1884න් පසු උණුසුම්ම වසර 2019 – මහාචාර්ය චන්දන ජයරත්න

වසර 135කට පසු ශ‍්‍රී ලංකාවෙන් වාර්තා වන අඩිකම උෂ්ණත්වය මේ වන විට වාර්තා වෙනවා. කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා සඳහන් කරන්නේ ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම මෙන්ම ‘එල්ලීනෝ’ තත්ත්වය ද මේ සඳහා හේතුවී ඇති බවයි.
මේ වන විට පවතින වියළි කාලයගුණය හේතුවෙන්් දිස්ත‍්‍රික්ක 20ක පුද්ගලයින් 3,12,207ක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.


මෙම තත්්ත්වයෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ උතුරු මැද, වයඹ, හම්බන්තොට, ගම්පහ, ත‍්‍රිකුණාමලය සහ උතුරු පළාතට අයත් වවුනියාව, මුලතිව්, මන්නාරම ආදි දිස්ත‍්‍රික්කවලටයි.

කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පෙන්වා දෙන්නේ 1884න් පසුව වැඩිම උෂ්ණත්වයක් වාර්තා වුණේ 2019 වර්ෂයේදී බවයි.

මේ පිළිබඳව ‘ලංකා ඊ ප්‍රෙස්’ කළ විමසීමකට පිළිතුරු දෙමින් මහාචාර්ය චන්දන ජයරත්න මහතා, ‘‘1884න් පසු වැඩිම උෂ්ණත්වයක් වාර්තා වූ වර්ෂය ලෙස 2019 වර්ෂය පත්ව තිබෙනවා. ඒ අනුව පසුගිය ජනවාරි මාසය තමයි වර්ෂ 135කට පසුව වැඩිම උෂ්ණත්වයක් වාර්තා වූ මාසය වන්නේ. පෙබරවාරි මාසය ගත් විට පසුගිය වර්ෂ 135 තුළ වැඩිම උෂ්ණත්වයක් වාර්තා වූ මාස 05න් එකක්. මේ තත්ත්වය ඇති වීමට වර්තමානයේ ක‍්‍රියාත්මක වෙමින් පවතින ‘එල්ලිනෝ’ තත්ත්වය වගේම පසුගිය 40 වසර තුළ සිදු වූ දේශගුණික විපර්යාස ප‍්‍රබල ලෙස හේතු වී තිබෙනවා’’

මෙම අධික උෂ්ණත්වය හේතුවෙන් ඊට නිරාවරණය වන පුද්ගලයින් මරණයට පවා පත්විය හැකි බව මහාචාර්යවරයා අනතුරු අඟවයි.
‘‘මේ තත්ත්වය ඉතාම අනතුරුදායකයි. මෙය වැඩියෙන්ම බලපාන්නේ කුඩා දරුවන්ට. මාංශපේෂි පෙරළීම, ඇස් රතුවීම ආදි රෝග ලක්ෂණ මෙහිදී ඇති විය හැකියි. අධික හිරු එළියට නිරාවරණය නොවීම අතිෂයින්ම වැදගත්. හැකි තරම් ජලය පානය කරන්න. තෙත තුවායක් වැනි දෙයක් භාවිත කිරීමත් ඉතාම වැදගත්. මේ තත්ත්වය මැයි මාසය දක්වා පවතින බවක් අපට නිරීක්ෂණය කළ හැකියි’’ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි.

මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වාර්තා කරන්නේ පසුගිය 30 වසර තුළ, උතුර, උතුරු මැද, හම්බන්තොට ආදි පළාත්වල මධ්‍ය වාර්ෂික උෂ්ණත්වය සෙල්සියස් අංශක 3ත් 4ත් අතර ප‍්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බවයි.

Recommended For You

About the Author: Editor