ශී‍්‍ර ලංකාවේ මුල්ම සමාජවාදී මන්තී‍්‍රවරයා දොස්තර එස්. ඒ. වික‍්‍රමසිංහ

2019 අපේ‍්‍රල් මස 13 වන දිනට යෙදෙන 118 වන උපන් දිනය නිමිත්තෙනි.
 
1901 අපේ‍්‍රල් මස 13 වැනිදා මාතර අතුරැලියේ නස්නාරන්කැටිය වලව්වේ දී උපත ලැබූ සුගීශ්වර අබේවර්ධන වික‍්‍රමසිංහයන් අධ්‍යාපන කටයුතු ආරම්භ කළේ සිය ගමේ පාසලේදී ය. අනතුරුව ගාල්ල මහින්ද විද්‍යාලයෙන් සහ කොළඹ ආනන්ද විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලැබීය. 1926 දී වැඩිදුර අධ්‍යාපනය සඳහා එංගලන්තය බලා ගිය ඔහු ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය ලබා ගත්තේ ය.
 
එංගලන්තයේ සිටි කාලයේ දී දොස්තර එස්. ඒ. වික‍්‍රමසිංහ, එන්. එම්. පෙරේරා, කොල්වින් ආර් ද සිල්වා, ලෙස්ලි ගුණවර්ධන, ඇමරිකාවේ අධ්‍යාපනය හදාරමින් සිටි පිලිප් ගුණවර්ධන යන ශිෂ්‍යයන් අතර ඔහු කැපී පෙනෙන චරිතයක් වූ මෙම ශිෂ්‍යයන් විසින් පිහිටුවනු ලැබූ ලංකා ශිෂ්‍ය සංවිධානය දේශපාලන සාකච්ඡා සඳහා වේදිකාවක් විය. එහි ලේකම් ලෙස කි‍්‍රයා කළේ දොස්තර වික‍්‍රමසිංහයන් ය. බි‍්‍රතාන්‍ය යටත් විජිත පාලකයන්ගේ ආණ්ඩුක‍්‍රම ප‍්‍රතිසංස්කරණ යෝජනා ගැන හා ඒ වන විට ලංකාවේ ජාතික ව්‍යාපාරයේ නායකයන් බි‍්‍රතාන්‍ය යටත් වජිත පාලනය ගැන දැරූ සුවච කීකරුභාවය ගැන මෙම තරුණ පිරිසගේ දැඩි කනස්සල්ලට හේතු විය. මේ සඳහා වැදගත් බාහිර දේශපාලන බලපෑම් දෙකක් විය. ඒ ඉන්දියානු, නිදහස් ව්‍යාපාරය හා 1917 ඔක්තෝබර් විප්ලවයෙන් බිහි වූ ප‍්‍රථම සමාජවාදී සෝවියට් සංගමයේ ශීඝ‍්‍ර සංවර්ධනයයි.
 
ලංකා ජාතික සංගමයේ නායකයන් පූර්ණ දේශපාලන නිදහස සඳහා අධිරාජ්‍යවාදය සමඟ ගැටුනේ නැත. ඒ වෙනුවට යෝජනා කළේ ඩොමීනියන් තත්ත්වයේ බලය බෙදා ගැනීමකි.
 
1929 දොස්තර වික‍්‍රමසිංහ ලංකාවට පැමිණියේ එංගලන්ත කම්කරු ව්‍යාපාරය හා කොමියුනිස්ට් පක්‍ෂය සමඟ සම්බන්ධතා ඇතිකරගෙනය. ටික දිනක් ඉන්දියාවේ නතර වී සිට මහත්මා ගාන්ධි, ශී‍්‍ර නේරු වැනි නායකයන් හමු වී භාරතයේ ජාතික නිදහස් අරගලය පිළිබඳ අවබෝධයක් ලබා ගත්තේය.
 
ප‍්‍රථම සමාජවාදී මන්තී‍්‍රවරයා
 
ලංකාවට පැමිණ වර්ෂ දෙකකට පසුව ඩොනමෝර් ආණ්ඩුක‍්‍රමය යටතේ 1931 දී පැවැති රාජ්‍ය මන්ත‍්‍රණ සභා මැතිවරණයට ඉදිරිපත් වූ එකම සමාජවාදී අපේක්‍ෂකයා වූයේ දොස්තර එස්. ඒ. වික‍්‍රමසිංහයන්ය. ජාතික සංගමයෙන් ඉදිරිපත් වූ අපේක්‍ෂකයා වූ එස්. සී. ඞී. අබේගුණවර්ධන වැඩි ඡන්ද 3421 න් පරාජය කර ප‍්‍රථම සමාජවාදී මන්තී‍්‍රවරයා ලෙස රාජ්‍ය මන්ත‍්‍රණ සභාවට තේරී පත් විය. ඔහු ලැබූ ඡන්ද සංඛ්‍යාව 10,748 කි. එස්. සී. ඞී. අබේවර්ධන 7327 ක් ලබා ගත්තේය. රාජ්‍ය මන්ත‍්‍රණ සභාවේ ලාබාලම මන්තී‍්‍රවරයා වූයේ දොස්තර වික‍්‍රමසිංහයන්ය. එකල යටත් විජිත පාලකයන් විසින් ගෙන ගිය අධ්‍යාපන ප‍්‍රතිපත්තියට නිර්ධය ලෙස පහර දුන් වික‍්‍රමසිංහයන් සෑම දරුවකු සඳහාම වාර්ෂිකව අධ්‍යාපනය වෙනුවෙන් වැය කරන මුදල ප‍්‍රමාණවත් නොවන බව පෙන්වා දුන්නේය. පාසල්වල ස්වභාෂාවෙන් ද්විතීය අධ්‍යාපනය නොදීම පිළිබඳව හා දුෂ්කර ප‍්‍රදේශවල පාසල් ආරම්භ කළ යුතු බවත් ජාතික අධ්‍යාපන ක‍්‍රමයක අවශ්‍යතාව ගැන ප‍්‍රබල හඬක් නැඟීය. 1932-33 වර්ෂවල පරම විඥානාර්ථ බෞද්ධ සමිතියේ පාසල්වල සාමාන්‍යාධිකාරි ලෙස ඔහු අධ්‍යාපනය වෙනුවෙන් ඉටුකළ මෙහෙය ඉමහත්ය. එකල ස්වභාෂා ගුරුවරයකුගේ මාසික වැටුප රුපියල් 5 ක් වන විට ඉංගී‍්‍රසි ගුරුවරයකුගේ වැටුප රු. 10 ක් විය.
 
1932-34 වර්ෂවල ලංකාවේ පැතිරී ගිය මැලේරියා වසංගතයේ දී ඔහු අනිකුත් වමේ නායකයන් සමඟ ඉටුකළ මෙහෙය විශේෂයෙන් සටහන් කළ යුතුය. 1933 ආරම්භ වූ සූරිය මල් ව්‍යාපාරයේ ප‍්‍රබල සාමාජිකයකු වශයෙන් ඇන්. ඇම්. පෙරේරා, පිලිප් ගුණවර්ධන, ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා ආදී වමේ නායකයන් සමඟ ඔහු කටයුතු කළ අතර සූරිය මල් ව්‍යාපාරයේ සභාපතිනිය වූයේ ඔහුගේ බිරිඳ වූ ඩොරින් වික‍්‍රමසිංහ මහත්මියයි.
 
1940 පෙබරවාරි මස අගදී ලංකා සමසමාජ පක්‍ෂයේ විධායක සභාවට ගෙන ආ යෝජනාවක් අනුව ඇති වූ න්‍යායාත්මක මතභේදයක් මුල්කරගෙන දොස්තර වික‍්‍රමසිංහයන් ඇතුළු විධායක සභාවේ පස්දෙනකු ඉවත් කරන ලදී. එම පිරිස් කම්කරු සමාජය නමින් කොළඹ නගරයේ හා ආසන්නව පිහිටි තේ, පොල්, රබර්, ඇසුරුම් කම්කරුවන් හා ඉංජිනේරු කර්මාන්ත කම්කරුවන් සංවිධානය කළහ. පසුව 1940 එක්සත් සමාජවාදී පක්‍ෂය සංවිධානය කිරීමේ පුරෝගාමියා වූයේ වික‍්‍රමසිංහයන් ය. බි‍්‍රතාන්‍ය යටත් විජිත පාලකයන් විසින් එක්සත් සමාජවාදී පක්‍ෂය තහනම් කර දොස්තර වික‍්‍රමසිංහයන් සිරභාරයට ගන්නා ලදී. ඊට වර්ෂ කීපයකට පසු 1943 ජුලි මස 3 වැනි දින දොස්තර වික‍්‍රමසිංහයන්ගේ නායකත්වයෙන් ශී‍්‍ර ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂය බිහිවිය. කොමියුනිස්ට් පක්‍ෂය අවසාන පරමාර්ථය ලෙස සමාජවාදී සමාජ ක‍්‍රමයක් ගොඩනැඟීමත්, යටත් විජිතවාදයෙන් පූර්ණ දේශපාලන නිදහස සහ සමාජ සාධාරණය ඇති කිරීම කෙටිකාලීන අරමුණ ලෙස ද අවසාන අරමුණ ලෙස සමාජවාදය ප‍්‍රකාශ කළහ.
 
එක්සත් පෙරමුණ පිළිබඳ දේශපාලන උපක‍්‍රම
 
1950 දී පවත්වන ලද කොමියුනිස්ට් පක්‍ෂයේ 4 වන සම්මේලන වාරයේ දී කම්කරු පන්තිය දුප්පත් ගොවි ජනතාව මධ්‍යම පන්තිය හා බුද්ධිමතුන්ගේ ද අධිරාජ්‍යවාදයට ප‍්‍රතිගාමී තත්ත්වයට විරුද්ධව සටන් කරන ජාතික බලවේගවල පුළුල් ජාතික පෙරමුණක් පිළිබඳ සංකල්පය දොස්තර වික‍්‍රමසිංහයන් විසින් ඉදිරිපත් කළේය. එවැනි පෙරමුණක වැඩපිළිවෙළට ඇතුළත් විය යුතු ප‍්‍රධාන කරුණු අතර ලංකාවේ බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදී යුද කඳවුරු හා විදේශ හමුදා ඉවත් කිරීම, ආරක්‍ෂක ගිවිසුම් අහෝසි කිරීම, ශී‍්‍ර ලංකාවේ නිදහස් සමූහාණ්ඩුවක් පිහිටුවීම, අධිරාජ්‍යවාදීන්ගේ සහ ඔවුන්ගේ දේශීය හවුල්කරුවන්ට අයත් වතු, බැංකු, ඉන්ෂුවරන්ස්, සමාගම්, ආදිය ජාතිය සතු කිරීම, වගා කරන්නාට හා ඉඩම් නැති අයට ඉඩම් යන ප‍්‍රතිපත්තිය අනුව ග‍්‍රාමීය ජනතාවගේ ඉඩම් ප‍්‍රශ්නය විසඳීම, සියලූම කම්කරුවන්ට හා සේවකයන්ට අවම වැටුප් පැය 8 වැඩ දිනයක් ඇතුළු කම්කරු සමිති සඳහා ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම් සහතික කිරීම, සියලූම දෙනාට රැකියාවක් හෝ ජීවත් වමේ මාර්ගයක් සුරක්ෂිත කිරීම, රටේ සියලූම ජාතීන්ගේ සංස්කෘතීන් හා භාෂා ආරක්‍ෂා කිරීම සිංහල හා දෙමළ පරිපාලන භාෂා හැටියට පිළිගැනීම, නිදහස් අධ්‍යාපන ක‍්‍රමයක් ඇති කිරීම ආදී කරුණු ඇතුළත් වැඩපිළිවෙළක් එවැනි ජාතික පුළුල් පෙරමුණු ආණ්ඩුවක් විසින් කි‍්‍රයාත්මක කළ යුතු බව දොස්තර එස්. ඒ. වික‍්‍රමසිංහ විසින් සඳහන් කරන ලදී. එවැනි ආණ්ඩු වැඩපිළිවෙළක් මගින් සාමය ප‍්‍රජාතන්ත‍්‍රවාදය සමාජ සාධාරණය සහ ජනවර්ග අතර එක්සත්කම සහතික කළ හැකි බව ඔහු අදහස් කළේය. වයස 18 තරුණයන්ට ඡන්ද අයිතිය ලබාදිය යුතුය යන්න මුලින් ම යෝජනා කළේ ඔහුය.
 
ශී‍්‍ර ලංකාවේ ආර්ථික සංවර්ධනයට මඟක්
 
1954 ඔහු විසින් ලියූ ‘‘ඉදිරි මඟ” කෘතිය මගින් රටේ ආර්ථික සංවර්ධනය සඳහා වැදගත් අදහස් හා යෝජනා ඉදිරිපත් කළේය. එහි පළමු කොටසින් වැඩි වෙන ජන ගහනයට සරිලන ලෙස ආර්ථික සංවර්ධනයක් සිදු නොවීම හේතුවෙන් විරැකියාව උග‍්‍රවීමත් ඇති නැති පරතරය උග‍්‍රවීමටත් හේතුවන බව පැහැදිලි කර ඇත.
 
රටේ අනාගත සංවර්ධනය සඳහා ලංකා විදුලිබලය නිපදවිය යුතු බවත්, ජලය ගබඩා කර ඒ ජලය වාරිමාර්ග සඳහා සපයාගත යුතු බවත්, හෝදා පාළුව ජලගැලීම් සහ නියඟයට ඔරොත්තු දීමට හැකි වන පරිදි පරිසරය රැකගතයුතු බවත් මේ කරුණු වූකලී අනාගත සංවර්ධනය සඳහා මූලික වශයෙන් අත්‍යවශ්‍ය කරුණු වෙයි. අද රට මුහුණපා ඇති විදුලිය, ජලය හා කෘෂි කර්මාන්තයේ අර්බුදයට විසඳුම් ඉදිරි මඟ කෘතිය මගින් දොස්තර වික‍්‍රමසිංහයන් විසින් පෙන්වා දී ඇත.
 
මහවැලි ගඟ උතුරට හැරවීම නිල්වලා ගඟ ඇතුළු ප‍්‍රධාන ගංගාවන් පදනම් කරගෙන විදුලිය බලය නිපදවීම කෘෂිකර්මාන්තය හා ආහාර වගා කිරීම ආදී සංවර්ධන කටයුතු එම කෘතිය මගින් ඉදිරිපත් කරනු ලැබ ඇත. ‘‘ගල්ඔය වාරිමාර්ග ක‍්‍රමය හා කෘෂි කර්මාන්ත අර්බුදය” නමැති කෘතිය මගින් දොස්තර එස්. ඒ. වික‍්‍රමසිංහයන් කෘෂි කර්මාන්තය හා වාරි කර්මාන්තය, හෝදාපාළුව, පරිසරය රැකගැනීම ආදී ප‍්‍රශ්න ගැන ඔහුගේ දැනුම ප‍්‍රදර්ශනය කෙරේ.

එස්. සුදසිංහ / දිවයින

Recommended For You

About the Author: Admin