ලිබියාව දෙකඩ වෙයි ?

ඝාතනය කරන ලද ලිබියානු නායක කර්නල් මුවමර් ගඩාෆිගේ පාලන සමයේ ස්ථාවර සහ සමෘද්ධිමත් රාජ්‍යයක් වූ ලිබියාව යළිත් දැවැන්ත බල අරගලකට මැදිව තිබෙනවා. ඒ ලිබියානු හමුදාවේ ප‍්‍රධානී ජනරාල් බාලිෆා හෆ්ටාර් ලිබියාවේ බලය තහවුරු කර ගැනීම සඳහා යුද හමුවේ කොටසකගේ ද සහාය ඇතිව දියත් කළ හමුදා කුමන්ත‍්‍රණය හේතුවෙනුයි. බාලිෆාගේ හමුදා දියත් කර ඇති මෙහෙයුම් හේතුවෙන් මේ වන විට ලිබියාව ‘‘නැගෙනහිර ලිබියාව’’ සහ ‘‘බටහිර ලිබියාව’’ වශයෙන් කොටස් දෙකට බෙදී තිබෙන බවක් දැකගත හැකියි.


බාලිෆා හෆ්ටාර්ගේ හමුදාව හැඳින්වෙන්නේ ‘‘ලිබියානු ජාතික හමුදාව’’ ලෙසයි. ඔවුන්ට පසුගිය බ‍්‍රහස්පතින්දා වන විට ලිබියානු අග නගරය වන ටි‍්‍රපොලිහි පිහිටි තෙල් ආකර තම පාලනය යටතට ගැනීම අරමුණු කර ගෙන ඉදිරියට ගිය ලිබියානු ජාතික හමුදාව සෙනසුරාදා වන විට ටි‍්‍රපොලිහි පිහිටි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ද අත්පත් කර ගැනීමට සමත් වුණා. ඒත් එහිදී ඔවුන්ට රජයට පක්ෂපාතී හමුදාවන්ගේ ගුවන් ප‍්‍රහාරවලට ද ලක්වීමට සිදු වුණා. එහිදී සිවිල් වැසියන් කිහිප දෙනකු ද මියගිය අතර පොදු දේපළවලට ද දැඩි හානි සිදුව තිබෙනවා.

ජෙනරාල් බාලීෆාට මෙම හමුදා මෙහෙයුම් වහාම නතර කරන මෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය සේම ‘ජී 07’ කණ්ඩායම ද දැඩිව බලපෑම් කරමින් සිටිනවා. එහෙත් ඒ ගැන නෑසූ කන්ව සිටින බාලීෆා දැනටමත් දුරකථනය මගින් තම හිතවත් අසල්වැසි රාජ්‍ය නායකයින්ව දැනුවත් කරමින් මෙහෙයුම් අඛණ්ඩව ගෙන යමින් සිටිනවා. එමෙන්ම එක්සත් ජාතීන්ගේ පිළිගැනීමට ලක්ව ඇති වත්මන් ලිබියානු රජය පිළිගැනීම ද ඔහු විසින් ප‍්‍රතික්ෂේප කර තිබෙනවා.
හමුදාව ලිබියානු දේශපාලනයට මැදිහත්වීම විරල දෙයක් නොවුණ ද ගඩාෆි පාලනය පෙරළා දැමීමෙන් වසර 08කට පසු සිදුවන මේ බල අරගලය දෙස ලිබියානුවන් සේම ජාත්‍යන්තර ප‍්‍රජාව ද දැඩි අවධානයකින් පසු වෙනවා. ඊට හේතුව වන්නේ තෙල් සම්පතින් පොහොසත් මෙම රාජ්‍යයේ මේ වන විටත් එක්සත් ජනපද ඩොලර් බිලියන 80ක බොර තෙල් ආදායමක් තිබෙනවා. හමුදා ජෙනරාල්වරයා සහ ඔහුට හිතවත් කල්ලිය මේ කුරුමානම් අල්ලන්නේ මේ සුවිශාල ධනයට බව ජාත්‍යන්තර විචාරකයින් පෙන්වා දෙනවා.

මේ අතර ලිබියාවේ වර්තමානයේ උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධයෙන් ලෝක බලවතුන් ද දැඩිව විවේචනයට ලක්ව තිබෙනවා. ඇමෙරිකානු, ප‍්‍රංශ සහ බි‍්‍රතාන්‍ය ආධාර අනුබල ලැබූ නේටෝ හමුදා විසින් ගඩාෆි පාලනය පෙරළා දැමීමෙන් පසු එරට විවිධ සන්නද්ධ කණ්ඩායම්වල කෙළි බිමක් බවට පත්ව තිබෙනවා. ගඩාෆි පාලනය පෙරළා දැමීමෙන් ලිබියානුවන්ට සිදුවූ කිසිදු යහපතක් නැති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
සටහන – භාතිය

Recommended For You

About the Author: Editor