Voice of දියවන්නා – සතියේ දේශපාලනය; “ ඔබතුමා තමයි දැන් හැමෝම කතාවෙන ජනාධිපති අපේක්ෂකයා ”

අයවැය  විවාදය නිමාවීමෙන් පසුව  පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරු සහ අයවැය ක්‍රියාවලියේ දී  වගකීම් ඉටුකල සියළු නිලධාරීන් වෙනුවෙන් කථානායකවරයා විසින් පිරිනමනු ලබන සම්ප්‍රදායික භෝජන සංග්‍රහය සඳහා  කථානායකවරයා විසින් ඇරයුම් කරනු ලැබිණී.

විශේෂ රාජ්‍යතාන්ත්‍රික අමුත්තන් පිරිසකට ද ආරාධනා කෙරුණු මෙම භෝජන සංග්‍රහය වෙනුවෙන් නිල නිවසේ කටයුතු මනා ලෙස සූදානම් කෙරුණේ කථානායකවරයාගේ පෞද්ගලික  අධික්ෂණය යටතේය.

රටේ දේශපාලන කරලිය උණුසුම් වෙමින් කවර අන්දමේ වාද විවාද තිබුණද මෙවර කථානායකවරයාගේ භෝජන සංග්‍රහයට පක්ෂ විපක්ෂ නායක කාරකාදින් සියලු දෙනාම පාහේ සහභාගී වුහ . අගමැතිවරයා ඇතුළු  මැති  ඇමතිවරු මෙන්ම හිටපු ජනාධිපති හා විපක්ෂනායක මහින්ද රාජපක්ෂ, හිටපු කථානායක චමල් රාජපක්ෂ , දිනේෂ් ගුණවර්ධන, ආර්. සම්බන්දන් ඇතුළු ප්‍රධාන චරිත සියල්ලම ඒ සඳහා එක්ව සිටියහ.

කථානායකවරයා, අගමැති, විපක්ෂ නායක  ඇතුළු පිරිස  අසුන්ගත්  මේසයට  එක් වුයේ සියලු දෙනා වෙත ගොස්  සුහඳව   ආචාර කර  අඩුපාඩු    සොයා  බැලීමෙන් අනතුරුවය

අප්‍රේල් 01 දින  නිදහස් චතුරශ්‍රයට ගොස්  මත් විරෝධී ප්‍රතිඥාවට එක් වූ කථානායකවරයා  ඉන් දින කිහිපයකට  පසුව පැවැත්වෙන සාදයට මධුවිත එක්කර ගැනීමට අයෝග්‍ය බව කල්පනා කලේය. ජනාධිපතිවරයා ද  කථානායකවරයා අමතා ඒ පිළිබඳ  පවසා තිබීමද විශේෂත්වයකි. එය  සම්ප්‍රදායකව පැවැත්වෙන මෙම සාදයේ ඉතිහාසයට එක් වන  වැදගත් වෙනසකි.

මධුවිත නොමැති  වුවද , පොලිස්  වාද්‍ය වෘන්දයේ  සප්ත ස්වර රිද්මය  සමඟ  සාදය රසවත් ලෙස ගලාගෙන ගියේ ය. නුදුරේදී එළඹෙන ජනාධිපතිවරණ කෙලෙස වේ දැයි යන්න  බොහෝ මේස වල කථාබහට  නිමිත්ත සැපයීය.

ඇතැමෙක් කථානායකවරයාට  කීවේ “ ඔබතුමා තමයි දැන්  හැමෝම කතාවෙන ජනාධිපති අපේක්ෂකයා ” කීයාය.

කථානායකවරයා ප්‍රතිචාර දක්වමින්  කීවේ“ මම නම් දන්නේ නැහැ, කොහොම වුණත්  ඔබතුමලාගේ ප්‍රවෘත්ති සේවාව මට වඩා දියුණුයි වගේ” කියාය.

කෙසේ වෙතත්, රට වෙනුවෙන් පොදු වැඩපිළිවෙළක් අවශ්‍ය බවත්, එහිදී වර්තමානයේ අප මුහුණ දෙන  ගැටලු අනාගත පරපුරට  නොතබා මෙම  යුගයේම අවසන් කිරීමේ භාරධූර වගකීම වත්මන්  නායකකාරදීන්ට තිබෙන බවත්, සිය පිළිගැනීම්  කාතාවේ දී අවධාරණය කිරීමට කථානායකවරයා අමතක නොකලේය.

සටහන – භාතිය බරුකන්ද

Recommended For You

About the Author: Editor