තුවරයා එහිදී “යුවරාජවරයා සන්සුන් කරමින් පැවසුවේ ඔහු එම රජු විනාශ කරනු වෙනුවට බෞතීස්ම කිරීමට කැමති බවයි. වරදකරුවකුට දිය හැකි දිව්‍යමය දණ්ඩනය එයයි. පළිගැනීමට තිබෙන හොඳම ක්‍රමය එයයි“.

මෙම ආක්‍රමණය සඳහා කටයුතු 1544 අගෝස්තු 12දා දියත් කරන ලදී. එය සාර්ථකව ඉටුකළ බව පෘතුගාලයේ රජුට  ගෝවේ ප්‍රතිරාජයා මෙසේ පැවසී ය: “ගැලි හතක්, කුඩා ගැලි පහක් සහ කැරවල (වේග ධාවන කුඩා නැවක්) සමග සුළඟට ප්‍රතිවිරුද්ධ දිශාවට යාත්‍රා කරමින් මම කාකද්වීපයට සැපත් වුණේ මෙම මෙහෙය සඳහා ය. මා නපුරු රජුට පහර දීම ගැන සිතමින් සිටියදී ඔහු මා හමුවට පැමිණියේ සමාව යදිමිනි. ඇති තරම් වන්දි ගෙවීමට ඔහු කැමැත්ත පළ කළේ ය.” “රජු සෙරෆින් 5000ක් ගෙවන්නට ද, අවුරුද්දකට අලින් දෙදෙනෙකු ලබා දීමට ද, ඔහුගේ රාජධානියේ කතෝලික පූජකතුමන්ලාට ධර්ම ප්‍රචාරයටද එකඟ විය.

එක්සත් ජනපදයේ බීටා ඇනලිටික් රේඩියෝ කාබන් වකවානු වාර්තාව අනුව, මන්නාරමේ සමූහ මිනීවලෙන් සොයා ගන්නා ලද අස්ථි කොටස් ක්‍රි.ව. 1400 හා 1650 අතර කාල පරිච්ඡේදයට අයත් වේ. ඒ අනුව, මන්නාරම සමූහ මිනී වලෙන් සොයා ගන්නා ලද අස්ථි කොටස් 1543දී ඝාතනය කරන ලද කතෝලික භක්තිකයන්ගේ මළ සිරුරු අවශේෂ යයි අනුමාන කළ හැකි ය. මේ වන විට මන්නාරම සමූහ මිනී වලෙන් පුද්ගලයන් 335කගේ අස්ථි කොටස් සොයාගෙන තිබේ. ඒ අතරින් අස්ථි කොටස් 29ක් අයිති ළමයින්ට ය. 1543දී යාපනය රජු විසින් ස්ත්‍රී පුරුෂ, වැඩිහිටි, ළමා ළපටි සෑම අයෙකු ම ඝාතනය කරන ලද බව ද ක්වෙයිරෝස් පියතුමාගේ විස්තරයෙහි විශේෂයෙන් සඳහන් වේ. මෙම සොයාගැනීම් ඔහුගේ ප්‍රකාශයට වැඩි වලංගුභාවයක් ලබා දෙයි.

වෛද්‍ය අජිත් අමරසිංහ විසිනි

වෛද්‍ය අජිත් අමරසිංහ යනු විශේෂඥ වෛද්‍යවරයෙකි. ඔහු ඉතිහාසය පිළිබඳ ස්වාධීන පර්යේෂකයෙකි. ඔහු ශ්‍රී ලංකාවේ රාජකීය ආසියාතික සංගමයේ සාමාජිකයෙකු ද වේ.  

Recommended For You

About the Author: Admin