විදුලිය කප්පාදුව අදින් අවසන්

සති කිහිපයක් පුරා පැවැති විදුලිබල කප්පාදු අද (10) රාත‍්‍රියේ පමණක් සිදුකරන බව විදුලිබල බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරයි.

විදුලි බලාගාර ආශ‍්‍රිත ජලාශවල ජල මට්ටම සීඝ‍්‍රයෙන් පහත බැසීම හේතුවෙන් ජල විදුලිය නිෂ්පාදනය සීමා වීම, නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ සිදු වූ හදිසි බිඳ වැටීම සහ කොළඹ වරායේ පාවෙන බලාගාරයේ ඇති වූ කාර්මික දෝෂ පසුගිය විදුලිබල කප්පාදුවට ප‍්‍රධාන වශයෙන් හේතු වූ බව ද අමාත්‍යාංශය යළිත් අවධාරණය කරයි.

මේ වන විට මෙගාවොට් 600ක් ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීම සඳහා අමතර විදුලිය මෙගාවොට් 500ක් මිලදී ගැනීම සහ දැනට පවතින සියයට 10ක ආන්තික සංචිතය සියයට 25 දක්වා වැඩි කිරීම හේතුවෙන් විදුලිබල කප්පාදුව අවසන් කිරීමට හැකි වූ බව ද අමාත්‍යාංශය වැඩි දුරටත් සඳහන් කරයි.

මෙම හදිසි විදුලිය මිලදී ගැනීම් දුෂිත විදුලි මාෆියාවක සැලසුමක් බවට වන විචේනයට පිළිතුරු දෙමින් අමාත්‍යාංශය සඳහන් කරන්නේ, ලංවිම නිපදවන ඒකකයට වඩා අවම මිලක් යටතේ කැබිනට් අනුමැතිය සහිතව අමතර විදුලිය මිලදී ගැනීම සිදුවන බවත්, කැලණිතිස්ස බලාගාරය විසින් නිපදවනු ලබන ඒකකයක් සඳහා රුපියල් 37ක් වැය වුවද, නව මිලදී ගැනීම් සඳහා වැය වන්නේ ඒකකයකට රුපියල් 25ක් වැනි මිලක් බවයි. මෙම ක‍්‍රමවේදය ම අනුගමනය කරමින් පසුගි 15 වසර පුරාම අවම මිලක් යටතේ කොළඹ වරාය ආශ‍්‍රිත පාවෙන බලාගාරයෙන් මෙගාවොට් 100 බැගින් මිලදී ගෙන ඇති බව ද විදුලිබල අමාත්‍යාංශය වැඩි දුරටත් පෙන්වා දෙයි.

Recommended For You

About the Author: Editor