අත – පොහොට්ටු දීගේ ගැන බලාපොරොත්තු අහවරයි ?

අයවැයට විරුද්ධව ඡන්දය ප‍්‍රකාශ කරන මෙන් ඒකාබද්ධ විපක්ෂය විසින් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත‍්‍රී පිලෙන් දිගින් දිගටම කරන ලද ඉල්ලීම ප‍්‍රතික්ෂේප කරමින් අයවැය තෙවනවර කියවීමේ විවාදයේ දී මෛත‍්‍රී පිළ අයවැයට ඡන්දය දීමෙන් වැළකී සිටීම සමග අත – පොහොට්ටු එක් කිරීමේ සාකච්ඡ තීරණාත්මක ලෙස බිඳ වැටෙනු ඇතැයි ශ‍්‍රීලනිප මෛත‍්‍රී පිළ නියෝජනය කරන ප‍්‍රබලයෙක් ‘ලංකා ඊ පේ‍්‍රස් ’ සමග ප‍්‍රකාශ කළේය.

ඒ සමග ආණ්ඩුවට සහාය දීමට ඉදිරිපත් වූ ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුන්ට අමාත්‍ය ධූර ලබාදීමට ජනපතිවරයාට දැඩි බලපෑම් කිරීමට බලාපොරොත්තු වන බව ඔහු කීවේය.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ශ‍්‍රීලනිප ප‍්‍රබලයා, ‘‘ශ‍්‍රීලනිපයේ සැලකිය යුතු පිරිසක් තව දුරටත් ඒකාබද්ධ විපක්ෂය සමග ගනුදෙනු කිරීමට ඇති අකමැත්ත මේ හරහා හොඳින් පැහැදිලි වෙනවා. ඔවුන්ට ස්වාධීනව කටයුතු කිරීමට ජනපතිවරයා අවස්ථාව ලබාදීම අගය කළ යුතුයි. ඒ හරහා ජනපතිවරයා ආණ්ඩුව සම්බන්ධයෙන් තිබෙන තමාගේ වගවීමත් ප‍්‍රදර්ශනය කර තිබෙනවා. කොහොම වුණත් ශ‍්‍රීලනිපයේ විශාල පිරිසකට පොහොට්ටුව සමග ඉදිරි ගමනක් නැති බව පැහැදිලි කරුණක්. ඔවුන් විශ්වාස කරන ආකාරයට පොහොට්ටුවට සහාය දීම මගින් ඔවුන්ගේ දේශපාලන අනාගතය සම්පූර්ණයෙන් අවසන් වීමට ඇති අවස්ථාව වැඩියි. එය අවදානමක් වශයෙන් ඔවුන් සලකනවා’’යැයි පැවසීය.

ශ‍්‍රීලනිපයේ මෛත‍්‍රී පිළේ මෙම තීරණය සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයට සහාය ලබාදෙන ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරයෙක් ප‍්‍රකාශ කළේ මෛත‍්‍රී පිලේ මෙම තීරණය සමග අත – පොහොට්ටු එක් කරන සාකච්ඡ බිඳ වැටෙනු ඇතැයි තමන් අපේක්ෂා නොකරන නමුත් ශ‍්‍රීලනිපයට තම අවංකභාවය ප‍්‍රදර්ශනය කිරීමට තිබූ තීරණාත්මක අවස්ථාවක් මෙම තීරණය සමග අහිමි වූ බවයි.

‘‘මේ හරහා ඔවුන්ට දේශපාලන සන්ධානය සඳහා ඇති අවංක කැපවීම ප‍්‍රදර්ශනය කිරීමට හොඳ අවස්ථාවක් තිබුණා. ඒත් ඔවුන් හිතාමතාම ඒ අවස්ථාව අහිමිකර ගත්තා. ශ‍්‍රීලනිපයේ මෙම පිරිසගේ සහයෝගය ලැබුණත් අයවැය පරාජය කිරීමට නොහැකි බව ඇත්ත. ඒත් අපිට අපේ දේශපාලන ශක්තිය, විශේෂයෙන් පොදු විපක්ෂයක් ලෙස කටයුතු කිරීමේ ශක්තිය මේ අවස්ථාවේ ප‍්‍රදර්ශනය කිරීමට හැකියාව තිබුණා. ඒත් දැන් අලූතින් හැම දේම පටන් ගත යුතුයි කියන අදහස ඇති විශාල පිරිසක් ඒකාබද්ධ විපක්ෂය තුළ ඉන්නවා. ඔවුන් කියන්නේ ශ‍්‍රීලනිපයේ සහාය තව දුරටත් අවශ්‍ය නැති බවයි’’

Recommended For You

About the Author: Editor