ජාතිය සමෘද්ධිමත් කළ එක්සත් ජාතික පක්ෂය : කෘෂිකාර්මික හා කාර්මික සංවර්ධනයෙන් පෙරට ම – 02 වන කොටස

‘ජාතියේ පියා’ නමින් විරුදාවලිය ලත් ඩී.එස්. සේනානායක මහතා ජාතියේ අවාසනාවට 1952 දී හදිසි අනතුරකින් අභාවප්‍රාප්පත විය. ඩී.එස් සේනානායක මහතාගේ අභාවය ලංකා දේශපාලනයේ තීරණාත්මක අවස්ථාවක් වශයෙන් සැලකිය හැකිය.

ඒත් ඩී.එස්ගෙන් පසුව බලයට පත් වෙන්නේ එතුමාගේ පුත්‍රයා වූ කෘෂිකර්ම හා ඉඩම් ඇමැති ඩඞ්ලි සේනානායක මහතා ය. තරුණ වියේ සිට ම කෘෂිකර්මය ගැන දැඩි අවධානයක් යොමු කළ ඩඞ්ලි සේනානායක මහතා ලංකා දේශපාලනයේ මහත්මා සලකුණ තැබූ අයෙකු වශයෙන් අදත් සියලු ශ්‍රී ලාංකිකයින්ගේ ගෞරවයට ලක්වේ. එමෙන්ම ඩඞ්ලි සේනානායක යුගය ලංකාවේ සංවර්ධනය ප්‍රයත්නයේදී සුවිශේෂ භූමිකාවක් ඉටු කළ යුගයක් වශයෙන් ද සැලකේ.

ඩඞ්ලි සේනානායක තමන්ගේ පාලන කාලයයේදී පියා යටතේ නායකත්වය දුන් කෘෂි කාර්මික සංවර්ධනය වඩාත් සක්‍රීයව ඉදිරියට ගෙන ගියේය. ඒ සඳහා නිසි නායකත්වයක් දුන්නේය. ඒ අනුව ඩඩලි සේනානායක යුගයේදී දේශීය කෘෂි කර්මාන්තයේ සංවර්ධනය සඳහා අත්‍යවශ්‍ය වූ යටිතල පහසුකම් බොහොමයක් බිහිවනු දැකිය හැකිය. බලලේගොඩ වී පර්යේෂණ මධ්‍යස්ථානය, තලවාකැලේ තේ පර්යේෂණායතනය, ලුණුවිල පොල් පර්යේෂණායතනය, මේ යුගයේ දි පිහිටුවන්නේ වී වගාව මෙන්ම ඒ කාලයේ දේශීය ආර්ථිකයේ වැඩි දායකත්වයක් ලබා දුන් ප්‍රධාන අපනයන භෝග ත්‍රිත්වය වන තේ හා පොල් කර්මාන්තයේ සංවර්ධනය වෙනුවෙනි. විශේෂයෙන් බතලේගොඩ වී පර්යේෂණ මධ්‍යස්ථානය අදත් දේශීය වී වගාවේ විප්ලවයකට විශාල දායකත්වයක් ලබා දෙමින් සිටින්නේ ය.

ඩඞ්ලි සේනානායක යුගයේ දී දේශීය කෘෂි ආර්ථිකය වෙත මෙන්ම උසස් අධ්‍යාපනය, කාර්මික අධ්‍යාපනය වෙතත් දැඩි අවධානයක් යොමු කළේය. ඒ අනුව ලංකාවේ කාර්මික හා තාක්ෂණික අධ්‍යාපනයේ විප්ලවයක් කරන මොරටුව විශ්වවිද්‍යාලය, අම්පාර උසස් තාක්ෂණ අයතනය ඇතුළු තාක්ෂණය විෂය සම්බන්ද උසස් අධ්‍යාපන ආයතන රැසක් රට පුරා ස්ථාපිත කිරීමට ඩඩලි සේනානායක යුගයේදී පියවර ගැනුණි.
ඩඞ්ලි සේනානායත ආණ්ඩුව තාක්ෂණ හා පර්යේෂණ විෂයෙහි දක්වන අනාගතවාදී දැක්ම ඒ කාලයේදී විශාල වැදගත්කමක් දරන්නේය. විෂයෙන් දකුණු ආසියානු කලායේ මේ ගැන මුල්ම අවධානය යොමු කරන රට බවට ලංකාව පත්වේද්දී ආසියාවේ අපට ඉදිරියෙන් සිටියේ ජපානය පමණක් බව මේ පිළිබඳ විශේෂඥයින් සඳහන් කරති.

ඩඞ්ලි සේනානායක යුගයේ දී දේශීය කෘෂි ආර්ථිකයේ මෙන්ම දුප්පත් හා පොදු ජනතාව ඉල්ලක්ක කරගත් සුබසාධන ආර්ථිකයේද විශල පිබිදීමක් සිදුවිය. ඒ නිසා පොදු ජනතාව ඩඞ්ලි සේනානායක මහතාව හැඳින්වීමට ‘බත්දුන් පියා’ යන ගෞරවණීය නාමය භාවිත කළේය.

ඩී.එස්. හා ඩඞ්ලි සේනානායක යුග පශ්චාත් ලෝක යුද සමයේ ජාත්‍යන්තර සිදුවීම් සමග ඍජුව සම්බන්ධ විය. විශේෂයෙන් කොරියානු යුද්ධය සමග ජාත්‍යන්තර වෙළෙඳපොළේ ස්වභාවික රබර් සඳහා තිබූ ඉල්ලුම විශාල වශයෙන් ඉහළ යාම සමග සිදු වූ රබර් මිල ඉහළ යාම සමග මෙරට රබර් වෙළෙඳ පොළේ සිදුවූ පිබිදීම දුප්පතුන්ට විශාල වාසියක් විය. ඒ නිසා සමාජයේ ආන්තික ජනතාව ඉලක්ක කරගත් සුබසාධන කටයුතු වඩාත් සක්‍රීය හා ඵලදායී ආකාරයෙන් ක්‍රියාත්මක කිරීමට මේ කාලයේ අවස්ථව ලැබුණේ ය. රටේ ජීවත් වූ දුප්පත් ජනතාව සඳහා නොමිලේ සහල් ලබාදීමට ඩඞ්ලි ආණ්ඩුව පියවර ගත්තේ මේ ආර්ථික පිබිදීම සමග ය. ඩඞ්ලි සේනානායක මහතා ‘බත්දුන් පියා’ යන විරුදාවලිය ලබන්නේ මේ හේතුවෙනි.

එහෙත් කොරියානු යුද්ධය නිමාවීමත් සමග රබර් මිල පහළයාම ලංකාවේ ආර්ථිකයට, විශේෂයෙන් තෙත් කලායේ ග්‍රාමීය ආර්ථිකයට දැඩි බලපෑමක් කළේය. ඒ නිසා ආණ්ඩුවට දැවැන්ත සහනාධාර ක්‍රම තව දුරටත් ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යාම අභියෝගාත්මක විය. මේ තත්ත්වය දේශපාලන අවස්ථාවාදීන්ට මනා අවස්ථවක් නිර්මාණය කළේය. 1953 හර්තාලය එහි කූඨප්‍රාප්තිය වශයෙන් සැලකිය හැකිය. මේ හර්තාල් ව්‍යාපාරයේදී සිදුවූ ඛේදජනක සිදුවීමක් ඩඞ්ලි සේනානායක කියන මහත්මා දේශපාලනඥයාගේ සිත සලිත කළේය. ඩඞ්ලි සේනානායක මහතා තම මහත්මා දේශපාලනය භාවිතය සනාථ කරමින් අගමැති පදවිය සර් ජෝන් කොතලාවල මහතාට භාර දී ඉවත්ව ගියේය. මෙය ලංකා දේශාපාලනය තුළ පමණක් නොව ජාත්‍යන්තර දේශපාලනය තුළ පවා දැකිය හැකි වූ විරල අවස්ථාවක් වූයේය.

කොතලාවල යුගය – බැංඩුන් වීරයා

1953 න් ආරම්භ වන සර් ජෝන් කොතලාවල යුගය ලංකා දේශපාලනයේ පමණක් නොව එජාපය සම්බන්ධයෙන් ද ඉතා වැදගත් යුගයක් වශයෙන් සැලකිය හැකි ය.

මේ වන විට එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා ප්‍රමුඛ පිරිසක් (1952) එජාපයෙන් ඉවත්ව ‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ’ පිහිටුවා ගෙන තිබුණි. එයට සිංහල ජාතිකවාදීන්ගෙන් විශාල අනුබලයක් හා ආශිර්වාදයක් ලැබුණ අතර මේ තත්ත්වය හමුවේ ලංකාවේ සංහිඳියාත්මක දේශපාලනය යම් ආකාරයකට අර්බුදයකට ගමන් කරමින් තිබුණේය. සර් ජෝන් කොතලාවල එජාපයේ සුක්කානම හා ආණ්ඩුවේ සුක්කානම ගන්නේ මේ අවස්ථාවේදී ය.

සර් ජෝන් කොතලාවල 1936 සිට දේශපාලනයේ නියැලුණ කෘතහස්ත දේශපාලනඥයෙක් වශයෙන් සැලකේ. ඔහු දැක්මක් හා ඇම්මක් තිබුණ දේශපාලනඥයෙකු වශයෙන් සැලකෙන අතර අදීන පුද්ගලයෙකු වශයෙන් සැලකේ. ජෝන් කොතලාවල මහතා 1936 දෙවැනි රාජ්‍ය මන්ත්‍රණ සභාවේ මාර්ග හා ප්‍රසිද්ධ වැඩ කාරක සභාවේ සභාපති වරයා වශයෙන් රටට විශල සේවයක් කළ අයෙකි. එපමණක් නොව 1947 ඩී.එස්. ආණ්ඩුවේ ප්‍රවාහන හා රජයේ වැඩ ඇමැතිවරයා වශයෙන් විශාල සේවයක් කළ අයෙකි.

ජෝන් කොතලාවල සමයේ වඩාත් වැඩි අවධානයක් යොමු වන්නේ කාර්මික සංවර්ධනය කෙරෙහිය. ලංකාවේ මහා පරිමාණ ජල විදුලි බලාගාර ඉදිකරමින් අනාගත කාර්මික සංවර්ධනයට මෙන්ම ජනතාවගේ විදුලිබල අවශ්‍යතා සපුරන්නේ මේ යුගයේදීය. ලක්ෂපාන ජලවිදුලි බලාගාරය මේ යුගයේ රටට ලැබුණු සම්පතක් වශයෙන් සැලකිය හැකිය. රත්මලාන ගුවන් තොටුපොළ සංවර්ධනය කිරීම මගින් ලංකාව ජාත්‍යන්තර සමග සම්බන්ධ කිරීම, බම්බලපිටිය නිවාස යෝජනා ක්‍රමය මගින් නිවාස අහිමි නාගරික ජනතාවගේ ගැටලු විසඳී මේ යුගයේ ප්‍රමුඛ සංර්ධන ව්‍යාපෘති වශයෙන් සැලකිය හැකිය.

කොතලාවල සමය ලංකාවේ ජාත්‍යන්තර සම්බන්ධතා විෂයේදීත් ප්‍රමුඛ භූමිකාවක් ඉටු කළ බවක් දැකිය හැකිය. මේ වන විට සෝවියට් දේශය ප්‍රමුඛ සමජවාදී රාජ්‍යවල බලපෑම ලෝකය පුරා ව්‍යාප්ත වෙමින් තිබුණ අතර එහි උණුසුම කලක පටන් ලංකාවටත් දැනෙමින් තිබුණි. මේ අතර ඉන්දුනීසියාවේ බැංඩුන් නුවර පැවැති සමුළුවකදී සර් ජොන් රුසියානු ව්‍යාප්තවාදය දැඩිව හෙළා දැක්කේය. ලෝයේ ප්‍රජාතන්ත්‍රවාදීන් සමග ශ්‍රී ලංකාව ස්ථානගත කිරීමට පියවර ගත්තේය. සර් ජෝන් ‘බැංඩුන් වීරයා’ වශයෙන් අභිෂේක ලැබුවේ බැංඩුන් නුවරදී කළ ඓතිහාසික කතාව හේතුවෙනි.

සංවර්ධනය ගිලිහෙයි – සංහිඳියාව බිඳ වැටෙයි

සර් ජෝන් කොතලාවල යුගය එජාපයේ සංවර්ධන කාර්යයන් වඩාත් වේගයෙන් දියත් වූ යුගයක් වශයෙන් සැලකිය හැකි වුවත් ඒ වන විට සිංහල ජාතිකවාදීන් වඩාත් බලවත් වෙමින් සිටියහ. සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීම ආදි සටන්පාඨ හරහා ඒ වන විට බණ්ඩාරනායක මහතා දේශපාලන භූමික තුළ බලවත් වෙමින් සිටියේය. එතුමා සමග පෙළගැසී සිටි බහුතරයක් ‘ජනසතුව’ වැනි ව්‍යාපෘති ගැනත් දැඩි අවධානයක් යොමු කළේය. මේ තත්ත්වය තුළ පැවැත් වූ 1956 මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය පරාජයට පත්විය. බණ්ඩාරනායක මහතා නායකත්වය දුන් මහජන එක්සත් පෙරමුණ බලයට පත් විය.

බණ්ඩාරනායක යුගය ලංකා දේශපාලනයේ හැරවුම් ලක්ෂ්‍යයක් වශයෙන් බොහෝ විට සැලකේ. ඒ සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීම, සිංහල බෞද්ධ සංස්කෘතියට වටිනාකමක් ලැබීම, බස්, වරාය ආදි පෞද්ගලික ව්‍යාපාර ජනසතු කිරීම ආදිය නිසා විය හැකිය.

ඒත් රටේ ආර්ථික හා ජාතික සංවර්ධනය ගැන විමසන විට නම් ඉහත මතය අභියෝගයට ලක් වේ. උදාහරණයක් වශයෙන් සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීම සිංහල ජනතාව තුළ කෙටි කාලීන තෘප්තියක් ඇති කළ දෙයක් වුවත් එය කිසිම දිනක ප්‍රායෝගිකව ක්‍රියාත්මක වුණේ නැත. අද රට හමුවේ පවතින ප්‍රධාන අභියෝගයක් වන්නේ ද්වීභාෂා උගතුන් නොමැතිවීම, ජාත්‍යන්තර භාෂාව වන ඉංග්‍රීසී භාෂා සාක්ෂරතාව හීනවීම නිසා ගෝලීය සංවර්ධන වාසි වෙත ප්‍රවේශවීමට නොහැකිවීම, අද මධ්‍යස්ථ විචාරකයින්ට අනුව සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීම ඍණාත්මක තත්ත්වයක් වශයෙන් සැලකේ.

සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීම සමග මෙරට දෙමළ ජනතාව සමග පවතින ජාතික සංහිඳියාව බිඳී යාම විශේෂයෙන් අවධානයට ගත යුතුය. රට දීර්ඝ කාලීන සිවිල් යුද්ධයකට තල්ලුවීමට මේ තීරණය ප්‍රබල බලපෑමක් කළ බව අද බහුතරයක් ජනතාව විසින් පිළිගැනේ.

බස් හා වරාය ජනසතුව නැඟී එමින් සිටි දේශීය ධනපති පන්තිය විනාශ කළ සිදුවීමක් වශයෙන් ද සැලකිය හැකිය. ඒ හරහා රාජ්‍ය ප්‍රාග්ධනය මතම සමස්ත ආර්ථිකය රඳා පවතින අවදානම් තත්ත්වයක් නිර්මාණය විය. 50 දශකයේ ආසියාවේ සමෘද්ධිමත්ම ආර්ථිකය (සිංගප්පුරූවේ සිහින රාජ්‍යය වූ) විනාශ මුඛයට ගමන් කිරීමට මේ ආර්ථික හා දේශපාලන තීන්දු හේතු විය.

1956 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජයග්‍රහණය සමග ආරම්භ වූ ‘ද්විපක්ෂ ක්‍රමය’ ලංකා දේශපාලනයේ අතිෂයින් වැදගත් අවස්ථාවක් වශයෙන් සැලකිය හැකිය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බිහිවීම සමග වාමාංශික දේශපාලන බලවේග විශාල වශයෙන් දුර්වල වූ අතර ඔවුන්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයවය සමග සන්ධානගත වීමකින් තොර දේශපාලන පැවැත්ම ද අහෝසි කළේය. මේ සමග එජාපයට කරට කර සටන් කළ හැකි සටන් සඟයෙක් අභිමුඛ විය. එමෙන්ම ලංකා දේශපාලනයේත් එජාප ආර්ථික හා සමාජ උපාය මාර්ගයන්ට විරුද්ධ දේශපාලන ධාරාවක් නිර්මාණය විය.
මේ තත්ත්වය ලංකාවේ ආර්ථික හා සමාජ සංවර්ධනය තුළ කළ බලපෑම අවධානයට ලක් කළ යුතුය. උදාහරණයක් වශයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ‘මැදි මාවතක් ’ අනුගමනය කළ අතර ආර්ථික ප්‍රතිපත්ති යම් පමණකට වමාංශික විය. වාමාංශික පක්ෂ සමග පැවැති අඛණ්ඩ දේශපාලන සන්ධානගතවීම් නිසා ( 56, 70, 94, 2005, 2010, 2015) බොහෝ විට ‘ජනසතුකරණය’ හා ‘දේශීය ආර්ථිකය’ ප්‍රමුඛ ආර්ථික උපාය මාර්ග බවට පත් විය.

56 – 77 දක්වා ආර්ථික සංවර්ධනය

ඉහතින් සඳහන් කළ ආකාරයට 1956 දී බණ්ඩාරානයක මහතාගේ ජයග්‍රහණය හරහා බලවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 1970 මහ මැතිවරණයේදී පාර්ලිමේන්තුවේ 3/2 ක බලයක් සහිතව ආණ්ඩුව පිහිටුවන්නේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග පැවැති නිතරඟ ගිවිසුම හේතුවෙන් ආණ්ඩුවේ බලවත් පක්ෂ බවට ලංකා සමසමාජ පක්ෂය හා ශ්‍රී ලංකාවේ කොමියුනිට්ස් පක්ෂ පත් විය. මුදල් අමැති පදවිය ලංකා සමසමාජ පක්ෂ නායක ආචාර්ය ඇන්. එම් පෙරේරා මහතාට හිමිවීම හා ජාතික වශයෙන් අතිෂයින් වැදගත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදානය ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා මහතාට හිමි වීම මෙහිදී කැපී පෙනේ.

70-77 යුගයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ වාමාංශික සන්ධානය අනුගමනය කරන ආර්ථික ප්‍රතිපත්ති ‘දේශීය ආර්ථිකය ’ ප්‍රමුඛකර ගත් එකක් වශයෙන් සැලකිය හැකිය. ඔවුන් ආරම්භයේදීම වාමාංශික සම්ප්‍රදාය අනුව යමින් ‘ජනසතුකරණය’ ජයටම ක්‍රියාත්මක කරන අතර අක්කර 50 වැඩි ඉඩම් ජනසතු කිරීම, ‘රන්පවුම් වතු ’ වශයෙන් සැලකූ විදේශ සමාගම් සතුව පැවැති, වැවිලි ආර්ථිකයේ කොඳුනාරටිය වශයෙන් සැලකිය හැකි වතු සමාගම් රජයට පවරා ගැනීම ඒ අතර ප්‍රමුඛ විය.

මේ තත්ත්වය දේශීය ධනපති පන්තිය උපන් ගෙයිම මරා දැමීමක් මෙන් ජාතික ආර්ථිකයේ කොඳු නාරිටිය කඩා දැමීමට හේතු වූ බව නොබෝ දිනකින්ම පැහැදිලි විය. රජයට පවරාගත් සියලුම ව්‍යාපාර හා වතු ඉතා කෙටි කලකින් දැවැන්ත පාඩු ලබන, මහා භාණ්ඩාගාරයට දැවැන්ත බරක් දැරීමට සිදුවන ‘සුදු අලි ’ බවට පත් විය. මෙම තත්ත්වය අද දක්වාම දේශීය ආර්ථිකයට කරන හානිය ඉතා පැහැදිලිව නිරීක්ෂණය කළ හැකිය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ වාමාංශික ආණ්ඩුවේ ආර්ථික උපාය දේශීය ධනපතීන් හෝ විදේශ ආයෝජන හරහා ප්‍රාග්ධනය කැඳවා ගෙන සිදු කරන කාර්මික සංවර්ධන වෙනුවට ‘සමාජවාදී රාජ්‍ය පද්ධතියේ ආධාර මත ඉඳිවන දැවැන්ත කර්මානත ශාලා’ සංස්කෘතියක් බිහි කිරීමට හේතු විය. ඒ තත්ත්වය 56-60- 60-65 ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩු සමයේ ජයටම ක්‍රියාත්මක විය. ඒ යුගයට සාපේක්ෂව මහත් ජයග්‍රහණයක් හා අධාර වශයෙන් සැලකිය හැකි දැවැන්ත කර්මාන්ත රැසක් ලංකාවට හිමිවිය. එම කර්මාන්ත ශාලා බොහොමයක් ඒ වන විට ආසියාවේ පැවැති දැවැන්තම කර්මාන ශාලා වශයෙන් ද සැලකිය හැකිය. එහෙත් මේ බොහෝ ආයතන ජනතාවට, රටට සංවර්ධන ප්‍රතිලාභ ලබා දෙනවා වෙනුවට මහා භාණ්ඩාගාරයෙන් යැපෙන, පාක්ෂිකයින්ට රැකියා ලබාදෙන තැන් බවට බොහොම කෙටි කාලයකින් පත් විය. තාක්ෂණය යාවත්කාලීන නොවීම, වෙළෙඳ පොළක් නොවීම, පරිපාලන හා කළමනාකරණ අකාර්යක්ෂමතා හේතුවෙන් මේවා සියල්ලම ජනසතු කළ වතු සේම ජනතාවට දැවැන්ත බරක් හා පීඩනයක් එල්ල කළේය.

එජාපය 1947 සිට ගෙන කෘෂිකාර්මික සංවර්ධනය මේ යුගවලදී ආපසු තල්ලූ වූ ආකාරයක් දැකිය හැකිය. ‘මහවැලි ව්‍යාපාරය’ ආරම්භ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පියවර ගත්තත් එය ක්‍රියාත්මක තලයට ගෙන ඒමට නොහැකි විය. ඒ වෙනුවට දැඩි සීමා කිරීම් යටතේ පැවැති ‘ආනයන ආදේශන ආර්ථික ප්‍රතිපත්තිය’ 70-77 කාලයේ දැඩි ආර්ථික හා සමාජ පීඩනයක් ජනතාව තුළ ඇති කිරීමට හේතු විය.

දැවැන්ත රාජ්‍ය ව්‍යවසාය හරහා රටට අවශ්‍ය තරම් කාර්මික හා කෘෂි කාර්මික නිෂ්පාදන බිහි නොවීම, වතු ජනසතුව සමග වැවිලි ආර්ථිකය බිඳ වැටීම සමග දැඩි විනියම පාලනයක් ක්‍රියාත්මක වීම, ජනසතුකරණයට ඇති බිය ආදිය නිසා අති සුළුතරයක් වූ දේශීය ආයෝජන හෝ ක්‍රියාත්මක නොවීම හේතුයෙන් මෙම යුගය ‘පෝලීම් යුගය, පොලු යුගය, කලුකඩ යුගය’ ආදි වශයෙන් නාමකරණය විය.

මේ තත්ත්වය 1975 වන විට කොතරම් ආර්ථික හා දේශපාලන අහේනියක් අති කර තිබුණේද යන්න 1975 දී වාමාංශික පක්ෂ ආණ්ඩුවෙන් ඉවත් කිරීමට අමැතිනී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය පියවර ගැනීම සමග පැහැදිලි වේ.

එහෙත් ඒ වන විට අශ්වසා පැනගොස් හමාරය. 70-77 ආණ්ඩුව දේශීය ආර්ථික සංවර්ධනය පමණක් නොව සමාජයීය ජීවිය, පොදුජන ආර්ථිකය පවා බිඳ දැම්මේය. 1977 මහ මැතිවරණය වන විට සමගි පෙරමුණේ ආර්ථික උපාය මාර්ග සම්පූර්ණයෙන්ම අසමත්ව තා පමණක් නොව මුළු රටටම එය එපා වී තිබූ බවක් දැකිය හැකිය.

1977 දී තීරණාත්මක මහ මැතිවරණයට එන්නේ මෙවැනි තත්ත්වයක් හමුවේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හිතවත් පාක්ෂිකයින්,
“සීනී නැතිව තේ බොන්නම්, මිරිස් නැතිව හොඳි කන්නම්, අපේ මැතිණිය කියනවනම්” යැයි කියමින් මැතිවරණ රැළි පවත්වන විට, අගමැතිනිය ‘හදෙන් හරි හාල් ගෙනත් දෙනවා’ කියන විට එජාප නායක ජේ.ආර්. ජයවර්ධන ‘ඇට අටක් ’ දෙන ආර්ථිකයක් ගැන ජනතාවට සහතිකයක් දෙන්නේය.

03 වැනි කොටස හෙට
සැකසුම : ප්‍රසන්න ධම්මික විතානගේ

Recommended For You

About the Author: Editor