ජනපති මෛත‍්‍රීට 2020 ජූනි දක්වා බලයේ සිටිය හැකියි – ශ‍්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර

19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව ජනපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ධුර කාලය ආරම්භ විය යුත්තේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට කතානායකවරයා අත්සන යෙදූ දින සිට බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා කියයි.


ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී මේ බව සඳහන් කළ දයාසිරි ජයසේකර මහතා ජනපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ධූර කාලය අවසන් වන්නේ 2020 ජූනි මාසයේදී බව පෙනී යන හෙයින් ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසා බලන බව ද සඳහන් කළේය. ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු යළි ආරම්භ වන අපේ‍්‍රල් මස 22 වැනිදායින් පසු අදාළ මතය විමසීම සඳහා පියවර ගැනීමට බලාපොරොත්තු වන බව ද දයාසිරි ජයසේකර මහතා පවසා සිටියේය.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ දයාසිරි ජයසේකර මහතා මෙසේ ද පවසා ප‍්‍රකාශ කළේය.
‘‘ජනධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ධූර කාලය අවසන් වන්නේ 2019 නොව 2020 ජූනි මාසයේ දී බව නීති ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයින් කිහිප දෙනකුම පෙන්වා දී තිබෙනවා. වත්මන් ජනපතිතුමා බලයට පත් වුණේ 2015 ජනවාරි 08 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන්. ඒ වන විට ජනාධිපතිවරයාගේ ධූර කාලය වසර 06ක් ලෙස ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ සඳහන්ව තිබුණා. ඒත් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් එය වසර 05 දක්වා අඩු කළා. ඒ අනුව අපට ගැටලුවක් පැන නැගී තිබෙනවා, ජනපතිවරයාගේ වසර 05ක ධූර කාලය ආරම්භ වන්නේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට කතානායකවරයා අත්සන් කළ දිනයේ සිට ද යන්න ගැන. කිසිඳු පනතක් අතීතයට බලපාන්නේ නැහැ. ඒ අනුව 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයත්, එමගින් ඇති කළ වෙනස්කමුත් ක‍්‍රියාත්මක වන්නේ එම පනත් කෙටුම්පතට කතානායකවරයා අත්සන තැබූ දිනයේ සිටයි. ජනපතිවරයාගේ ධූර කාලයත් ගණනය කළ යුත්තේ ඒ අනුවයි’’

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවකින් මේ බව තහවුරු කරගත හැකි වුවහොත් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට 2020 ජූනි 21 වැනිදා දක්වා බලයේ සිටිය හැකි බව පෙනී යන බව කී ශ‍්‍රීලනිප මහ ලේකම්වරයා එවැනි තත්ත්වයක් උද්ගත වුවහොත් ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණයක් පැවැත්වීමට හැකියාව ලැබෙන බව ප‍්‍රකාශ කළේය.

‘‘අපේ තර්කය අනුව 2020 ජූනි මාසය දක්වා ජනපතිවරයාට ධූරය දැරීමට හැකි වුණොත් ජනපතිවරණයට පෙර මහ මැතිවරණය පැවැත්වීමට හැකියාව ලැබෙනවා. එහෙම වුණොත් ජනපති අපේක්ෂකත්වය ගැන පවතින මේ ගැටලුවටත් විසඳුම් ලැබෙනවා’’ යැයි ද සඳහන් කළේය.

දයාසිරි ජයසේකර මහතාගේ මේ ප‍්‍රකාශය සම්බන්ධයෙන් ‘ලංකා ඊ ප්‍රෙස්’ කළ විමසීමකට පිළිතුරු දෙමින් ජනවාරි 08 වෙනස වෙනුවෙන් දැඩිව පෙනී සිටි ශ්‍රේෂ්ඨ නීතිඥයින් කිහිප දෙනකුම ප‍්‍රකාශ කළේ දේශපාලනඥයින් පටු දේශපාලන වාසි තකා කරන මෙවැනි සාවද්‍ය ප‍්‍රකාශ ගැන ජනතාව එතරම් කලබල නොවිය යුතු බවයි. ගීතා කුමාරසිංහ මහත්මියගේ මන්ත‍්‍රීධූරය අහිමි වුණේ එම සශෝධනය අනුව ම බව ද ප‍්‍රකාශ කළ ඔවුහු 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් තමා විසින් ම තම බලය අඩුකර ගත් බවට රටටත්, ජාත්‍යන්තරයටත් පුරසාරම් දෙඩූ ජනපතිවරයා යළි යළිත් මෙවැනි පියවර ගැනීම ගැන කනගාටු වීම හැර කළ හැකි අන් යමක් නොමැති බව ද සඳහන් කළහ.

‘‘මීට පෙර පසුගිය පළාත් පාලන මැතිවරණ සමයේදීත් ජනපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා තමාට ධූරයේ සිටිය හැකි වර්ෂ ගණන ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසුවා. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය ඉතාම පැහැදිලි තීන්දුවක් දුන්නා. ඒ ගැනත් 2020 ජූනි ගැන හීන මවන අය සිතා බැලිය යුතු’’ බව ඔවුහු වැඩි දුරටත් කීහ.

Recommended For You

About the Author: Editor