මෛත‍්‍රී හයිද්‍රාබද්හි තෑගි තෝරද්දී මහින්ද ඡන්ද කල් යන හේතු කියයි

සිංහල අලූත් අවුරුද්දේ තවත් සුවිශේෂ චාරිත‍්‍රයක් වන හිස තෙල් ගෑමේ ජාතික මහෝත්සවය පැවැත් වුණේ කළුතර බෝබුවල රජ මහා විහාරයේදීයි. ඒ සඳහා ප‍්‍රධාන අමුත්තන් ලෙස ජනපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා සහභාගී වන බව නිල වශයෙන් ප‍්‍රකාශයට පත් කර තිබුණත් ආණ්ඩුවේ ප‍්‍රබලයින් දෙදෙනාම ඒ සඳහා සහභාගී වුණේ නැහැ. ඇමැති රාජිත සේනාරත්ත ඒ සඳහා පැමිණ සිටියා.

මේ අතර ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා (16) උදෑසන හදිසියේම දෙදින පුද්ගලික සංචාරයක් සඳහා දකුණු ඉන්දියාවේ තිරුපති කෝවිල වන්දනා කිරීම සඳහා පිටත්ව යාම දේශපාලන අංශවල සේම පොදු ජනතාව අතරත් දැඩි කතා බහට ලක් වුණා. සිංහල අලූත් අවුරුද්දේ චාරිත‍්‍ර සම්පූර්ණ කිරීමටත් පෙර ජනපතිවරයා ගත් මේ පියවර ගැන ජනතාව තුළ තිබුණේ යම්කිසි නොමනාපයක්.

දේශපාලන සහ සමාජ මාධ්‍යවල දැඩි විවේචන මධ්‍යයේ වුණත් ජනපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ දෙදින දකුණු ඉන්දීය සංචාරය සම්බන්ධයෙන් ඉන්දීය මාධ්‍ය දැඩි අවධානයක් යොමු කර තිබෙන බවක් නිරීක්ෂණය වුණා. ඔවුන් ජනපතිවරයාගේ ගමන් බිමන් පවා මහත් උනන්දුවෙන් වාර්තා කළා.

ඊයේ තිරුමාලා නගරයේ සංචාරය කළ මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පිරිස අද (17) තිරුපති දේවාලය වන්දනා මාන කර ගෙන ඡුායාරූපවලට ද පෙනී සිටි බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා. ඒ අතර ඔවුන් වැඩි දුරටත් වාර්තා කළේ ජනපතිවරයා තිරුමාලාහි සංචාරය කරන අතරතුර තම ඥාතී මිත‍්‍රාදීන්ට තෑගි බෝග ද මිලදී ගැනීමට අමතක නොකළ බවයි. (17) ජනපති මෛත‍්‍රී හයිද්‍රාබාද් නගරයේ ද සංචාරය කරනු ඇතැයි ඉන්දීය මාධ්‍ය වැඩි දුරටත් පවසා තිබුණා.

මහින්ද ආණ්ඩුව ඡන්දේ කල්දාන හේතුව කියයි

සිංහල අලූත් අවුරුදු දින කිහිපය තංගල්ල කාල්ටන් නිවසේ ගත කළ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා 16 දා රාත‍්‍රියේ කතරගම කිරිවෙහෙර සහ කතරගම දේවාලය වැඳ පුදා ගෙන ආශිර්වාද ලබා ගත්තා. මුලින්ම කිරිවෙහෙර වැදපුදා ගත් මහින්ද රාජපක්ෂ මහතා පසුව කතරගම දේවාලය වෙත පැමිණ ආශිර්වාද ලබා ගත්තා.

මේ සමග සුපුරුදු ලෙස මාධ්‍යවේදීන් කිහිප දෙනෙක් ද විපක්ෂ නායකවරයාව වටකර ගත්තා. ඔවුන්ට ප‍්‍රශ්නයක්ව තිබුණේ පළාත් සභා මැතිවරණය දිගින් දිගටම කල්දැමීමයි. ඒ ගැන මහින්දගෙන් ප‍්‍රශ්න කළ මාධ්‍යවේදීන්ට මහින්දගෙන් ලැබුණේ මෙහෙම පිළිතුරක්.

‘‘නැහැ… නැහැ… පළාත් සභා මැතිවරණය පවත්වන්න මේ ආණ්ඩුවට කිසිම බලාපොරොත්තුවක් නැහැ. මොකද ආණ්ඩුවට අවශ්‍ය නැහැ පළාත් සභා ඡුන්දය තියලා පරදින්න’’ මහින්ද සුපුරුදු ලෙස උත්තර දුන්නා.

හිස තෙල් ගෑමේ චාර්ත‍්‍ර යෙදී තිබූ (17) මහින්ද රාජපක්ෂ මහතා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා බෙල්ලන්විල රජමහා විහාරයට පැමිණ හිස තෙල් ගෑමේ උත්සවයට එක් වුණා. එහිදී ආගමික වතාවත්වලින් පසු හිසතෙල් ගෑමට එක් වූ මහින්ද සහ ගෝඨා පසුව බෙල්ලන්විල හස්තියාට පලතුරුවලින් සංග‍්‍රහ කළා.

මේ චාරිත‍්‍ර ඉටු කර විහාරයෙන් එළියට පැමිණෙමින් සිටි මහින්දව සහ ගෝඨාව සුපුරුදු ලෙස මාධ්‍යවේදීන්ගේ ප‍්‍රශ්න කිරීම්වලට ලක් වුණා.

‘‘අජිත් පී පෙරේරා කියලා තියෙනවා ආණ්ඩුව පෙරළන කුමන්ත‍්‍රණයක් තියෙනවා කියලා’’ මාධ්‍යවේදීන් මහින්දට කැමරාව යොමු කරමින් ඇසුවා.

‘‘කුමන්ත‍්‍රණ නැහැ. මේ ආණ්ඩුව පෙරළන්න අපි හැම වෙලාවේම සූදානමින් ඉන්නේ. පළාත් සභා ඡන්දය, මහ මැතිවරණය වගේම ජනාධිපතිවරණයත් අපි ඉතාම පහසුවෙන් ජයග‍්‍රහණය කරනවා. බදුබර, ලයිට් කපනවා, වතුර නැහැ. මට අද තල්පාවලින් ආපු හාමුදුරු කෙනෙක් කිව්වා අවුරුදු දවසෙත් උදේ 9ට වතුර කැපලා නැවත දුන්නේ හවස 3ට විතර කියලා. බලන්න අවුරුද්ද දවසෙත් වතුර කපනවා. අවුරුද්ද දවසෙත් මිනිස්සු වින්ඳ දුක. මේ තත්ත්වය තුළ රටේ ජනතාව වේලාව එනකම් බලාගෙන ඉන්නවා. මේ ආණ්ඩුව ඒකාධිපතීත්වයට යමින් ඉන්නේ …’’ මහින්ද උත්තර දුන්නා.

‘‘ජනාධිපති අපේක්ෂකයා තාම නිල වශයෙන් ප‍්‍රකාශයට පත්කරලා නෑ. අද ඇවිත් ඉන්නේ එතුමාද ?‘‘ මාධ්‍යවේදියෙක් මහින්දගෙන් ප‍්‍රශ්න කළා.

‘‘නෑ… නෑ. අපි තීන්දුවක් ගන්නේ සියලූ පක්ෂ එකතු වෙලා. ස්ථිරවම ජයග‍්‍රහණය කරන්න පුළුවන් පුද්ගලයා තමයි අපි ඉදිරිපත් කරන්නේ ’’ මහින්ද ගෝඨාභය දෙස සිනාසෙමින් බලමින් උත්තර දුන්නා.

Recommended For You

About the Author: Editor