ප‍්‍රංශයේ හදවත ගිනි ගෙන දැවෙයි

ප‍්‍රංශයේ ජාතික සංකේතයක් වන නෙත්‍රොදාම් දේවස්ථානයේ Notre Dame Cathedral පෞරාණික කොටස ඊයේ (15) රාත‍්‍රියේ ඇති වූ ගින්නකින් දැඩි සේ හානියට පත් වුවත් එහි තැන්පත් කර තිබූ ජේසුස් වහන්සේගේ කටු ඔටුන්න ඇතුළු පෞරාණික වටිනාකමකින් යුත් භාණ්ඩ කිසිවකට හානි සිදුව නැතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.


දෙව්මැදුරේ වහළයට අයත් කොටසකින් ගින්න හට ගෙන ඇති බවත්, ඒ හේතුවෙන් වහළයේ විශාල කොටසක් ගින්නෙන් විනාශයට පත්ව ඇති බවත් විදෙස් මාධ්‍ය පවසනවා. දේවස්ථානයේ ප‍්‍රධාන සීනුව ද ගින්නෙන් විනාශයට පත්ව තිබෙනවා.
අද (16* උදෑසන වන විට ගින්න පාලනය කළ හැකි වුව ද දේවස්ථානයේ පෞරාණික කොටසට ගින්නෙන් දැඩිව හානි සිදුව තිබෙනවා. දේවස්ථානයේ වහළයේ සිට ඉහළට විහිදෙන ඊතලයක් වැනි කොටස ද ගින්නෙන් විනාශ වී ඇද වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩි දුරටත් සඳහන් කරන්නේ.
ප‍්‍රංශයේ ගිනි නිවන භටයින් 500කට අධික පිරිසක් ගින්න නිවා දැමීම සඳහා එක්ව සිටියා.
ප‍්‍රංශයේ හදවත ලෙස සැලකෙන නෙත්‍රොදාම් දේවස්ථානය ඉදිකර තිබෙන්නේ මීට වසර 850කට පමණ පෙරයි. එහි ගෘහ නිර්මාණ ශිල්පය සහ එහි ඇති සිතුවම් ප‍්‍රංශ ගෘහ නිර්මාණ ශිල්පයේ විශිෂ්ටතම ඒවා අතර සැලකෙනවා.

නෙත්‍රොදාම් දේවස්ථානය වැඳ පුදා ගැනීම සඳහා වසරකට බැතිමතුන් මිලියන 18ක් පමණ පැමිණෙන බව වාර්තා කරන ප‍්‍රංශ ජනමාධ්‍ය, ප‍්‍රංශ 05 වන ජනරජයේ ජනාධිපති චාස්ල් ඩිගොල්, ප‍්‍රංශූවා මිතරෝන් ඇතුළු ජනපතිවරුන් තිදෙනෙකුගේ අවසන් දේව මෙහෙයන් සිදු කළේ ද මෙම දේවස්ථානයේ බව වැඩි දුරටත් සඳහන් කරනවා.

මෙම දේවස්ථානයේ ගින්නෙන් සිදුව ඇති හානි ගැන පරීක්ෂා කිරීම සඳහා ප‍්‍රංශ ජනපතිවරයා සහ අගමැතිවරයා ඇතුළු පිරිසක් එහි පැමිණ තිබෙනවා. එහිදී ජනපතිවරයා පවසා ඇත්තේ නෙතොදාම් දේවස්ථානය යළි තිබූ ආකාරයෙන්ම ප‍්‍රතිසංස්කරණය කිරීම සඳහා සියලූම පියවර ගන්නා බවයි.
දේවස්ථානයේ ඇති වූ ගින්න සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා, ඇමෙරිකානු ජනපතිවරයා, ජර්මන් චාන්සලර්වරිය ඇතුළු රාජ්‍ය නායකයින් රැුසක් තම කනගාටුව ප‍්‍රකාශ කර තිබෙනවා.

ගින්නෙන් කම්පනයට පත් ප‍්‍රංශ ජාතිකයින් දහස් සංඛ්‍යා පිරිසක් මේ වන විටත් දේවස්ථානයට අසලට රැස්ව යාඥා කරමින් සිටින බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.

Recommended For You

About the Author: Editor