අසන් සකිසඳ සත්කෝරළයේ අභිමානය

‘වැවයි- දාගැබයි, කෙතයි-පන්සලයි’ යන අපූර්ව වූ සංකල්පය යටතේ ගොඩනැගුණු සත්කෝරළය සිංහල ජාතියේ අභිමානය ඔප්නංවයි.
සත්කෝරළය සිංහලේ දීර්ඝ කාලීන ඉතිහාසය තුළ සටහන් කරන්නේ ඒ තුළ ස්ථාපිත කර තිබූ රාජධානී හතරක ශ්‍රේෂ්ඨ උරුමය පමණක් නොව, සත්කෝරළය තුළ ජීවත් වූ පරිසරයට ආදරය කළ කලා කුසලතාවන්ගෙන් පරිපූර්ණ වූ නිවහල් ශිෂ්ට සම්පන්න මිනිස් පරපුරක් විසින් ගොඩනගනු ලැබූ ශිෂ්ටාචාරයක ශේෂයන්ය.

සියවස් 30-35 කල කාලයක් තුළ පරම්පරා ගණනාවක් පෙර ගමන්කරුවන් වූ අපගේ මුතුන්මිත්තන්ගේ සිත් තුළ ජනනය වූ සිතුවිලි දහරාවන් තවමත් අප සියල්ලන්ගේ ජීවිත හසුරවන අත්වැල බව සිංහ ලකුණ සනාථ කරන විෂය පථය තුළින් මනාව පැහැදිලි වේ.

සත්කෝරළ උරුමය සහතික කළ පඬුවස් නුවර, දඹදෙණිය, යාපහුව සහ කුරුණෑගල යන රාජධානී හතරේ නටබුන් අපගේ මුතුන් මිත්තන් විසින් ඔවුන්ගේ ලේ, දහඩිය සහ කඳුළුවලින් ගොඩනංවා අපට ඉතිරි කර ගිය අපගේ උරුමයන් සිහිපත් කරවන සිහිවටනයන් ය.

රාවණා යුගය පිළිබඳ ඉඟි සපයන, එතුමා සතුව තිබූ දඬුමොනරය ගුවන්ගත කළ බව කියන වාරියපොළ, ඖෂධ උයනක් වන ‘දොළුකන්ද මෙන්ම පසුකාලීන යුගයට අයත් විජයගේ සහ කුවේණියගේ ජීවිතවලට අදාළ ජනප‍්‍රවාද අපගේ උරුමය කියාපායි. ඒ අතරම ප‍්‍රාග් ඓතිහාසික යුගයේ සත්කෝරළය තුළ මානව ජනාවාස ව්‍යාප්තව තිබූ බව යාපහුව කෝණ්ඩදෙණියේ පැරණි සොහොන් බිම් තුළින් මනාව පැහැදිලි වෙයි.

අභිමානවක් ඉතිහාසයක්

මේ සියල්ලම නිහඬවම ලෝකයට ප‍්‍රකාශ කරන්නේ අපගෙන් වෙන්කළ නොහැකි අතීත උරුමයයි. අපගේ අභිමානවත් සත්කෝරළයේ සංස්කෘතික පදනමයි. පඬුවස්නුවර යුගයේ වාරි කර්මාන්ත, දඹදෙණිය යුගයේ විශිෂ්ට සාහිත්‍ය කෘති, යාපහුව යුගයේ විස්මිත ගල්කැටයම් හා කලා ශිල්ප මෙන්ම, කුරුණෑගල යුගයේ ලියන ලද පන්සියපනස් ජාතික කතා පොත් වහන්සේ, සත්කෝරළයේ ශ‍්‍රීවිභූතිය මනාව කියාපයි.

සිංහල වංශකතාවේ මධ්‍යතන යුගය වශයෙන් ක‍්‍රි.ව 1000- 1700 කාලය සැලකෙයි. මෙහි ආරම්භය පොළොන්නරු යුගයට අයත් වෙයි. ඉන්පසු හෙළ රාජධානිය දඹදෙණිය වෙත පැමිණියේය.

සියවස් ගණනක් පුරා හෙළයින් විසින් ගොඩනැගූ පොළොන්නරු රාජධානිය විදේශ ආක‍්‍රමනිකයින් විසින් වනසා දමද්දී හෙළයෝ දඹදෙණියට සංක‍්‍රමණය වූහ. එහෙත් හෙළයන් සතුව තිබූ මහා ඥාන සම්භාරය ආක‍්‍රමණිකයින්ට විනාශ කළ නොහැකි විය. නව හෙළ රාජධානිය දඹදෙණියේ ගොඩනැගීමට හෙළයින්ට ඉතා පහසු ක‍්‍රියාවක් විය.
ක‍්‍රි.ව 1220- 1347 දක්වා පුරා වසර 127 ක් දඹදෙණිය, යාපහුව සහ කුරුණෑගල රාජධානි තුනේ පාලනය නිමා කරමින් හෙළ රාජ්‍යය ගම්පොළට මාරුවිය. ක‍්‍රි.ව 1293 දී දෙවන බුවනෙකබාහු රජතුමා විසින් ආරම්භ කළ කුරුණෑගල රාජධානිය ඊට පසුව හතරවන පරාක‍්‍රබාහු, තුන්වන බුවනෙකබාහු සහ පස්වන විජයබාහු යන රජවරු විසින් වසර 53 ක් පවත්වා ගෙන ගියහ.

ප‍්‍රඥාව දැල් වූ යුගයක්

ජාතියේ ප‍්‍රඥා මහිමය දිදුළන පහන් සිළුවක් සේ උද්දීපනය කිරීමට අගනා සාහිත්‍ය කෘති රටට දායාද කරනු ලැබුවේ කුරුණෑගල යුගයේදීය. මහෝෂධ පණිඩිත චරිතය උම්මග ජාතය තුළින් හඳුන්වා දෙමින් එහි කතුවරයා හෙළයින් සතුව තිබූ නිර්මාණාත්මක චින්තන, රාජතාන්ත‍්‍රික උපක‍්‍රම මෙන්ම ප‍්‍රඥා මහිමය මනාව ප‍්‍රදර්ශනය කර ඇත.

අද නව විද්‍යා දැනුම මත පරිහරණය කරන දුරස්ථ පාලක උපකරණ පිළිබඳව මූලික අදහස උම්මග ජාතික කතුවරයා අවුරුදු 500 කට පමණ පෙර ලේඛනගත කිරීම විස්මිතය.

එම යුගයේදී දළඳා සිරිත, දඹදෙණි අස්න, අනාගත වංශය, දළඳා පූජාවලිය සහ සිංහල බෝධිවංශය රචනා කිරීමත් පළමු වරට දළඳා පෙරහර පැවැත්වීමත් වර්තමාන කුරුණෑගල මහත් වූ අභිමානයට හේතු වන බව සඳහන් කළ යුතුමය.

ප‍්‍රඥාවේ පහන් සිළු මිනිස් සිත්සතන් සනහන මහා ආලෝක ධාරාවක් බවට පත් කිරීම සඳහා පිරිවෙන් අධ්‍යාපනය කුරුණෑගල රාජ්‍ය සමයේ දී ආරම්භ වීම සමස්ථ ලෝකවාසීන් හට සත්කෝරළයෙන් උරුම වූ විශිෂ්ට උරුමයක් බව අවිවාදිතය.

සත්කෝරළයේ අභිමානය තව තවත් වර්ධනය කරන කරුණක් වන්නේ ශ‍්‍රී දළඳා වහන්සේ එහි වැඩම කර සිටීමයි. එමෙන්ම ලක්බිම ජීවත් වූ අවසන් මහ රහතන් වහන්සේ වන මලියදේව මහ රහතන් වහන්සේගේ පාදස්වර්ශය ලැබීමට ද සත්කෝරළය පින් කර ඇති බව සඳහන් කළ යුතුය.

වැලිවිට ශ‍්‍රී සරණංකර සංඝරාජ මාහිමියන් හැදුන වැඩුණ පරිසරය, විජය රජුගේ සොහොන් බිම, සිරසඟබෝ රජු හිස දන් දුන් ස්ථානය වන හත්ථිකුච්චි විහාරය, රැුස් වෙහෙර, බුදුරුවගල, ගොකරැුල්ල සංගමු විහාරයේ සෙල් ලිපිය, රිදී විහාරය, ටැම්පිට විහාරය, පාදෙණිය විහාරය, ශ‍්‍රී ලාංකේය උරුමය හා සංස්කෘතිය තුළ සත්කෝරළයේ අභිමානය තහවුරු කරයි.

සත්කෝරළය සිංහලේ වංශ කතාව මැවනවින් ඔප්නංවන්නට සමත් වූ හෙළ විරුවන්ගේ නිජ බිමක් වශයෙන් සැලකිය හැකිය. වාරියපොළ සුමංගල හිමි, විල්බාවේ රාළ ඒ අතර ප‍්‍රමුඛ චරිත වශයෙන් සැලකිය හැකිය.

වාරි සංස්කෘතිය

වයඹ තැනිතලාව හරහා පැතිරී යන 4000 ක් පමණ වන ලොකු කුඩා වැව් හා වාරිමාර්ග පද්ධතිය සත්කෝරළවාසීන්ගේ ජීවනාලිය වශයෙන් සැලකිය හැකිය. දැදුරු ඔය, මී ඔය, කිඹුල්වානා ඔය, හක්වටුනා ඔය, ආදි ඔයවල් කිහිප ස්ථානයකින් හරස් කර ඉඳි කළ දැවැන්ත වාරි පද්ධතිය සත්කෝරළය වැසියන්ගේ ශිල්ප ඥානය පමණක් නොව සශ‍්‍රීකත්වය ද මනාව පැහැදිලි කරයි. මෙම අති විශිෂ්ට වාරි පද්ධතිය හරහා සශ‍්‍රීකත්වයට පත් සත්කෝරළය ජාතිය බත සැපයීමේ ප‍්‍රමුඛ භූමිකාවක් ඉටු කළේය. හත්කෝරළය ‘බත්කෝරළය’ යනුවෙන් විරුදාවලිය ලැබුවේ ඒ නිසාමය.

බෞද්ධ සංස්කෘතිය උරුමය

සත්කෝරළය සැලකෙන්නේ ලංකාවේ වැඩිම බෞද්ධ සිද්ධස්ථාන ගණනක් ඇති ප‍්‍රදේශය වශයෙනි. 4000 කට ආසන්න ගම්මානවල බෞද්ධ සිද්ධස්ථාන ද 4000 කට අධික සංඛ්‍යාවක් තිබීමෙන්ම සත්කෝරළයේ ජනතාවගේ ආගමික භක්තිය මානව පැහැදිලි වේ.

බුදු දහමින් ඔපවත් වූ සත්කෝරළයේ සංස්කෘතිය දැනුම මහත් ඉහළින් අගය කළ එකකි. පරිසරය සුරක්ෂිත කිරීම කෙරෙහි දැඩි අවධානයක් යොමු කළ ඔවුහු ගල්තලා සහිත උස්බිම් විහාරස්ථාන සඳහා ද තැනිතලා කෙත් බිම් සඳහා ද යොදා ගත් අතර වනරොදවල් සිල්වත් භික්ෂූන් වහන්සේලාගේ භාවනා ආදි කටයුතු සඳහා සම්පාදනය කර දුන්හ. ගමේ ආහාර ගබඩාවත්, ඖෂධ ගබඩාවත් මැනවින් ආරක්ෂා කරනු ලැබූ ගමේ වන ලැහැබ තුළ විය. මහ කැලය ඔවුන්ගේ මහ ගෙදර වූ අතර එය ආරක්ෂා කිරීම ද පවත්වා ගෙන යාම ද ඔවුන්ගේ දෛනික ජීවිතයේ ප‍්‍රධාන රාජකාරියක් විය.

සංස්කෘතිය

පරිසරයට දැඩිව ආදරය කළ සත්කෝරළයේ ගැමියෝ තම මුතුන්මිත්තන් විසින් තමන්ට දායාද කළ වටිනාකම් ද මහත් ඉහළින් ආරක්ෂා කරනු ලැබූහ. කුරුළු පාළුව, පිංකනටිය, පතහා, එබ, ගස් ගොම්මන, සංහිඳ, පිංතාලිය, අම්මබලය ආදිය අදත් සත්කෝරළයේ සංස්කෘතික වටිනාකම් වශයෙන් බුහුමන් ලබමින් තිබෙන්නේය.

සත්කෝරළය සියවස් ගණනාවක් පුරා රටේ ප‍්‍රධාන ස්ථානයක් හිමිකර ගත් ආකාරයෙන් ඒ අභිමානය අද ද රැුක ගනිමින් සිටියි. අද ද රටේ කෘෂි කාර්මික වගාවන් අතර සත්කෝරළයට ලැබෙන්නේ ප‍්‍රමුඛස්ථානයකි. ‘පොල් ත‍්‍රිකෝණය’ සත්කෝරළයේ නූතන ආර්ථික ශක්තිය මනාව කියාපායි. කුරුණෑගල දිස්ත‍්‍රික්කය ද ඇතුළත් වන සත්කෝරළ ලංකාවේ වැඩිම කුඹුරු ඉඩම් ප‍්‍රමාණයක් හිමි දිස්ත‍්‍රික්කය වෙද්දී වැඩිම ගම සම්මතක් ඇති ප‍්‍රදේශය වශයෙන් ද එය සැලකේ.

ජාතියේ මුරදේවතාවුන් වන ත‍්‍රිවිධ හමුදාව සඳහා වැඩිම රණ විරුවන් පිරිසක් ද එක්ව ඇත්තේ සත්කෝරළය ප‍්‍රමුඛ කැරුණෑගල දිස්ත‍්‍රික්කයෙනි. එමෙන්ම වැඩිම ශ‍්‍රමිකයින් පිරිසක් විදේශගතව ඇත්තේ ද කුරුණෑගල දිස්ත‍්‍රික්කයෙන් බව සංඛ්‍යා ලේඛන පැහැදිලි කරයි.

කුරුණෑග දිස්ත‍්‍රික්කයේ ජනගහණයෙන් සියයට 90 ක් බෞද්ධ ජනතාවය. එමෙන්ම වර්තමානයේ අධ්‍යාපන කේෂ්ත‍්‍රයේ ඉහළින්ම වැජඹීමට කුරුණෑගල දිස්ත‍්‍රික්කයට අවස්ථාව උදාවී ඇත. ඒ අනුව තවත් සියවස් ගණනක් සත්කෝරළය සිය අභිමානය රැුක ගනු ඇති බව සහතිකය.

සටහන – ඉරේෂා උදයංගනී රත්නායක

Recommended For You

About the Author: Editor