ගමේ එළවලු ලොව පුරා විකුණන්න ආණ්ඩුවෙන් දෙන ‘ගැප්’ ලයිසම

සනත් එම්. බණ්ඩාර – සහකාර අධ්‍යක්ෂ, ජනමාධ්‍ය සම්බන්ධීකරණ
ජාතික කෘෂිකර්ම තොරතුරු සහ සන්නිවේදන මධ්‍යස්ථානය, ගන්නෝරුව, පේරාදෙණිය

කොළඹ නුවර මහා මාර්ගයේ පිළිමතලාව නගරයට ආසන්න ස්ථානයකදී පසුගිය දිනෙක හිමිදිරියේ ලොරි රථයක් නැවතී තිබිණ. එයට සිදුවී ඇති අකරතැබ්බය නම් ඉදිරිපස රෝදයක හුලං බැසීමයි. රාත්‍රියේදී කොළඹ දෙසට එළවලු ගෝනි පටවාගෙන ගමන්කළ ලොරියේ රියදුරුට දැන් කරන්නට ඉතිරිව ඇත්තේ ඉර පෑයූ පසු විවෘත වන ටයර් කඩයක් දකින තුරු කල්මැරීම පමණි. ඔහු සතුව අමතර රෝදයක්ද නොතිබුනා විය හැකිය. වෙලාවේ හැටියට කල්මැරීමට හොඳම ක්‍රමය වන්නේ නම් නිදා ගැනීමයි. කාගේ හෝ නියෝගයකට අවනත වෙමින්, නිදිබර දෑසට වද දෙමින් කල මේ සංචාරයට මේ තරමින් හෝ බාධා පැමිණීමෙන් ලද ආස්වාදය උපරිමයෙන් විඳිමින් රියදුරා හා ගෝලයා දෙපල, සිහින ලෝකයකට පිවිස සිටියහ. අරුමය වන්නේ, උණුසුම් සුසුම් රැල් සීතල පරිසරයට මුදා හරිමින්ද, මුව පත්ලෙන් සිහින් කෙඳිරියක් නගමින්ද, කෙරුණු එම සිහින ලොව චාරිකාවට අවැසි සුව යහන සාදා දී තිබුනේ ලීක්ස් හා මාළුමිරිස් ඇසුරුම් කීපයක් වීමය.

මේ සුව නින්දේ පහස විඳින්නට නම්, දැන් ඉතින් ඉර නොපායනවානම්, ටයර් කඩ විවර නොවෙනවා නම් ඒ තරමට හොඳය. මේ අපගේ එළවලු, පලතුරු ප්‍රවාහන යාන්ත්‍රණයේ ඇතුලාන්තය පෙන්නුම් කල එක සිද්ධියක් පමණි. පසු අස්වනු හානිය 40% ක් ඉක්මවන අපගේ එළවලු නාස්තිය අඩුකිරීම උදෙසා පසුගිය කලෙක පොහොර මලු හෝ ගෝනිවල අසුරාගෙන එළවලු ප්‍රවාහනය කිරීමට එරෙහිව නීති පනවා, එසේ කරන්නවුන්ව නීතිය හමුවට පමුණුවන බවට ‘ලොරි ටෝක්’ දැමුවේත් අප විසින්මය. උඩරට පළාතේ සිට එළවලු අසුරාගෙන කොළඹට පැමිණෙන ප්ලාස්ටික් පෙට්ටි ආපසු ගොවියා වෙත යවාගත නොහැකිව පිටකොටුවේ ගොඩගසාගෙන ඒවා ගිනි තැබුවේත් අප විසින්මය.

කාලගුණය, වනසතුන් පමණක් නොව ඇසට පෙනෙන නොපෙනෙන තරමේ මැස්සන් පනුවන් සමගද සටන් කොට නිපදවාගන්නා එළවලු බෝගයෙන් සැලකියයුතු ප්‍රමාණයක් මෙලෙස අපතේ යාම තවමත් සිදුවේ. ඊට සාක්ෂි සොයන්නට වන අලින්ට එළවලු බෙදන ඉනාමළුවේ රක්ෂිතයට යා යුතු වන්නේ නැත. ඕනෑම සිල්ලර එළවලු කඩයක් ඉදිරිපිටදී හවස් වෙනවිට ගොඩගැසෙන තැලුණු පොඩිවුණු එළවලු තොගය නගනා අඳෝනාව මේ නාස්තිය දකින්නට හොඳ කැඩපතකි. කඩ බක්කියේ ඉතිරිව ඇති නොතැලුනු, පිරිසිදු එළවළුවක් තෝරාගෙන ගෙදර යන පාරිභෝගිකයා පසුපස කොඳුරමින් පැමිණෙන තවත් කනස්සල්ලක් නිසා, ඔහුට උයාගත් බත්පතවත් නිවී හැනහිල්ලේ කන්නට නැත.

කඩෙන් ගෙනා එළවලු පිරිසිදුද, කොහේ වැවූ ඒවාද, ඊයේ පෙරේදා බෙහෙත් ගහලාවත්ද, අපිට නම් මොනවා උනත් මොකෝ පොඩි කට්ටියට අගුණ වෙයිද, යනාදී වශයෙන් වූ නානාප්‍රකාර සිතිවිලි ඔහු වටකර ගෙන පහර දෙයි. යැපුම් කෘෂිකර්මය නමැති වගා රටාව අනුගමනය කල ආචාරශීලී පැරණි ගොවියා, නොදැනුවත්වම පාහේ ගොවිතැනේ සාරධර්ම වලින් ඈතට තල්ලුවී ගියේ, වාණිජ කෘෂිකර්මය විසින් සමාජය වෙලා ගැනීමත් සමගය. තමාට සහ දරුමල්ලන්ට සෑහෙන ගොවිතැනක් කරගන්නා මට්ටමින් එහාට ඔහු යන්නේ සමාජයෙන් කෘෂි නිෂ්පාදන කෙරෙහි තිබෙන ඉල්ලුම ඉහලයාමත්, ගොවිතැනින් පමණක් පසුරාගත නොහැකි සමාජ අවශ්‍යතාවයන් සඳහා යහමින් මුදල් ඉපයීමට අවශ්‍ය වීමත් නිසාත්ය. මේ පරිවර්තනයත් සමගම ඔහු අතින් පාරිසරික, ආර්ථික හා සමාජීය අකටයුතුකම් කීපයක් සිදුවී, කෘෂි නිෂ්පාදන වල ආරක්ෂාව හා ගුණාත්මය ක්‍රමයෙන් හායනය වන බව ලොවටම පෙනීගිය කරුණකි.

වසර 2050 වනවිට ලෝක ජනගහනය බිලියන 9.1 වැනි අගයක් පසුකරද්දී, කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා වන ඉල්ලුම අද මෙන් දෙගුණයක් වන බව ගණන් බලා ඇති තත්වයක් යටතේ මෙම හායනය දිගටම සිදුවුවහොත් කොතනින් නතර වේදැයි සිතීම පවා බියකරුවේ. අපේම දෙයක්ය යන උන්මාදයෙන් වල්මත්ව හෝ හිත තද කරගෙන අසහනයෙන් හා සැකයෙන් යුතුව හෝ මේ අහර වැළඳුවාට, අපෙන් ඒවා මිලදී ගන්නා බලවත් ජාතීන් නම් මේ බියකරු සිහිනය හමුවේ, තමා ගන්නා නිෂ්පාදනය මෙසේ විය යුතුයයි නීති පවා පැනවීමට පසුබට නොවුනි. නිපදවන නැවුම් එළවලු හා පලතුරු, බැක්ටීරියා, දිලීර, වයිරස් වැනි ක්ෂුද්‍රජීවී සතුරන්ගෙන් තොරවිය යුත්තේ කෙසේදැයි ‘යහපත් කෘෂි පිළිවෙත්’ නොහොත් ‘ගැප්’ (Good Agriculture Practices – GAP) වශයෙන් සඳහන්වූ ආචාරධර්ම පද්ධතියක් 2002 වසරේදී සමාජගතවූයේ මෙහි ප්‍රතිපලයක් වශයෙන්ය. නමුත් ඒ වනවිටත්, යුරෝපීය වෙළඳසැල් ජාලයක් මගින් ‘යුරෝපීය ගැප්’ නමින් හඳුන්වාගත් වැඩසටහනක් හරහා ද්‍රව්‍ය මිලදී ගනිමින් තම පාරිභෝගිකයින්ගේ විශ්වාසය තමා කෙරෙහි රඳවා ගැනීමට කටයුතු කරමින් සිටියේය.

මේ අනුව ඇමරිකාවේදී 2002 දී ‘ගැප්’ ක්‍රියාත්මකවීම ඇරඹුනි. බීජයක් රෝපණය කරන අවස්ථාවේ සිටම ක්‍රියාත්මක වන ‘ගැප්’ නිර්නායකයන්, බෝග නඩත්තුව, අස්වැන්න නෙලීම ආදිය හරහා ඇසිරීම ප්‍රවාහනය හා අලෙවිය දක්වාම ක්‍රියාත්මක වන්නේය. ‘ගැප්’ හරියට සිදුවන්නේ නම්, ඒ කිසිදු තැනක ගැප් එකක් නොහොත් හිදැසක් තිබෙන්නට බැරිය. කිසිදු වගවිභාගයක් නැතිව නන්නත්තාරේ වගා කරන පිළිවෙලක් නැති ගොවියෙකුට නම් ‘ගැප්’ වෙත අනුගත වීම තරමක හිසරදයක් විය හැකි වුවත්, අමාරුවෙන් හෝ එම මාවතට පිවිසෙන්නේ නම්, තම නිෂ්පාදනයන් ලෝකයටම නිරාවරණය වූ පසු ලැබෙන සමාජ පිළිගැනීම හමුවේ ඔහු විස්මයට පත්වෙනු ඇත. සරල උදාහරණයකින් ඔහු දිරිමත් කිරීමට අප කැමැත්තෙමු. මෙරටින් යුරෝපීය වෙළඳපොළට යැවෙන විවිධ බෝග වර්ග එහිදී මෑතක සිට දැඩි පරීක්ෂාවට ලක්වන්නේ ඔවුන් ‘ගැප්’ අනුගමනය කරමින් එහි නීතිරීතිවලට අනුව අපගේ නිෂ්පාදන ගැන තොරතුරු හාරා අවුස්සන්නට පටන් ගත් නිසාය. මේ අනුව 2009 දී අපගේ නිෂ්පාදනයන් හැත්තෑ වතාවක්  ප්‍රතික්ෂේප වෙමින් ආපසු හරවා එවන ලදී.

2012 වනවිට ප්‍රතික්ෂේපවීම් වාර ගණන 179 ක් වූ අතර 2014 දී, 190 වරක් අපගේ රට පැටවුම් ආපසු හැරවූයේ ලාංකික එළවලු හා පලතුරු අපනයනකරුවාට ලෝක වෙළඳපොලෙන් අපිරිසිදු සහතිකයක් ලබා දෙමින්ය. මේ අනුව විදෙස් වෙළඳපොළට හරියන්න බෝග හදන්නට අපේ ගොවියාව උනන්දුකිරීම උදෙසා මෙරටදීද ‘ගැප්’ වැඩසටහනකට මුල පිරුණි. පෞද්ගලික අංශයේ නියෝජිතයින් කීප දෙනෙක් විසින් එවකට ලොව දියුණු රටවල ස්ථාපනය වී පැවති ‘ගෝලීය ගැප්’ (Global Gap) හි මූලධර්මයන් මෙහි ක්‍රියාත්මක කරවීමේ බලධරයන් වූ නමුත්, ඔවුන්ගේ පරීක්ෂාවත්, විගණනයත් මිල අධික මෙහෙයුම් වූ නිසා පිටරටට බඩු පටවන්නවුන්ට හැර, දේශීය වෙළඳපොළට එළවලු පලතුරු නිකුත් කරන අයට එවැනි පිරිවැයක් දරමින් තම නිෂ්පාදන සඳහා සහතික ලබා ගැන්මට නොහැකි වුනි.

වසවිස නැතිව වගාකරමු යයි හතර අතෙන් උදේ හවා ඇසෙන මන්තරය අසමින් ගමේ ගොවියා තාගේ පුරුද්දට අනුව දිගටම වගාකළ අතර, වසවිස නැතැයි දෑසින් බලා තීරණය කරමින් පාරිභෝගිකයාද බඩුමල්ල රැගෙන ගෙදර ගියේය. ‘කොළඹට කිරි ගමට කැකිරි’ වැනි යෙදුම් බිහිකර, සමාජයේ සම්පත් බෙදීයාමේ විෂමතාවය හමුවේ සිත සනහාගත යුතු ආකාරය කවුරුන් විසින් හෝ කලින්ම පුරුදු පුහුණු කර තිබූ නිසා, වියන යටින් සැප කෑම රට යැව්වාට අපේ අයගේ හිත රිදුනේද නැත. වසවිස භීතිකාව කෙතරම් දුරට ලාංකික සමාජය තුල ඔඩුදුවා ඇත්දැයි සිතෙන්නේ මගතොටදී අඩියෙන් අඩිය දකින්නට ලැබෙන වසවිසෙන් තොර ආහාර විකුණන බොජුන්හල් හේතුවෙනි. කිසිදු විදෙස් රටක ආපන ශාලාවක තම ආහාරයේ ‘වසවිස’ නොමැතිබව ප්‍රදර්ශන පුවරුවක් හරහා පාරිභෝගිකයාට දන්වා ඇතිදැයි මටනම් සැක සහිතය. අනෙක් අතට එසේ පුවරුවක් නැති බව කියාපාන්නේ ආහාරයේ වසවිස අන්තර්ගත හෝ නොවීම ගැන අදාළ භෝජනාගාරය සැලකිල්ලක් නොදක්වන බවද? මෙරට සැරිසරන විදේශිකයින් මෙම වසවිස සංඥාවේ අරුත හරියාකාරව තේරුම් ගත්තේ නම් ඔවුන් ගොඩවෙන බොහොමයක් අවන්හල් ඔවුනට අපත්‍ය ඒවා බවද කිවයුතුවේ. මන්දයත් ඒ කිසිවක ‘ජනහිතකාමී’ මෙවැනි පුවරු නැති බැවිනි. මේ හැම ජංජාලයකටම හේතුව වන්නේ දේශීය බෝග නිෂ්පාදකයාගේ ආචාරශීලීභාවය කෙමෙන් හායනයට ලක්වී ඇති නිසාත්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වැනි විද්‍යාත්මක රාජ්‍ය ආයතනයක් ලබාදෙන උපදෙසක් හෝ පණිවිඩයක් කෙරෙහි වපර ඇසින් බැලීමට කවුරුන් හෝ ඔවුන්ව මෙහෙයවන නිසාත්ය.    කෙසේ වෙතත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවද තීරණය කෙරුවේ දේශීය ගොවිපොළ නගා සිටුවීමටත්, ඇස්කන් පියාගෙන වසවිස බුදින ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමටත්, රාජ්‍ය මැදිහත්වීමෙන්ද ‘ගැප්’ වැඩසටහන ක්‍රියාත්මක කලයුතු බවයි.

යහපත් කෘෂි පිළිවෙත් පිළිබඳව හඳුන්වාදෙන්නට ඉදිරිපත්වුයේ පේරාදෙණියේ කෘෂිකර්මයේ මහගෙදරම වෙසෙනා නිළදරුවෙකි. කෘෂි ව්‍යාපාර අංශයේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්‍ෂවරයෙකු වන ඔහු ඒ. එස්. එම්. රොෂාන් ය.

“ගොවිපළ විශාල හෝ කුඩා උනත්, පලා තක්කාලි වැනි එළවළු හෝ කොමඩු වගේ පලතුරු නිපදවුවත්, විවෘත ඉඩමේ හෝ පොලිටනල් වැනි දේ ඇතුලේ ගොවිතැන් කලත්, දුර්වල කෘෂිකර්ම පුරුදු නිසා ආහාර වලට හානිකර බැක්ටීරියා ආදිය එකතුවෙලා දූෂණය වෙනවා. මේ වැඩසටහන මුලින්ම විදේශයන්හි පටන් ගත්තේ මේ අහිතකර තත්වයන්ගෙන් මිදිලා ගුණාත්මක ආහාරයක් පාරිභෝගිකයාට ලබා දෙන්නයි. දැන් අපි එය දේශීය පාරිභෝගිකයින්ටත් විවෘතකර තිබෙනවා.”           

මේ අනුව රටේ වෙසෙන ඕනෑම ගොවියෙකුට තමාගේ වගාබිම හෝ ගොවිපල ‘ගැප්’ ගොවිපලක් බවට පත්කරගත හැකිය. මේ සඳහා යහපත් කෘෂි පිළිවෙත් හි ආචාර ධර්මයන්ට ඔහු එකඟ විය යුතුව්. අතීතයේ මෙරට පැවති ගොවිපලක ගති ලක්ෂණ විමසා බලන විට පැහැදිලිවෙන කරුණක් වන්නේ ඒවා කාගේවත් බලපෑමක් හෝ මෙහෙයවීමක් නොමැතිවම මෙම නිර්ණායකයන්ට ළඟාවී සිටි බවය. පළමුවෙන් ගොවිපලට නිශ්චිත මායිමක් හා වැට කඩොලු තිබීම මගින් එය යාබද බිම්කඩෙන් පැහැදිලිව වෙන්වී තිබිය යුතුය. මීළඟට ගොවිපල තුල වැඩකරන අයට භාවිතා කල හැකි පරිද්දෙන් හොඳ සනීපාරක්ෂක පහසුකම් තිබිය යුතුය. බොහොමයක් ගොවිපළවල බෝග තිබුනාට, අස්වැන්න ලැබුනාට මෙම මූලික අවශ්‍යතා දෙක සපුරා නැති බැවින් ‘ගැප්’ ලෙස වර්ගකිරීමට හැකියාව නොලැබේ. යමෙකු තම ගොවිපලට ‘ගැප්’ සහතිකය ලබාගැන්මට අදහස් කරන්නේ නම් ඒ සඳහා අයදුම් කල යුත්තේ තම පළාතේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අනුයුක්තව සේවය කරන කෘෂි ව්‍යාපාර උපදේශක වෙතටය. ඔවුන් ගොවිපල පරීක්ෂාවට පැමිණේවි. ඊට අමතරව පිළිපැදිය යුතු තවත් කාරනා ගණනාවක් පවසාවි. ඒ සියල්ල පිළිගෙන හැඩගැසෙන ගොවියා ‘ගැප්’ ගොවියෙකි. ලෝකයේ ඕනෑම කොනක, මුල්ලක තම ගොවිපලේ නිෂ්පාදනයන් අලෙවිකිරීමේ ලයිසම සහිත ලොව පිළිගත් ගොවියෙකි. බලපත්‍රය ලැබෙන්නේ ගොවිපලටමය. නිකුත් කරන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවය

“කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් ‘ගැප්’ සහතිකය නිකුත් කරන්නේ නොමිලේ. අප සමග එකඟ විය යුතු සම්මුතීන් කීපයක් තිබෙනවා. පලිබෝධ මර්දනය වෙනුවෙන් ඒකාබද්ධ පළිබෝධ මර්දන ක්‍රම භාවිතා කරන්න ඕනෑ. ඒ කියන්නේ වසවිස බෝතල් වලට යන්නේ බැරිමනම් හා අවසානයට පමණයි. දේශීය ක්‍රම, ස්වභාවික සතුරන් මගින් කෘමීන් විනාශ කිරීම, ආදී නොයෙකුත් පරිසර හිතකාමී පිළිවෙත් වලින් මර්දනය කරගන්නට බැරි, වසංගතයක් වගේ ආවොත් තමයි රසායනික පාලනය කරන්නේ. එහෙම කලත් නියමිත කාලය පසුවෙන තුරු අස්වැන්න ගන්න බෑ. පොහොර පවා යොදන්නේ පස් පරීක්ෂා කරලා අවශ්‍යතාවය අනුව. ගොවිපලේ වැඩ කරන අයට බෝවෙන අසනීප එහෙම තියෙන්න බෑ. අස්වැන්න නෙලීම, ඇසිරීම ආදියට පවා නීති තියෙනවා.” රොෂාන්ගේ නීති සංග්‍රහය එක්වරම කියවාගෙන යාමේදී අනේ අපොයි කියවුණත් එහි එතරම් බරපතල දෙයක් නැත. ඉහලින් වියන් බැඳ, පහලට පාවඩ එලා, කටට මුකවාඩම් බැඳගෙන ගොවිතැන් කරන්නට වැනි බැරෑරුම් උපදෙසක් මෙහි අන්තර්ගත නොවේ. පැරණි ගොවියා මහත් ගෞරවයෙන් කෙරූ පිරිසිදු ගොවිතැනේ නව සංස්කරණයක් යයි මෙය හැඳින්වීම වඩාත් සාධාරණ යයි හැඟේ.ගොවිපලට ‘ගැප්’ සහතිකය ලැබුනහොත් එතැන්සිට එහි කටයුතු විටින්විට සොයා බලන්නට නිලධරීන් පැමිණෙනු ඇත. වගාකරු විසින් එදිනෙදා ගොවිපල තුල කලකී දෑ සියල්ල වාර්තා පොතක සටහන් තබා පවත්වා ගතයුතු බැවින්, එය නිලධරීන්ගේ අධීක්‍ෂණයට ලක්වේ.

“බොරු ලියන්න එහෙම බෑ. අපේ විගණනයන්ට අහුවෙනවා.”

රොෂාන් රහස් පරීක්ෂක භූමිකාවකට වුවත් ගොඩවෙන්නට සූදානම් බවක් පෙනේ. සෝදාපාලුවට හසුවී ඇති ගොවිතැනේ සදාචාරයන් ක්‍රමක්‍රමයෙන් හෝ ප්‍රතිස්ථාපනය වනතුරු එවැනි රහස් පරීක්‍ෂකයින් අවශ්‍ය නැතැයි කියන්නටද බැරිය. අස්වැන්න නෙලීමෙන් අවසන් නොවී ඒවා ගබඩාකිරීම, ඇසිරීම හා ප්‍රවාහනය අවසන් වනතෙක්ම ‘ගැප්’ අධීක්‍ෂණය ක්‍රියාත්මක වේ. ගොවිපල තුලම ගබඩා හා ඇසුරුම් පහසුකම් තිබේනම්, ‘යහපත් පරිහරණ පිළිවෙත්’ (Good Handling Practices – GHP) වශයෙන්වූ නිර්නායකයන් පවා වෙනත් රටවල පිහිටි වඩා විශාල ගොවිපල වල ක්‍රියාත්මක වේ. ‘ගැප්’ සහතිකය සහිත වගාබිම් වලින් සාමාන්‍ය ගොවියාගෙන් මිලදී ගන්නවාට වඩා වැඩි මිලක් ගෙවා නිෂ්පාදන මිලදී ගැන්මට ඇතැම් ව්‍යාපාරිකයින් දැන් පෙරට විත් ඇති අතර, සුපිරි වෙළඳසැල් ජාල අතර දැන් දැන් මේ සඳහා තරඟයක් පවා නිර්මාණය වෙමින් පවතිනා බව පෙනෙන්නට තිබේ. එපමණක් නොව ඇතැම් සුපිරි වෙළඳසැල්වල ගැප් නිෂ්පාදනයන් අලෙවිකිරීම පිණිස වෙනම කවුළුවක් පවා විවෘතව පවතී. හැබැයි තවම මිලනම් ටිකක් වැඩිය. මෙම කෘෂි ව්‍යාපාරය දියුණු වෙමින් පවතින රටවල සාමාන්‍ය නිෂ්පාදන හා ‘ගැප්’ නිෂ්පාදන අතර ඇති මිල පරතරය එන්න එන්නම අඩුවෙනු දක්නට ලැබේ. සිදුවිය යුත්තේත් එයමය. නරක ආහාර හෝ අපිරිසුදු ආහාර කියා දෙයක් අප අනුභව කලයුතු නොවේ.

“හැම ‘ගැප්’ වගාකරුවාටම විශේෂිත වූ අංකයක් තියෙනවා ඉලක්කම් 13 කින් සමන්විත. ඔහුගේ හැම නිෂ්පාදන අසුරුමකම මේ අංකය සඳහන්. ඊට අමතරව කිව් ආර් කේතයකුත් ඇසුරුමේ ප්‍රදර්ශනය වෙනවා. ස්මාර්ට් දුරකතනයෙන් මේ කේතය කියවලා ගොවිපොළේ තොරතුරු ලෝකේ ඕනෑම තැනක සිට දැනගැනීමේ හැකියාව පාරිභෝගිකයාට ලැබෙනවා. එම වගාකරු ගැන විස්තර, ඔහුගේ ඡායාරූපය, ගොවිපොළේ තත්වය, වගාකරන දෑ ආදී සියල්ල ඊට ඇතුලත්. මේ නිසා අනිවාර්යයෙන්ම වගාකරු උනන්දුවෙනවා නිවැරදි දේ වෙළඳපොළට යවන්න.”   

සියලු දෑ වේගයෙන් වෙනස් වෙමින් පවතී. මීට දශක කීපයකට එපිටදී, අවන්හල් ඉදිරිපිට වසවිස නැති ආහාර ගැන හෝ ගමේ කෑම ගැන හෝ දැන්වීම් පුවරු දිස්වූයේ නැත. අද එය මෝස්තරයක් සේ පැතිරී ගොසිනි. නැති තැනක් නොමැති තරම්ය. මිනිස් වෙස් ගත් අමනුස්සයින් විසින්ම මිනිසාගේ බත් පතටම වසවිස හෙලීමේ නොහොබිනා කටයුත්ත තව දුරටත් දරා ගත නොහැකිවූ සොබාදහම, ‘ගැප්’ නමැති දරුවා බිහිකර ජනතාව ආරක්ෂා කිරීමට සමාජය මෙහෙයවූවා විය හැකිය. බුදුන් වදාළ දහම අනුව බැලුවත්, කර්ම ශක්තියට අනුව ඇති නැති පරතරය මුලිනුපුටා දැමිය නොහැකිය. එහෙත් ඇති එකාට පිරිසිදු ආහාරත්, නැති එකාට ජරාවත් කැවීමේ සිරිතනම් පෙර කල කර්මයන් නිසා ඇතිවන්නක් නොව, නිවැරදි කරගත හැකි වරදකි. මේ අනුව බලනකල නොමිලේ උපදේශන සේවා සපයමින්, ගොවිපල විගණනය කරමින් ඈත ගම්දනවු හි ගොවිබිම් පවා ‘ගැප්’ වෙත හරවා ගනිමින්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මේ කරන්නේ නම් මහත් පුණ්‍යකර්මයකි. අනාගතයේදී හැම ගොවිපලක්ම ‘ගැප්’ වුවහොත් වසවිස නැති ආහාර බුදින්නට, වේට්ටිය හැඳි, ගමේ සාමෙල් මාමාත්, යුරෝපයෙන් ගොඩබැසි ජොන්සන් අංකලුත් එකම කෑම මේසයේ අසුන්ගන්නවා ඇත. පොල්අතු පියසි, වරිච්චි බිත්ති වැනි දෑ අටවාගෙන, ඒවාට මුවාවී ‘ගමේ කෑම’ හා ‘වසවිස නැති බොජුන්’ විකුණන ඇතැම් කූට කෑම කඩකාරයින්, ජනතාව තමා වෙත ගෙන්වා ගැනීම උදෙසා, වෙනත් වචන සෙට් සොයමින් ශබ්දකෝෂ පෙරලනවාද ඇත.

Recommended For You

About the Author: Editor