ලෝක කුසලානට යන කණ්ඩායම නම් කිරීමෙන් පසු…

ලෝක කුසලාන තරගාවලියට යන ශ‍්‍රී ලංකා කණ්ඩායම ඊයේ (18) නිල වශයෙන් ප‍්‍රකාශයට පත් කළා. ඒ පත් කිරීම සමග පසුගිය මාස කිහිපය පුරාම ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම සහ ක‍්‍රිකට් පරිපාලනය තුළ පැවැති අසහනය වගේම මත ගැටුම් යළි යළිත් එළියට එමින් තිබෙනවා. මෙය කිසිසේත්ම ක‍්‍රිකට්වල අනාගතයට සුදුසු නැති බවයි ක‍්‍රිකට් ලෝලීන්ගේ නම් පොදු අදහස වන්නේ. ඒ ක‍්‍රිකට් ක‍්‍රීඩා විචාරකයින් යැයි කියා ගන්නා පුද්ගලයින් මොන මොන කතා කීවත් මෙරට ජනතාවට නම් අවශ්‍යව තිබෙන්නේ ශ‍්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලානය නැවත මවුබිමට රැුගෙන එනවා දකින්නයි. ඒ නිසා ඔවුන් ඉල්ලා සිටින්නේ තම තමන්ගේ කිල්ලෝටවල හුණුයි, අනුන්ගේ ඇස්වල පොල් පරාලයි හොයන්නේ නැතිව එකාවන්ව එක්වෙලා ලෝක කුසලානයට සාර්ථකව මුහුණ දෙන්න කියලයි.

ඒ මෙරට පේ‍්‍රක්ෂකයින් හිතන – පතන විදිහ. ඒ වුණත් මේ රටේ දේශපාලන කරළිය තරම්ම උණුසුම් ක‍්‍රිකට් කරළියේ ඇතුළ කතාව අපි හිතන තරම් සුන්දර නැහැ වගේම නරකත් නැහැ. මේ ලෝක කුසලානයට යන ශ‍්‍රී ලංකා සංචිතය තේරා ගැනීමෙන් පසු ක‍්‍රිකට් කරළිය උණුසුම් කළ කතා ටිකක්.

අපේ දුර්වලතා හදා ගෙන අවසන්
දිමුත් කරුණාරත්න – නව එක්දින කණ්ඩායම් නායක

වසර හතරකට පසුව ශ‍්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායකත්වය සමග ලෝක කුසලානයට යන එක්දින සංචිතයට එක් වූ දිමුත් කරුණාරත්නට තමා ගැන වගේම ලෝක කුසලානය ගැනත් කියන්න කතා බොහෝමයක් තිබෙනවා. ඊයේ (18) පැවැති මාධ්‍ය සාකච්ඡුාවේදී දිමුත් මෙහෙම කතාවක් කළා.

‘‘ මම 2015 න් පස්සේ ජාත්‍යන්තර එක්දින තරගවලට ක‍්‍රීඩා නොළත් දේශීය එක්දින තරගාවලි හැම එකකම මම පළමු පිතිකරුවන් පස් දෙනා අතර හිටියා. නමුත් මම දිගටම ජාත්‍යන්තර ටෙස්ට් තරගවලට සහභාගී වුණා. පසුගිය කාලයේ අපේ මුල්පෙළ පිතිකරුවන් ඉක්මනින් දැවී ගියාම හයියෙන් ගහන පිතිකරුවන්ට පීඩනය වැඩියි. නමුත් දැන් අපි බලන්නේ පළමු පිතිකරුවන් තුන් හතර දෙනා එකතු වෙලා පන්දු වාර 30ක් විතර හොඳට අඩිතාලමක් සකස් කරන්න. පළාත් තරගාවලියේදී අපි ඒක කළා. මොකද ඕවර් 30කදී කඩුළු දෙකක් බිඳ වැටිලා ලකුණු 130ක් ගැහුවත් අන්තිම ඔවර් 20දී අපි ලකුණු 200-220ක් ගැහුවා. තරග දිනන්න නම් ලකුණු 300ට වැඩියෙන් ගන්න ඕනෑ. මට හම්බ වෙලා තිබෙන කණ්ඩායම හොඳට ක‍්‍රීඩා කළ කණ්ඩායමක්. මම බලාපොරොත්තු වෙනවා ඔවුන්ගේ දක්ෂතා, ඒ වගේම ලෝක කුසලානයේදීත් දක්වයි කියලා. මේකේ ෆොමැට් එක විතරයි වෙනස් වෙන්නේ ’’ දිමුත් තමන්ගේ කතාව ආරම්භ කරමින් කිව්වා.

තව දුරටත් කතා කළ දිමුත්, ‘‘මම දකුණු අප‍්‍රිකාවේදී ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය බලාපොරොත්තු වුණේ නැහැ. නමුත් ඒක ලැබුණම භාර ගෙන මම හොඳට කළා. එක්දින නායකත්වයත් මම බලාපොරොත්තු වූ දෙයක් නෙමෙයි. එතනට මම සුදුසු නිසා කියලා හිතන හින්දා මට දැන් ඒ නායකත්වය ලැබිලා තියෙනවා. අපිට සැලසුම් හදන්න වෙන්නේ එංගලන්තයට ගිහිල්ලා. දැන් කරන්න තියෙන්නේ කණ්ඩායමක් විදිහට සහයෝගයෙන් වැඩ කරන එක’’ විශ්වාසය සහ අපේක්ෂාව ඇතිව තමන්ගේ පැත්තෙන් කළ යුතු කතාව, තමන් හරි යැයි විශ්වාස කරන කතාව කළා.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු සහ කළමනාකරු සම්බන්ධයෙන් ද පසුගිය කාලය පුරා විවිධ කතා තිබුණා. මෙවර ලෝක කුසලානයට යන ශ‍්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු වශයෙන් ද පත්කර තිබෙන්නේ ක‍්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති අසන්ත ද මැල් මයි. පුහුණුකරු වශයෙන් චන්දික හතුරුසිංහව පත්කර තිබෙනවා. දිමුත් මේ ගැනත් කතා කළා.

‘‘පුහුණුකරුත් එක්ක එකතු වෙලා සැලසුම් හදන්න ඕනැ. ඔහු තමයි ක‍්‍රීඩකයින් ගැන හුඟක් දන්නේ. හැම දෙනාගේම සහාය ඇතිව තමයි තරගයට කණ්ඩායම තෝර ගන්නේ. හැමෝම සියයට සියයක් දෙන්න උත්සාහ කළත් අසාර්ථක වන වේලාවල් තියෙනවා. අපේ අතපසුවීම් තිබුණා. පසුගිය පළාත් තරගාවලියේදී අපි ඒවා හදා ගත්තා’’ දිමුත් දැඩි අධිෂ්ඨානයක් ඇතිව ප‍්‍රකාශ කළා.

කණ්ඩායම සමබර කළ යුතුයි – අසන්ත ද මැල්

නායක දිමුත්ගෙන් පසු වැඩිම අවධානයක් යොමු වුණේ අසන්ත ද මෙල්, තේරීම් කමිටුවේ සභාපතිවරයා සහ ලෝක කුසලානයට යන කණ්ඩායමේ කළමනාකරු වශයෙන් දැක් වූ අදහස්වලටයි. මොකද ක‍්‍රීඩකයින් ගැන හොඳටම දන්නේ ඔහුයි.

‘‘අපි මේ කණ්ඩායම නම් නම් කළේ, විශේෂයෙන් තුන් ඉරියව් ක‍්‍රීඩකයින් ගැනත් බලලා. මොකද කණ්ඩායම සමබර කරන්නත් ඕනෑ. ධනංජය සිල්වාට පන්දු යවන්නත් පුළුවන්, ඔහුට පිතිකරුවෙක් වශයෙන් ක‍්‍රීඩා කරන්නත් පුළුවන්. චන්දිමාල්ට කණ්ඩායමේ තැනක් නැහැ. ඔහුට ඒ නිසා ස්ථානයක් දෙන්න බැහැ. අකිල ධනංජල පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි කර ගැනීමෙන් පසුව හොඳට කරන්නේ නැහැ. එයාට වැඩිය හොඳට ධනංජය ද සිල්වා පන්දු යවනවා. අකිල ලකුණු 50කට කඩුල්ලක් දවා ගන්න කොට ධනංජය ලකුණු 25කට කඩුල්ලක් දවා ගන්නවා පිටදඟ පන්දු යවන්නෙක් විදිහට ධනංජය හොඳයි. අනික පාදඟ පන්දු යවන්න ජෙෆ්රි වැන්ඩ‍්‍රසි වගේම ජීවන් මෙන්ඩිස් ඉන්නවා. මේ සංයුතිය ගළපා ගැනීම නායකයාගේ වගකීමත අපි මේ තරගාවලියේ උප නායකයෙක් පත් කළේ නැහැ. ඒක තරගයෙන් තරගයට බලපානවා’’ අසන්ත ද මෙල් කිව්වා.
මේ අතර නිරෝෂණ දික්වැල්ල තෝරා නොගැනීම සම්බන්ධයෙන් ක‍්‍රීඩා මාධ්‍යවේදීන් අතර පැවැති කුකුසකට ද අසන්ත පිළිතුරු දුන්නා.

‘‘අපි බැලූවා දික්වැල්ලට අවස්ථාව දීලා. ඔහු දකුණු අප‍්‍රිකාවේදී පළමු පන්දු වාර කිහිපයේදී හැම තරගයකදීම දැවී ගියා. ධනුෂ්ක ගුණතිලක ආබාධයෙන් පස්සේ හරි රිද්මයට ඇවිත් නැහැ. ඒ නිසා අපිට අලූත් ආරම්භක පිතිකරුවන් අවශ්‍ය වුණා. කුසල් පෙරේරා කඩුළු රකින්නා වශයෙන් ක‍්‍රීඩා කරන විට ආබාධ එන්නේ නැහැ කියලා භෞතවිකිත්සක කිව්වා. ඒ නිසා එයාටත් ආරම්භක පිතිකරුවා වශයෙන් කටයුතු කරන්න පුළුවන්’’ අසන්ත ද මෙල් ප‍්‍රකාශ කළා.

මේ සමග පහසුවෙන් බැහැර කළ නොහැකි ලසිත් මාලිංග පිළිබඳ ගැටලූව ගැන ද අසන්ත ද මෙල් කතා කළා.

‘‘මම ලසිත් මාලිංග එක්ක විනාඩි 30ක් විතර දුරකථනයෙන් කතා කළා. මම කිව්වා, ඔයා අපේ ලෝක කුසලාන සංචිතයේ ඉන්නවා. නමුත් නායකත්වය ඔයාට දෙනවද නැද්ද කියලා තවම තීරණය කරලා නැහැ කියලා. පස්සේ එයාගේ තීරණය කණ්ඩායම නම් කළාට පස්සේ කියන්නම් කියලා කිව්වා’’

මෙහිදී අසන්ත ද මෙල් කියා සිටියේ, මාලිංගට කණ්ඩායම එකත තබාගත නොහැකි නිසා ඔහුව නායකත්වයෙන් ඉවත් කළ බවයි.

‘‘අපි, එක රටක් – එක කණ්ඩායමක් වශයෙන් තේමා පාඨය තිබුණාට ඒක එහෙම වුණේ නැහැ. දකුණු අප‍්‍රිකාවේදී පෙන්නුම් කළා දිමුත් කරුණාරත්නට කණ්ඩායම එකතු කරන්න පුළුවන් කියලා. ලසිිත් මාලිංගගේ නායකත්වය සම්බන්ධයෙන් මට කිසිම ගැටලූවක් නැහැ. නමුත් මාලිංග නායකයෙක් ලෙස ඉදිරියෙන් ගියාට ඉතුරු දහ දෙනා එකට පස්සෙන් යන්නේ නැහැ. මට මාලිංගගේ නායකත්වය ගැන වැරැුද්දක් කියන්න බැහැ. නමුත් එයාගේ තියෙන අඩුව තමයි කණ්ඩායම එකට තියා ගන්න බැරි එක. සමහර හේතු එයාටත් බේර ගන්න බැහැ. තේරීම් කමිටුව හැටියට අපිට ඉතිං තීන්දුවක් ගන්න සිද්ධ වුණා දිමුත්ට ඒ හැකියාව තියෙනවා කියලා. මොකද, දිමුත්ට කණ්ඩායම එකට තියා ගන්න පුළුවන් කියන පණිවුඩය ඔහු දකුණු අප‍්‍රිකාවේදී පෙන්නුවා. ඒ වගේම තමයි, ලසිත් මාලිංගට නායකත්වය ලබාදීමට තීරණය කිරීමට අපි තරග 12ක් ලබා දුන්නා. ඒත් ඔහු ඒ සියල්ල පරාජයට පත් වුණා. ඒත් ඒ සියල්ල පරාජයට පත් වුණේ මාලිංග නිසාම නෙමෙයි. ඒත් මාලිංගට වගකීමක් තියෙනවා කණ්ඩායම එකතු කරගන්න. මාලිංගගේ දැනුම ඉතාම හොඳයි. ඒත් ඔහුට තියෙන ප‍්‍රශ්නය වන්නේ කණ්ඩායම එකතු කර ගැනීමට නොහැකිවීමයි’’ අසන්ත ද මෙල් මාලිංගව නැවත නායකත්වයට පත් නොකිරීමට හේතුවූ කරුණු දීර්ඝ ලෙස පැහැදිලි කළා.

මාලිංග ගියේ නැහැ කියලා අපි ලෝක කුසලානෙට නොගිහින් ඉන්නේ නැහැ – ෂම්මි සිල්වා, සභාපති

ෂම්මි සිල්වා, ඔහු තමයි ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සභාපතිවරයා. ලෝක කුසලානයට යන ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට දිමුත් කරුණාරත්න පත් කිරීම සමග උද්ගතව ඇති ‘‘මාලිංග සාධකය’’ ගැන ඔහු දැඩි ප‍්‍රකාශයක් කළා.

‘‘ලසිත් මාලිංග ලෝකයේ ඉන්න හොඳම පන්දු යවන්නෙක්. ඔහුට අයි.පී.එල්. තරගාවලිය අවසන් වනතෙක් ක‍්‍රීඩා කරන්නත් අවසර දීලා තියෙනවා. හැබැයි හොඳ ක‍්‍රීඩකයෙක් හැම විටම හොඳ නායකයෙක් වෙන්නෙත් නැහැ. හොඳ නායකයෙකු හොඳ ක‍්‍රීඩකයෙක් වෙන්නෙත් නැහැ. මම බලාපොරොත්තු වෙනවා රට වෙනුවෙන් හිතලා මාලිංග ලෝක කුසලානයට යයි කියලා’’ ෂම්මි සිල්වා තම අදහස් ඒ ආකාරයෙන් ප‍්‍රකාශ කරද්දී කී‍්‍රඩා ජනමාධ්‍යවේදීන්ටත් ප‍්‍රශ්න තිබුණා. අදහස් තිබුණා. ඒ අතර ‘‘මාලිංග ක‍්‍රීඩා පිටියෙන් සමුගැනීමට සූදානම්’’ වශයෙන් විවිධ කට කතාත් තටු ආවා වාගේ ප‍්‍රචාරය වෙමින් තිබුණා.

මේ ගැන ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සභාපතිවරයා වශයෙන් ෂම්මි සිල්වා ගන්නා වූ පියවර කුමක් දැයි මාධ්‍යවේදීන් ප‍්‍රශ්න කළ විට ඔහු දුන්නේ මෙවැනි පිළිතුරක්.

‘‘මම ක‍්‍රිකට් සභාපතිවරයා කියලා මම මැරුණොත් ඕන තරම් කට්ටිය හිටියි මේ තැන ගන්න. ඒ වගේම තමයි මාලිංග යන්නේ නැතිනම් එයාගේ තැන ගන්න ඕන තරම් ක‍්‍රිකට් ක‍්‍රීඩකයෝ අපේ රටේ ඉන්නවා. මාලිංග ගියේ නැහැ කියලා අපි ලෝක කුසලානෙට නොගිහින් ඉන්නේ නැහැ. රට වෙනුවෙන් මාලිංග තීරණයක් ගත යුතුයි. අපි මාලිංගට නායකත්වය දුන්නේ නැහැ කියන එකට හරි ඔහු ඇවිල්ලා හොඳට ක‍්‍රීඩා කරයි කියලා මම විශ්වාස කරනවා’’ ෂම්මි සිල්වා සැර වගේ තද පිළිතුරක් දුන්නා.

දිමුත්, අසන්ත, ෂම්මි ඇතුළු සියලූ පාර්ශ්ව තම තමන්ගේ පැත්තෙන් කතා කියද්දී ලසිත් මාලිංගටත් කළ යුතු කිව යුතු කතාවක් තිබුණා. මේ දිනවල ඉන්දීය අයි.පී.එල්. තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් වෙනුවෙන් සුපිරි පන්දු යැවීමක නිරතව සිටි මාලිංග තමන්ගේ හඬ අවධි කළා.

මම කණ්ඩායමේ ඉන්න ඕන ද ? නැද්ද ? තීරණය කරන්න ඕනැ ඒ අයම තමයි – ලසිත් මාලිංග

‘‘මට කණ්ඩායමේ කට්ටිය සහයෝගය දෙන්නේ නැහැ කියලා ක‍්‍රිකට් ආයතනයේ කට්ටිය ප‍්‍රසිද්ධියේම කියනවා නම් මම කණ්ඩායමේ ඉන්න ඕන ද ? නැද්ද? තීරණය කරන්න ඕනැ ඒ අයම තමයි. මොකද මම ඉන්න එක ඔවුන්ට ප‍්‍රශ්නයක් නම් මම අයින් වෙනවා. ක‍්‍රීඩකයෙකු විදිහට, ඒ අය කියන ආකාරෙට මම තනි වෙනවා. නමුත් මට ඒවා ප‍්‍රශ්න නෙමෙයි. මට නායකයා සහ පුහුණුකරුවා කවුද කියන එකත් ප‍්‍රශ්නයක් නෙමෙයි. ඒ හින්දා මම ලෝක කුසලානෙට යන එක ප‍්‍රශ්නයක් ද නැද්ද කියලා මම ශ‍්‍රී ලංකා ක‍්‍රිකට්වලින්ම අහලා තීන්දුවක් ගන්නවා’’ මාලිංග අවසාන වශයෙන් තමන්ගේ තීන්දුව ගැන කිව්වා.

අද (19) මාලිංග තමන් ගැන අවසන් තීන්දුවක් ගන්න පුළුවන්. මේ ගැන ජනමාධ්‍ය අතර, සමාජමාධ්‍ය අතර එක එක කතා පැතිරෙනවා. ඒත් අවසාන තීන්දුව ගන්නේ මාලිංගම බව ඉතාම පැහැදිලියි.

ලෝක කුසලානේ තරග සැබැහින් දැක ගන්න වාසනාව නැති මේ රටේ අති බහුතරයක් ක‍්‍රීඩා ලෝලීන්ට තියෙන්නේ රූපවාහිනි තිරය ඉදිරියේ සිට ඒ තරග නරඹන්න විතරයි. මොකද ඔවුන් හැමදාම, හැම තැනම පේ‍්‍රක්ෂකයෝ විතරයි.

සටහන – කසුන් ප‍්‍රබෝධ සමරවීර

Recommended For You

About the Author: Editor