කැලෑ ගිනි ගිනි නිවීමේදී ජනතාවගේ සහායක් නෑ – ඇමැති රංජිත් මද්දුම බණ්ඩාර

පසුගිය මාස තුන තුළ විවිධ ප‍්‍රදේශවලින් කැලෑ ගිනි ගැනීම් 50ක් වාර්තා වූ බවත් එම ගිනි නිවා දැමීම සඳහා අවට ජනතාව විසින් සහායක් ලබා නොදෙන බවටත් රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ ඇමැති රංජිත් මද්දුමබණ්ඩාර මහතා චෝදනා කරයි.

අද 10 කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු ශ‍්‍රවණාගාරයේ දී පැවැති උත්සවයකදී ඇමැතිවරයා මේ චෝදනා කළේය.

අපදා තත්ත්වයන්වලදී ප‍්‍රයෝජනයට ගැනීම සඳහා රුපියල් මිලියන 350ක් පමණ වටිනාකමින් යුතු බෝට්ටු, ගිනිනිවන කබා ආදි උපකරණ ශ‍්‍රී ලංකා පොලීසිය සහ ති‍්‍රවිධ හමුදාව වෙත බෙදාදීම මෙහිදී ඇමැතිවරයා අතින් සිදුවිය.

ඇමැති රංජිත් මද්මබණ්ඩාර මහතා මෙසේ ද ප‍්‍රකාශ කළේය.
‘‘මේ වන විට දැඩි නියං තත්ත්වයකට රට මුහුණදීලා තිබෙනවා. ඒත් ජල ගැලීම් සහ නාය යාම්ද කුමන අවස්ථාවේදී ඇති වෙයිද කියලා කියන්න බැහැ. අපි ඒ සඳහාත් සූදානමින් සිටිය යුතුයි. ඒ සඳහා පෙර සූදානමක් ලෙස තමයි රුපියල් මිලියන 350ක් පමණ වටිනා මේ උපකරණ මුළු රටම ආවරණය වන පිරිදි ශ‍්‍රී ලංකා පොලිසියට සහ ත‍්‍රිවිධ හමුදාවට බෙදා දෙන්නේ. අපි 2019 අයවැය මගිනුත් ආපදා කළමනාකරණය සඳහා විශාල මුදලක් වැය කරලා තිබෙනවා. ඒ වගේම තමයි මේ වන විට ගිනි නිවීමේ සේවා ක‍්‍රියාත්මක වන්නේ ප‍්‍රධාන නගර කිහිපයක පමණයි. ඒත් අපි ජයිකා ආධාර යටතේ ප‍්‍රාදේශීය මට්ටමින් ද ගිනි නිවීමේ සේවා ඒකක ස්ථාපිත කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තවත් වැදගත් දෙයක් මේ අවස්ථාවේදී කළ යුතුයි. පසුගිය මාස තුනට රට පුරා විවිධ ප‍්‍රදේශවලින් කැලෑ ගිනි ගැනීම් 50ක් පමණ වාර්තා වෙලා තිබෙනවා. මේ ගිනි නිවා දැමීම සම්පූර්ණයෙන් පොලිසියේ හෝ ත‍්‍රිවිධ හමුදාවේ කාර්යයක් පමණක් වෙලා තිබෙනවා. ඒ අවට ප‍්‍රදේශවල ජනතාවගෙන් මේ සඳහා සහායක් ලැබෙන්නේ නැහැ. අපි හිතනවා ජනතාව මීට වඩා මේ ගැන සංවේදී විය යුතුයි කියලා’’ යැයි ද සඳහන් කළේය.

Recommended For You

About the Author: Editor