මාව හීරෝ කළේ යසපාලිත – ඇලෙක්සැන්ඩර් ප‍්‍රනාන්දු

‘‘ඇලෙක්සැන්ඩර් ප‍්‍රනාන්දු’’ ඔහුගේ නිල නම වුණත් බොහෝ දෙනෙක් ඔහුට ආදරයෙන් අමතන්නේ ‘‘ඇලෙක්ස්’’ කියලා. ඇලෙක්ස් කියන්නේ 1960-70 දශකවල තරුණ තරුණියන්ගේ පමණක් නොවෙයි මැදිවියේ ගැහැනුන්ගේ පිරිමින්ගේ පවා හදවත් කල්මත් කළ නළුවෙක්. ඔහු සිංහල සිනමාවේ පෙරළිකාර සටන්කාමී චරිතාංග ඇතුළත් චිත‍්‍රපට 100කට පමණ තම ප‍්‍රතිභාපූර්ණ දායකත්වය ලබා දුන්නා. එදා බොක්ස්ඔෆික්ස් වාර්තා පිහිට වූ රුහුණු කුමාරි, හාරලක්ෂය, සරදියෙල්ගේ පුනා, රජගෙදර පරවියො, රක්තා, සූරයන්ගෙන් සූරයා සහ තුෂාරා ඇලෙක්ස්ගේ නම සුපිරි සිනමා තරු අතර ඉහළින් තැබීමට හේතු වුණා. අද වන විට ඇලෙක්ස් නිහඬව, විවේකීව තම සැදෑ සමය ගත කරමින් සිටිනවා. ඒත් ඔහු ගැන ඇසීමට, ඔහු කියන දේ ඇසීමට අදත් ඔහුගේ වියපත් රසිකයෝ වගේම නව පරපුරත් කැමැති බවට සැකයක් නැහැ.


මල්ලවපොර සූරයෙක් සුපිරි සිනමා තරුවක් බවට පත් වුණේ කොහොමද ?

ඒක ටිකක් දිග කතාවක්. සිනමාවට පැමිණි බොහෝ දෙනකුට වාගේ මටත් සිනමාවට එන්න සිහිනයක් තිබුණේ නැහැ. මම සිහින දැක්කේ හොඳ ක‍්‍රීඩකයෙක් වෙන්නයි. ඒකට හේතුවක් තිබුණා. මම මල්ලවපොර සූරයෙක්. 1963 දී පොදුරාජ්‍ය මණ්ඩලයීය ක‍්‍රියා උළෙල නියෝජන කළ ක‍්‍රීඩකයෙක්. ඉතිං මල්ලවපොර ක‍්‍රීඩාව ප‍්‍රගුණ කරමින් නිදහසේ ඉන්න කොට මේ කාලේ මගේ හොඳම මිතුරෙක් වුණ ලෙනින් මොරයාස්ගෙන් ආරාධනාවක් ලැබෙනවා. ඒ චිත‍්‍රපටකය රඟපාන්න කියලා. චිත‍්‍රපයේ නම ‘‘වෙන ස්වර්ගයක් කුමටද ?’’ මට කරන්න තිබුණේ සටන් ජවනිකාවක්. ඒ හෙන්රි ජයසේන සමගයි.

ඉතිං, චිත‍්‍රපටය අධ්‍යක්ෂණය කළේ කවුද ?

සෝමසේකර කියලා අධ්‍යක්ෂවරයෙක්. ඉතිං කොහොම හරි මේ සටන් ජවනිකාව කළා. ඒත් අන්තිමේදී වුණේ මම නොහිතපු දෙයක්. ඔවුන් අතර ඇති වුණ ප‍්‍රශ්නයක් නිසා මම කළ සටන් ජවනිකාව චිත‍්‍රපටයෙන් අයින් කළා.

ඊට පස්සේ මොකද වුණේ ?

මේ කියන්නේ 1963 කාලේ, මම 63දී තමයි සිනමාවට සම්බන්ධ වෙන්නේ. ඒ වෙන කොට මම තිරිඹිරිගස්යායේ කාමරේකයි නැවතිලා හිටියේ. මම එතකොට කොළඹ මහනගර සභාවේ ක‍්‍රීඩා උපදේශකයෙක් විදිහටත් වැඩ කරනවා. ඒ කාලේ රොබින් ප‍්‍රනාන්දුත් එතැනට යනවා එනවා. මේ කාලේ මම ඔලිම්පික් යන්නත් නිර්දේශ වෙලා හිටියේ. ඒත් කකුලේ ඇති වුණ ආබාධයක් නිසා ඒ ගමන යන්න බැරි වුණා. ඒත් 1966 ආසියානු ක‍්‍රීඩා උළෙලට නම් සහභාගී වුණා. ඉතිං මම රස්සාවයි, ක‍්‍රීඩා කටයුතුයි කරගෙන ජීවත් වෙනවා. මේ අතර දවසක් ඔබ්ලිව්.එස් තම්පෝ කියන මිතුරාගේ තාත්තා ‘රුහුණු කුමාරි’’ කියලා චිත‍්‍රපටයක් පටන් ගත්තා. ඔහු මගෙන් ඇහුවා චිත‍්‍රපටයට එනවද කියලා. මම ගත් කටට ම ‘‘බැහැ’’ කියලා කිව්වා. ඒත් ලෙනින් කිව්වා ‘‘ඔන්න ඔහේ බාර ගනින් ’’ කියලා. මම කැමැති වුණා.

ඔන්න ඉතිං චිත‍්‍රපටයේ වැඩ පටන් ගත්තා. ගම්පහ මල්වත්තේ තමයි රූගත කිරීම් තිබුණේ. මමයි, නීටා ප‍්‍රනාන්දුයි, රොබින් ප‍්‍රනාන්දුයි තමයි සටන් ජවනිකාව කළේ. රුහුණු කුමාරි තිරගත වුණට පස්සේ මට චිත‍්‍රපටි ගලා ගෙන ආවා.

මාතරආච්චි චිත‍්‍රපටය ඔබේ සිනමා දිවියේ හැරවුම් ලක්ෂයක් නේද ?

බන්දු මුණසිංහ තමයි මේ අවස්ථාව ලබා දුන්නේ. ඔහු මගේ හොඳ මිත‍්‍රයෙක්. දවසක් බන්දු මාව හමුවන්න ආවා.
‘‘ඇලා උඹ මට පොඩි උදව්වක් කරන්න ඕනෑ. සතිස්චන්ද්‍ර එදිරිසිංහ උඹෙන් උදව්වක් ඉල්ලනවා’’ බන්දු කිව්වා.
‘‘මොකක්ද ?’’ මම ඇහුවා.
‘‘සතිස්ගේ මාතරආච්චි චිත‍්‍රපයේ සටන් ජවනිකාව ජෝ මයිකල් බාගෙට කරලා තියෙන්නේ. ඒ වැඬේ සාර්ථක නැහැ. උඹ මේ වැඬේ කරලා දීපන්’’ බන්දු ඉල්ලා සිටියා.
අන්තිමේදී මම ඒ වැඬේ භාර ගත්තා.

ඊට පස්සේ මොකද වුණේ ?

ඔන්න ඉතිං සටන් ජවනිකාව ඉවර වෙලා අපි එදා හවස පොඩි පාටියක් දැම්මා. එතකොට සතිස් මට කියනවා,

‘‘ඇලා, මම ඔයාගේ සටන් අධ්‍යක්ෂණය බලාගෙන හිටියා. ඇයි කවුරුත් ඔයාව හරි හැටි අධ්‍යක්ෂණය නොකළේ ? මම කොහොම හරි ඔයාව ඉස්සරහට ගේනවා’’ සතිස් කිව්වා.
ඔහු කිව්වා වාගේම කළා. ඔහුගේ ‘‘රජ ගෙදර පරවියෝ’’ චිත‍්‍රපටයේ මට අවස්ථාවක් ලබා දුන්නා.

යසපාලිත නානායක්කාරට ඔබව හමුවෙන්නේ කොහොමද ?

ඒක වුණේ ‘‘ශ‍්‍රී මධාරා’’ චිත‍්‍රපට නිසා. ශ‍්‍රී මධාරා චිත‍්‍රපට දැකලා යසපාලිතට ඕනෑ වෙලා තිබුණා මාව වීරයා කරන්න. ඒකට හේතුවකුත් තිබුණා. ‘‘තුෂාරා’’ බලපු බොහෝ දෙනෙක් විජයට වඩා මාව අගය කළා.

ඒ ඇයි ?

විජයගේ මූණ ලස්සනයි. ඒත් වැඩිය කඩවසම් මමයි.

ඉතිං ඊට පස්සේ මොකද වුණේ ?

යසපාලිත ‘‘සහයට ඩැනී’’ කියලා චිත‍්‍රපටයක් කළා. ඒකේ වීරයා මම. මගේ පෙම්වතිය සෝනියා දිසා.

ඒත් මුලින් කළේ ශ‍්‍රී මධාරා නේද ?

ඔව්, ඒත් ශ‍්‍රී මධාරා මුලින් කළත් රිලීස් වුණේ ප‍්‍රමාද වෙලා. ඒ නිසා මාව වීරයා නැතිනම් හීරෝ විදිහට මුලින්ම දැක ගන්න ලැබුණේ ‘‘සහයට ඩැනී’’ චිත‍්‍රපටයෙන්.

යසපාලිත ඊළඟට මොකද කළේ ?

ඔහු ඊළඟට මාව ගත්තේ ‘‘ඇගේ ආදර කතාව’’ට. ඒකෙත් මගේ පෙම්වතිය වුණේ සෝනියා.

‘‘සැණකෙළිය’’ චිත‍්‍රපටය ගිනිකෙළියක් වුණා කියන්නේ ඇත්තද ?

ඔව්, මම ඒ චිත‍්‍රපයේ සටන් අධ්‍යක්ෂක. සැණකෙළිය චිත‍්‍රපටයේදී ගාමිණි ෆොන්සේකා ඇත්තටම විජයට ගැහුවා. ඒ වෙලාවේ මාලනීත් එතැන හිටියා. ඇය මට කිව්වා, ඇලෙක්ස් ‘‘ ඕක නවත්වන්න’’ කියලා. පස්සේ විජය මා ළඟට ඇවිත් පරුෂ වචනයෙන් ‘‘දැන් මම ඌට ගහනවා’’ කියලා බැන්නා. අන්තිමට දෙන්නව සමාදාන කළා. මට ඔය සිද්ධිය ගැන පුංචි අසතුටක් ඇති වුණා.

සරදියෙල්ගේ පුතා ගැන මොකද කියන්න තියෙන්නේ ?

ඒකේ කතා ගොඩක් තියෙනවා. සරදියෙල්ගේ පුතා කළේ නීල් රූපසිංහ. නීල්ගේ තාත්තත් මාව හොඳට අඳුරනවා. නීල්ගේ චිත‍්‍රපටි හොඳට දුවනවා. ඒවායේ තිබුණ, සින්දු, ෆයිට් බලන්න තමයි මිනිස්සු ආවේ. ඔය අතරේ සරදියෙල්ගේ චරිතය චිත‍්‍රපටකට ගේන්න බොහෝ දෙනෙක් උත්සාහ කළා. ඔසී අබේගුණසේකරගේ (1994දී තොටළඟ බෝම්බයට හසුව මියගිය* තාත්තත් මේක කරන්න බැලූවා. ටයිටස් තොටවත්ත මහත්තයත් මේක කරන්න බැලූවා. ඒත් බැරි වුණා.

ඔය අතරේ දවසක් නීල් රූපසිංහ, ඇන්ටන් ග්‍රෙගරි, කීරගලආරච්චි කියන කට්ටිය හැන්දෑයක සෙට් වෙලා ඉන්න අතරේ මේ සරදියෙල්ගේ කතාව ඇදුණා. එතනදී යෝජනා වුණා අලූත්ම වැඩක් විදිහට ‘‘සරදියෙල්ගේ පුතා’’ කියලා චිත‍්‍රපටයක් කරමු කියලා. එතැනදී එක එක තර්ක ආවා. කොහොම හරි අවසානෙදී කීරගලආරච්චිට මේකේ තිරරචනය ලියන එක භාර දුන්නා.

දැන් මේ කතාවේ ප‍්‍රධාන චරිතය කරන්නේ කවුද ? කියන ප‍්‍රශ්නේ ආවා. ඒකට මගේ නමත් යෝජනා වුණා. ඒක දැන ගත්ත ඒ කාලේ ප‍්‍රධාන නළුවෝ මට යටින් ඇටෑක් කළා. ඒ වගේ වැඩ එදා ඉඳලම තිබුණා. කොහොම හරි චිත‍්‍රපටයේ ප‍්‍රධාන නිළිය විදිහට තෝර ගත්තේ මාලනී ෆොන්සේකාව. ටෝනි රණසිංහ, ඇන්ටනී සී පෙරේරා වාගේ අයත් ඒකේ රඟපෑවා. මෙතෙක් කාලයක් දුෂ්ඨයා විදිහට හිටිය මම මේකේ වීරයා වුණා. සරදියෙල්ගේ පුතා බොක්ස් ඔෆිස් වාර්තා තිබ්බා.

හාරලක්ෂය ගැනත් කතා කරමු නේද ?

ඒකත් අපූරු කතාවක් තමයි. මේ වෙන කොට ජෝ අබේවික‍්‍රම මගේ හොඳ මිත‍්‍රයෙක්. ජෝ අයියා තමයි ටයිටස් තොටවත්තට මං ගැන කියලා තියෙන්නේ. මාව ගත්තේ රොබින් ප‍්‍රනාන්දුත් එක්ක සටන් ජවනිකාවකට. මම සීන් එක කරනවා බලාගෙන හිටිය ටයි අයියා මගේ ඇක්ටින් ගැන සතුටු වුණා. පස්සේ ටයි අයියා කිව්වා,
‘‘මල්ලී, ෆයිට් එකට විතරක් නෙමෙයි, මම ඔයාට හොඳ චරිතයකුත් දෙන්නම්’’ කියලා.
ඒ කිව්වා වගේම ටයි අයියා මට ඒකේ ප‍්‍රධානතම චරිතය දුන්නා. ඒකෙන් තමයි මට ෆීල්ඞ් එකේ හොඳ තැනක් ලැබුණේ. හාරලක්ෂසේ මගේ වැඩ ගැන හුඟ දෙනෙක් කතා කළා. එදා ඉඳලා තමයි මාව චිත‍්‍රපටවලට අවශ්‍යම නළුවෙක් වුණේ.

ඉතිං හොඳම නළුවා වුණා ද ?

ඔව්, සරසවි පත්තරේ හොඳම නළුවාට කූපන් යවන වැඩසටහනේදී මට හොඳට කූපන් එවලා තිබුණා. මම ඉතිං කළේ කියා දීලා ගුටි කන එකනේ. මම ඒ කාලේ හොඳම නළුවන් 10 දෙනා අතරින් 07 වැනි තැන හිටියා.

සටන් කරන එක ඇත්තට ම රඟපෑමක්ද ?

එහෙමමත් නැහැ. අනතුරු ඕනෑ තරම් සිද්ධ වෙනවා. මම ඒවායින් එකක් කියන්නම්. රක්තා චිත‍්‍රපටයේ මම රෙක්ස් කොඩිප්පිලි එක්ක සටන් ජවනිකාවක් කරනවා. රෙක්ස්ට මාව උස්සලා බිම දාන්නයි තිබුණේ. ඒත් එයා ඒක හරියට, සමබරව කළේ නැහැ. අන්තිමට මගේ අත කැඩුණා. තවම ඒ අමාරුව තියෙනවා. ඒ වගේම තවත් චිත‍්‍රපටයක් කරන්න ගිහින් මගේ කකුල කැඩුණා.

මේ තරම් ගුටි කන්න පුළුවන් ද ?

කොච්චර වැදුණත් මට නම් ගානක් නැහැ. අපි ව්‍යායාම කරලා හොඳ ෆිට් එකේ හිටියේ.

ඔබ සහ සෝනියා දිසා ගැන කියන කතාව මොකක්ද ?

මම ගොඩක් රඟපෑවේ සෝනියා එක්කනේ. ඒ කාලේ ගොඩක් අය හිතුවේ අපි අතර ආදර සම්බන්ධයක් තියෙනවා කියලා. චිත‍්‍රපටවල චරිතවලට සෝනියා මාව සහතික කළා. මම සෝනියාව සහතික කළා ඕක තමයි වුණේ.

සංවාද සටහන – තීක්ෂණ වෙළෙන්එගොඩ

Recommended For You

About the Author: Editor