ශ‍්‍රීලනිපය අයවැය ගැන මුනිවත රැක්ක හේතු සියඹලාපිටිය හෙළි කරයි

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය අයවැයට විරුද්ධව හෝ පක්ෂව ඡන්දය භාවිත කිරීමෙන් වැළකී සිටීමට තීරණය කළේ අති සංවේදී හේතු කිහිපයක් නිසා බව ශ‍්‍රීලනිප මන්ත‍්‍රී රංජිත් සියඹලාපිටිය ප‍්‍රකාශ කළේය. අයවැය ඡන්දයේදී ශ‍්‍රීලනිපයේ මෛත‍්‍රී පිල ඡන්දය ප‍්‍රකාශ කිරීමෙන් වැළකී සිටියේ කුමක් නිසා දැයි ලංකා ඊ පේ‍්‍රස් කළ විමසීමට පිළිතුරු දෙමින් රංජිත් සියඹලාපිටිය මේ බව සඳහන් කළේය.

‘‘2019 අයවැය ලේඛනයට පක්ෂ වෙනවාද ? විරුද්ධ වෙනවාද ? යන්න ගැන අපි පසුගිය කාලය පුරාම පක්ෂය තුළ අභ්‍යන්තර සාකච්ඡවක නිරත වුණා. එහිදී අපිට ප‍්‍රධාන වශයෙන් සලකා බැලිය යුතු කරුණු දෙකක් තිබුණා. එකක් තමයි ශ‍්‍රීලනිපයේ සභාපති, ගරු ජනාධිපතිතුමාට අයත් ඉතාම වැදගත් වැය ශීර්ෂ කිහිපයක් මේ අයවැය තුළ තිබුණා. ජනපති වැය ශීර්ෂය වගේම, විශේෂයෙන් මත්ද්‍රව්‍ය විරෝධී වැඩසටහනට අදාළ ප‍්‍රතිපාදන, ග‍්‍රාම ශක්ති ව්‍යාපාරයට අදාළ ප‍්‍රතිපාදන වගේම මහවැලි සහ පරිසර අමාත්‍යාංශවලට අදාළ වැය ශීර්ෂ මේ අයවැය ලේඛනය තුළ තිබෙනවා. මේ අවස්ථාවේ දී අපිට, ශ‍්‍රීලනිපය හැටියට මේ ගැන ගැඹුරින් සිතා බැලීමට සිදු වුණා.

දෙවැනි කාරණය වුණේ මේ වන විට ආණ්ඩුව සමග එක්ව සිටින ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුන්ගේ තත්ත්වය සම්බන්ධ ගැටලූව. අපිට ඒ ගැනත් ගැඹුරින් සලකා බලන්න තිබුණා. ඔවුන් අයවැයට පක්ෂව ඡන්දය භාවිත කරද්දී අපි අයවැයට විරුද්ධව ඡන්දය භාවිත කළා නම් නෛතික ගැටලූ ඇතිවීමට ඉඩ තිබුණා. ඔවුන් හා අප අතර පරස්පරතා තිබුණා නම් එය ගැටලූවක්. අපි ඒ ගැනත් ගැඹුරින් සලකා බැලූවා.

ඒ කාරණා දෙකම තිබියදී තවත් කරුණක් තිබුණා. ඒ ඇත්තටම ඒකාබද්ධ වික්ෂයයි අපියි එකතු වෙලා අයවැය පරාජය කළ හැකි නම්, ඒ කියන්නේ 113ට වඩා තිබුණා නම් අර කරුණු ගැන නොසලකා දැඩි තීන්දුවක් ගන්න පුළුවන්කම තිබුණා. ඒ කියන්නේ අයවැයට එරෙහිව ඡන්දය දෙන්න පුළුවන්කම තිබුණා. ඒත් එවැනි හැකියාවක් තිබුණේ නැහැ. ඒ නිසා අපි තීරණය කළා ඡන්දය දීමෙන් වැළකී සිටීමට. එයයි මේ අවස්ථාවේ කළ හැකිව තිබූ වඩාත් ප‍්‍රායෝගික වගේම සුදුසුම පියවර.

ශ‍්‍රීලනිපය මුහුණදී තිබෙන මේ තත්ත්වය ගැන ඒකාබද්ධ විපක්ෂයත් ගැඹුරින් සලකා බැලිය යුතුයි. ශ‍්‍රීලනිපය හා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර සිදුවෙමින් පවතින ඒකාබද්ධ වීමේ සාකච්ඡ සඳහා අපි ගත් තීන්දුව යම් බලපෑමක් විය හැකිව තිබුණත් අපි මුහුණ දී සිටින තත්ත්වය ගැනත් ඔවුන්ට අවබෝධයක්, ගැඹුරු අවබෝධයක් තිබිය යුතු’’ බව ද රංජිත් සියඹලාපිටිය අවධාරණය කළේය.

මේ අතර හිටපු ඇමැති එස්.බී. දිසානායක අවධාරණය කර සිටින්නේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ඒකාබද්ධ කිරීම සඳහා වන සාකච්ඡවලට අයවැය ඡුන්දය බාධාවක් කර නොගත යුතු බවයි.

Recommended For You

About the Author: Editor