රටක් ලෙස ඉදිරියට යාමට මාධ්‍ය නිදහස මෙන්ම මාධ්‍යයේ වගකීම ද ඉතා වැදගත් – ජනපති

රටක් ලෙස ඉදිරියට යාමට මාධ්‍ය නිදහස මෙන්ම මාධ්‍යයේ වගකීම ද ඉතා වැදගත් බව
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි

දේශපාලනඥයා සහ ජනමාධ්‍ය අතර තිබෙන බෙදීම රටක් ලෙස ඉදිරියට යාමට කිසිසේත් සුදුසු තත්ත්වයක් නොවන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පෙන්වා දුන්නේ අද (10) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවති ජනාධිපති මාධ්‍ය සම්මාන උලෙළ අමතමිනි.

මෙහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ විවේචනය සේම යහපත් සමාජයක් වෙනුවෙන් සාකච්ඡාව සහ සංවාදය ද එක සේ වැදගත් බවයි.

අද වෙනම පුවත්පත් සහ වෙබ් අඩවි ද නිර්මාණය කර ගනිමින් ඇතැම් පිරිසක් තමාට පහරදෙමින් සිටින බව ප‍්‍රකාශ කළ ජනාධිපතිවරයා එම පහරදීමෙන් ජනාධිපතිවරණ අපේක්ෂක ලැයිස්තු කතාබහක් තුළ ඔවුන් අපේක්ෂා කරන විකල්පය ඊට වඩා විකල්ප චරිතයක් හා දර්ශනයක් විය හැකි බව අමතක නොකළ යුතු බව ද කියා සිටියේය.

විවිධ නින්දා අපහාස එල්ලකරමින් තමාට සිදුකරන පහරදීම් හමුවේ මාධ්‍ය නිදහස සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය මැනවින් අගය කරන සහ එය රටට උදාකරදීමට කැපවූ නායකයෙකු ලෙස තමා නිහඩව සිටියද විකල්පයක් තුළින් අපේක්ෂා කරන චරිත එසේ නිහඬව නොසිටන බව ඉකුත් දශක කිහිපය පුරා මේ රට පාලනය කළ පාලකයන්ගේ අත්දැකීම් අසුරෙන් අවබෝධකර ගැනීමට කිසිවෙකුට අපහසු නොවන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

එබැවින් මාධ්‍යයේ වගකීම විය යුත්තේ විවේචනය, විචාරය සහ සංවාදය සේම යහපත් සහ හරවත් සමාජයක් කරා යන ගමනට ශක්තියක් වීම බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

කතෘභාගය ගෙවීම පිළිබඳ මතුව ඇති ගැටළුව කෙරෙහි ද මෙහිදී ජනාධිපතිවරයාෙග්අ වධානය යොමු කෙරුණු අතර ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේ නැවතත් ඒ පිළිබඳ අදාළ පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කරමින් අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කරන බවයි.

විශිෂ්ඨ මාධ්‍යවේදින් සිව් දෙනෙකු වෙත “ශ‍්‍රී ලංකා මධ්‍යාභිමානී” ජනාධිපති සම්මාන පිළිගැන්වීම ජනාධිපතිවරයා අතින් සිදු විය. ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී එඞ්වින් ආරියදාස මහතා, පුවත් පත් ක්ෂේත‍්‍රය වෙනුවෙන් ද, ප‍්‍රවීන මාධ්‍යවේදී කරුණාරත්න අමරසිංහ මහතා ගුවන්විදුලි ක්ෂේත‍්‍රය වෙනුවෙන් ද, ලූෂන් බුලත්සිංහල මහතා රූපවාහිනි ක්ෂේත‍්‍රය වෙනුවෙන් ද, ලක්ෂ්මන් ජයවර්ධන මහතා වෙඞ් මාධ්‍ය වෙනුවෙන් ද මෙහිදී ජනාධිපතිවරයා අතින් “මාධ්‍යාභිමානි” සම්මානයෙන් පිදුම් ලැබූහ.

මාධ්‍ය ක්ෂේත‍්‍රයේ උන්නතිය වෙනුවෙන් ජනමාධ්‍ය සම්මාන උලෙළට සමගාමීව ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් ප‍්‍රකාශයට පත් කරන ලද මාධ්‍ය සංකථන ශාස්ති‍්‍රය සංග‍්‍රහය ද මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළිගැන්විණි.

අමාත්‍ය ගයන්ත කරුණාතිලක, ජනමාධ්‍ය කැබිනට් නොවන සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන, පාර්ලිමේන්තු මන්තී‍්‍ර ලසන්ත අලගියවන්න, ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සුනිල් සමරවීර යන මහත්වරුන් සහ ජනමාධ්‍යවේදින්, කලාකරුවන් ඇතුළු සම්භාවනීය ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Recommended For You

About the Author: Editor