අලූත් අවුරුදු උත්සවවලදී සීනි එක්කළ බීම පානය කරන්න එපා – විශේෂඥ වෛද්‍ය ඉනෝකා සුරවීර

සිංහල සහ හින්දු අලූත් අවුරුදු උත්සවවල විවිධ ක‍්‍රීඩා ඉසව් සඳහා සහභාගී වන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට සහ ඒවා නැරඹීමට පැමිණෙන ජනතාවට සීනි සහිත පානයන් ලබා නොදෙන ලෙස විශේෂඥ වෛද්‍ය ඉනෝකා සුරවීර මහත්මිය ඉල්ලා සිටී.

වෘත්තීය සෞඛ්‍ය හා පාරිසරික සෞඛ්‍ය ඒකකයේ ප‍්‍රධානී වන වෛද්‍ය ඉනෝකා සුරවීර මහත්මිය වැඩි දුරටත් සඳහන් කළේ හැකි තරම් සිසිල් ජල පානය මේ දිනවල පවතින අධික උෂ්ණත්වය හමුවේ අතිෂයින් වැදගත් වන බවයි.

විශේෂඥ වෛද්‍ය ඉනෝකා සුරවීර මහත්මිය වැඩි දුරටත් මෙසේ ද සඳහන් කළාය.
‘‘මේ දිනවල පවතින අධික උෂ්ණත්වය හමුවේ අලූත් අවුරුදු උත්සවවල විවිධ ක‍්‍රීඩා සඳහා සහභාගී වන අයටත් ඒවා නැරඹීමට පැමිණෙන ජනතාවත් දැඩි සේ විඩාවට පත්වීමට හැකියි. විශේෂයෙන් අධික පිපාසයට ලක්වීම මෙවැනි තත්ත්වයක් තුළ දැකිය හැකි සුලභ තත්ත්වයක්. එහිදී කළ යුතු වැදගත් දේ තමයි පිපාසයක් දැනෙන විට හැකිතාක් සිසිල් ජලය පානය කිරීම. සීනි සහිත බීම වර්ග පාලනය නොකළම යුතු දෙයක්. ඒ වගේම තමයි ඔවුන් කෝපි ඇතුළු පාන වර්ග ගැනීමෙන් ද හැකිතාක් වැළකී සිටිය යුතුයි’’

මෙහිදී ඇය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ එළිමහනේ ගමන් කරන විට කුඩයක් හෝ කන් දෙක ම ආවරණය වන පරිදි හිස් වැස්මක් පැළඳීම කරන ලෙසයි.
‘‘ඒ වගේම තමයි කය වෙහෙසා කරන ක‍්‍රීඩා හැකිතාක් උදෑසන කාලයේදී කිරීමට පියවර ගත යුතුයි. ක‍්‍රීඩා කරන අවස්ථාවකදී යම් ආකාරයක ක්ලාන්ත ගතියක් දැනෙන්නේ නම් ශරීරයට සිසිල් ජලය ඉසලා සෞඛ්‍යාරක්ෂිත පියවර වහාම අනුගමනය කළ යුතු’’ බව ද විශේෂ වෛද්‍ය ඉනෝකා සුරවීර මහත්මිය අවධාරණය කළාය.

Recommended For You

About the Author: Editor