Voice of දියවන්නා – සතියේ දේශපාලනය; ”මම නම් දැනගෙන හිටියා මෛත්‍රී තවත් විශ්වාස කරන්න බෑ කියලා” – ප්‍රසන්න රණතුංග

ආණ්ඩුවේ අය වැය යෝජනා පිළිබද අවසන් ඡන්ද විමසීම පාර්ලිමේන්තුවේදී සිදු කෙරුණේ පසුගිය සතියේ සිකුරාදාය.  ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කල සියලු මන්ත්‍රීවරු මෙහිදී අයවැයට එරෙහිව ඡන්දය සම්මත කළ අතර ශ්‍රීලනිප යේ මන්ත්‍රී කණ්ඩායම ඡන්දය දීමෙන් වැලකී සිටියේය. ඒ  එදින දහවල් ගනු ලැබූ තීරණයට අනුවය.

ඡන්දය විමසීමෙන් අනතුරුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රීවරුන් සිටියේ තරමක කේන්තියෙනි. ඡන්දය විමසීමෙන් අනතුරුව පාර්ලිමේන්තු ලොබියේදී මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකවරයා හමුවූ ඒකාබද්ධය නියෝජනය කරන මෙම මන්ත්‍රීවරු මෛත්‍රී කණ්ඩායමේ තීරණය පිළිබද දැඩි ලෙස විරෝධය පල කළහ.

මම නම් දැනගෙන හිටියා මෛත්‍රී තවත් විශ්වාස කරන්න බෑ කියලා – ප්‍රසන්න රණතුංග

”මම නම් දැනගෙන හිටිය මෛත්‍රී තවත් විශ්වාස කරන්න බෑ කියලා. රෑදැනියල් දවල්මිගෙල් ගේමක් මේ ගහන්නේ” ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයා කීවේ කේන්තියෙනි.

”ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු මේ වෙළාවේ විරුද්ධ වුනානම් ඒක ආණ්ඩු විරෝධය පෙන්නන්න හොද අවස්ථාවක් වෙනවා” යැයි කීවේ ෂෙහාන් සේමසිංහය.

ඇයි කොහොමද සර් තවත් මේ අයව විශ්වාස කරන්නේ. මමනම් කියන්නේ තවත් මේ අයත් එක්ක සන්ධාන ගහන්න කථා කරන එක මෝඩ කමක් ප්‍රසන්න කීවේය.

”මේ වක්‍රාකාරයෙන් රනිල්ගේ ආණ්ඩුවට ආශිර්වාද කිරීමක්. ශ්‍රීලංකා එක, තැන් තැන්වල ආණ්ඩුව විවේචනය කළාට යටින් රනිල්ට උදව්කරනවා කියන එකයි මේකෙ තේරුම” ලන්සා කීවේය.

”මම නම් කියන්නේ සන්ධාන සාකච්ඡා ගැන නැවත සලකා බලන්න ඕනෑ. මොකද රෑ වැටුන වලේ දවල් වැටෙන්න අපිට බෑ… සර්… මේ ගැන තීන්දුවක් ගන්න. මමනම් මුල ඉදලම දැනගෙන හිටියා මේ අය ගහන්නේ ඩබල් ගේම් කියලා. 2015 ජනවාරි 08 වෙනිදා ඉදන්ම මේගොල්ලො අපිව රැවැට්ටුවා.  තවත් මේ අයට රැවටෙන්න එපා කියලයි අපි කියන්නේ” ප්‍රසන්න කීවේය..

”නෑ නෑ. කලබල වෙන්න එපා. අපි බලමුකො” මහින්ද ප්‍රසන්න අස්වසමින් කීවේය.

”අපි නම් බලයි සර්… ඒත් මේ රටේ මිනිස්සුනම් තවත් බලන එකක් නෑ.. ඊළග ඡන්දයේදී ඒ අය ගැන මිනිස්සු බලා ගනි ”යැයි ප්‍රසන්න කී විට මහින්ද ඒ ගැන කිසිවක්ම කියන්නට ගියේ නැත.

ජෙයරාජ් හිටියනම් ආණ්ඩුවට විරුද්ධව ඉස්සෙල්ලාම මා ඒක්ක හිටගන්නේ ඒයා ” මහින්ද කීවේය

කොටි ත්‍රස්ථවාදීන් ඝාතනය කල ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ  ඇමතිවරයාගේ 11 වන ගුණ සැමරුම යෙදී තිබුණේ පසුගිය 06 වෙනිදාටය. ඒදින උදෑසන මහින්ද වැලිවේරිය කාන්ති ක්‍රීඩාංගනය අසලට ආවේ ජෙයරාජ්ගේ බිරිද හා දරුවන්ගේ ආරාධනයට අනුවය. ඒ ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ සමරු ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීම සදහා ය. මහින්ද එන විට රවුෆ් හකීම්, C.B රත්නායක, A.H.M. ෆවුසි, දුලිප් විජේසේකර, තිලංග  ඇමතිවරු ඇතුළු  දේශපාලන්ඥයන් රැසක්ද ජෙයරාජ්ගේ ඥාති හිතමිත්‍රාදීන්  මෙන්ම ආධාර කරුවෝද ජෙයරාජ්  සිහි කිරීමට වැලිවේරිය කාන්ති ක්‍රීඩාංගනය අසලට පැමිණ සිටියහ.

”ජෙයරාජ් යුද්ධ කාළේ  කිලිනොච්චියට ගියා… කොටි නායකයො හම්බවෙන්න…. දැනෙගන හිටියෙ නෑ නේද? ” මහින්ද සුදර්ශිනීගෙන් උත්සවය අතරතුර ඇසුවේය…

”නෑ සර්… මම දන්නේ ජෙයරාජ් නැති වුනාට පස්සේ ” සුදර්ශිනී කීවාය.

”මෙයා ගිහිල්ලා කොටි නායකයන් එක්ක රණ්ඩු වෙලා ඇවිත් තිබුනේ. මම හැබැයි ඒ වෙලාවෙම කිව්වා පරිස්සම් වෙන්න කියලා. කෝ ඇහුවෙනෑනේ” මහින්ද කීවේය..

”අපිත් කිව්වා සර්… පරිස්සම් වෙන්න කියලා.. ඒත් ඇහුවෙ නෑනෙ” සුදර්ශිනී කිවාය.

”ජෙයරාජ් හිටියනම් ආණ්ඩුවට විරුද්ධව ඉස්සෙල්ලාම මා ඒක්ක හිටගන්නේ ඒයා ” මහින්ද කීවේය

ජෙයරාජ්ගෙ ගුණ සැමරුමට සහභාගීවූ මහින්ද කෙළින්ම ගියේ පොළොන්නරුවටය. ඒ රොෂාන් රණසිංහ මන්ත්‍රීවරයාගේ නව නිවසට ගෙවදීමේ උත්සවයට සහභාගී වීම සදහාය. ඒම උත්සවයට සහභාගීවූ මහින්ද ආපහු කොළඹ බලා ආවේද මග හැරිය නොහැකි තවත් විශේෂ කටයුත්තකට සහභාගීවීම සදහාය.

මෛත්‍රී නම් විශ්වාස කරන්න බෑ සර් –  දිලුම් අමුණුගම

පොදුජන පෙරමුණු තරුණ පෙරමුණ මගින් අවුරුදු නැතැක් සීට්ටුව මහින්දගේ නිල නිවසේදී ඔහුට භාරදීමට කිරීමට කටයුතු යොදා තිබිණි. පොළොන්නරුවේ සිට කොළඹ නිල නිවසට පැමිණි මහින්ද ඒ අවස්ථාවට එක් වූයේය. ඉන් පසු නැවත පොළොන්නරුව බලා ගියේ රොෂාන්ගේ  නිවෙස් පැවත්වෙන පිරිත් පිංකමට සහභාගී වීම සදහාය.

පිරිත් පිංකමේදී  පළමු අනුශාසනාව කළේ අස්ගිරිය අනුනායක වෙඩරුවේ උපාලි හිමියෝයි.

” අස්ගිරි මල්වතු පාර්ශවය ඒකතු වෙලා ත්‍රී සිංහල විශ්ව කීර්ති කියන ගෞරව සම්මානය දුන්නේ රට ඒක්සේසත් කරපු  රජවරුන්ට. ඒ අයගෙන් පස්සේ ඔබතුමාට. ඔබතුමාට ඇරෙන්න වෙන කෙනෙකුට ඒ ගෞරව සම්මානය දීලත් නෑ. එහෙම දෙන්න කෙනෙක් පේනතෙක් මානෙකවත් පේන්නවත් නෑ” උපාලි හිමියෝ පැවසූහ.

ඒදින මහින්ද ඇතුළු පිරිසට රාත්‍රි අහාරය සූදානම් කර තිබුනේ රොෂාන්ගේ නිවසේය. මහින්ද සමග සිරිපාල ගම්ලත් , ලොහාන් රත්වත්ත, දිලුම් අමුණුගම, C.B ලොකුගේ, විමලවීර දිසානායක, නාමල්, මහින්දානන්ද, ශෂේන්ද්‍ර රාජපක්ෂ, කනක හේරත් , තේනුක විදානගමගේ යන මන්ත්‍රීවරුන් ඒක්ව සිටිය. රාත්‍රී ආහාරෙයන් පසු ඔවුන්ගේ ප්‍රධාන මාතෘකාවය වූයේ ශ්‍රීලනිපෙ සමග පැවත් වෙන සාකච්චාව ගැනය.

මෛත්‍රී නම් විශ්වාස කරන්න බෑ සර්.. කියමින් කථාව ඇරඹුවේ  දිලුම් අමුණුගමය.

මෛත්‍රී  විශ්වාස කළ නොහැකි බව ඔප්පු කරන්නට ඒතන සිටි මන්ත්‍රීවරෙයකු තම ජංගම දුරකථනයේ තිබූ මෛත්‍රීගේ කථාවක් මහින්දට පෙන්වුයේය. ඒ මාතරදී මෛත්‍රී කල කථාවකි. ඒහිදී මෛත්‍රී කීවේ අලුත් පක්ෂ හදන අයව පාරක් පාරක් ගානේ ඇවිදින්නට කටයුතු කරන බවයි.. විඩියෝව බැලූ මහින්ද මහා හඩින් සිනාසුනේය.

මේ කථාබහ අතර දිලුම් හැමවිටම කීවේ ”සර් මුන්ව නම් විශ්වාස කරන්න ඒපා” කියාය.

මන්ත්‍රීවරෙයකු අදහසක් පලකරන විට ඒ මැදට පණින දිලුම් ” ඒකනෙ සර් කියන්නේ මුංව විශ්වාස කරන්න බෑනෙ” යැයි දහ පහලොස්වතාවක් කීවේය.

”ඕකත් හරියට මැක්කාගේ කථාව වගේනෙ, මොන කථාව කිව්වත් අන්තිමට ඔයා කථාව ඉවර කරන්නේ  මෛත්‍රීව විශ්වාස කරන්න බෑ කියලානේ ” මහින්ද කිවේ සියළු දෙනා සිනා ගන්වමිනි.

විශ්වාස කරන්න පුළුවන් අය විතරක් එකතු කර ගන්න” අස්සජි හිමියෝ

පසු දින (07) දානමය පුන්‍ය කර්මයට මහින්ද සමග බැසිල් රාජපක්ෂද සහභාගීවී සිටියහ. ඒහිදී අනුශාසනාවක් කළ මැදිරිගිරියේ අස්සජි හිමියන් කීවේ මහින්දට ඡන්දය දෙන්නට රටේ ජනතාව නැවත ඡන්දයක් ඒනතුරු බලා සිටින බවය..

”ඔබතුමාට ඊළග මැතිවරණෙයන් 6/5ක බලයක් දෙන්න මේ රෙට් ජනතාව බලාගෙන ඉන්නේ. 77 ජේ.ආර් ට දුන්න වගේ බලයක් ඔබතුමාට ලැබෙනවා. රොෂාන් මන්ත්‍රීතුමා මෑතකදී කියා තිබුණා ගෙදර ඉන්න බල්ලා තරම්වත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විශ්වාස කරන්න බෑ කියලා  ඒ නිසා විශ්වාස කරන්න පුළුවන් අය විතරක් එකතු කර ගන්න” අස්සජි හිමියෝ කීහ.

අනුශාසනාව අතර අස්සජි හිමියො මහින්ද ගෙන් විශේෂ ඉල්ලිමක් කලහ.

“රෝෂාන් මන්ත්‍රීතුමා ඔබතුමා වෙනුවෙන් ලොකු කැපවීමක් කරනවා. ඒ නිසා ඔබතුමා ඉදිරියේ පිහිටුවන ආණ්ඩුවක ඇමතිදූර 30න් එකක් අනිවාර්යෙන්ම රොෂාන් මන්ත්‍රීතුමාට දෙන්න” අස්සජි හිමියො ඉල්ලා සිටියහ.

පසුදින (08) උදෑසන මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සෝමාවතී චෛත්‍ය වැද පුදා ගත්තේය. අනතුරුව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පොදු ජන භික්ෂු බල මණ්ඩලයේ රැස්වීමකටද මහින්ද සහභාගී වූයේය.

” ඔබවහන්සේලාගේ අනුශාසනාව මම පිළිගන්නවා… දැන් ඉතිං ඉදිරියේදී මම හදන ආණ්ඩුවක මට තියෙන්නේ ඇමතිධූර 29යි. මොකද එකක් පොළොන්නරුවට දැනටමත් වෙන් කරන්න උනානේ…” මහින්ද කීවේ පෙරදින මැදිරිගිරියේ අස්සජි හිමියෝ කළ කථාවද සිහිපත් කරමිනි.

තනිකඩ ජීවිතයේ අවසන් උපන් දිනය සමරන නාමල් මන්ත්‍රීතුමාට සුභ පතනවා –
කංචන විජේසේකර

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ  උපන් දිනය යෙදී තිබුණේ පසුගිය 10 වෙනිදාය. එදා උදෑසනම මහින්ද නාමල්ට දුරකථන ඇමතුමක් ගත්තේ සුභ පැතීමටය. උපන්දිනයට  නාමල්ට සුභ පැතූ මහින්ද තාම ශ්‍රී පාදයේදැයි ඇසුවේය.

”ඔව් තාත්ති මම දැන් ඉන්නේ උඩ මළුවේ” නාමල් කිවේය.

”හරි ඉක්මන්ට එන්න. ඔයාට සුභ පතන්න කට්ටිය එනවා” මහින්ද නාමල්ට කීවේය.

ඊට පිළිතුරු දුන් නාමල් කීවේ දැන් තමන් ශ්‍රී පාදය බසින්කට සූදානම් වෙන බැවින් කඩිනමින් එන බවය. නාමල් මේ වසරේ විවාහ වන බවටද තොරතුරු වාර්තා වී තිබේ.

කංචන විජේසේකර මන්ත්‍රීවරයා නාමල්ට මෙවර සුභ පැතුවේ  ” සිය තනිකඩ ජීවිතයේ අවසන් උපන් දිනය සමරන නාමල් මන්ත්‍රීතුමාට සුභ පතනවා” යැයි කියමිනි.

කංචනට අනුවන්ම් නාමල් මේ සැමරුවේ සිය තනිකඩ ජීවිතයේ අවසන් උපන් දිනයයි. ඒ උපන් දිනයද ඔහු සැමරුවේ ශ්‍රී පාදයේ උඩ මළුවේ සිටය.

සටහන – භාතිය බරුකන්ද

Recommended For You

About the Author: Editor