Voice of දියවන්නා : සතියේ දේශපාලනය – කතානායක

“භික්ෂුන් වහන්සේලා මා කෙරෙහි තැබූ විශ්වාසය දිවි හිමියෙන් සුරකිනවා – කථානායක කරු ජයසූරිය

”පුරා වසර 48 ක් ‍ලෝකයේ කොතැනක සිටියත් අපි දෙන්නා එකතු වෙලා සිංහල අවුරුදු නැකතට දෙන්නගෙම අතින් ලිපක් බැඳලා කිරි උතුරවලා අවුරුදු චාරිත්‍ර ඉටු කළා.  ඒ වත් පිළිවෙත් අපේ ජීවිතවලට ආශිර්වාදයක් වුනා.  එහෙම කිරි උතුරුවලා අවුරුද්ද පටන් ගන්න මූලික වුනේ මගේ බිරිඳයි.  ඇය සැබෑ මාතු භාර්යාවක්. මගේ කාර්ය බහුල ජීවිතයේ හැම දෙයක්ම ඇය උපේක්ෂාවෙන් දරා ගත්තා.  මගේ බිරිඳ තිරය පිටුපස සිටියත් ඇය ගැන මට තිබෙන්නේ විශාල ගෞරවයක්.  ඇත්ත වශයෙන්ම රටේ සංහිදියාව ඇති කිරීම ආරම්භ කළ යුත්තේ පවුලෙන්.  පවුල තුල එකිනෙකාට ගරු කරන විට එහි සාමාජිකයන් මහා සමාජයේදී සමබරව කටයුතු කරන්නට ඉගෙන ගන්නවා”

කිසිදා තම බිරිඳ දේශපාලන වේදිකාවට කැඳවා ගෙන නොපැමිණි කථානායක කරු ජයසූරිය මහතා සිංහල අවුරුදු දවසේ සිය බිරිඳ වූ වෛද්‍ය වසන්තා ජයසූරිය මහත්මිය ගැන මෙම අගය කිරීම සිදු කළේ බම්බලපිටිය අමරසේකර මාවතේ සිය නිවසේ දී තමන් සිංහල අවුරුදු චාරිත්‍ර සමරන ආකාරය වාර්තා කිරිමට පැමිනි ගුවන් විදුලියේ මාධ්‍යවේදින් සමගය.

සිය නිවසට පැමිණි මාධ්‍යවේදීන්ට ද බත බුලතින් සංග්‍රහ කිරීමට යුහුසුළු වූ හෙතෙම ජයසූරිය මහත්මිය සමග එක්ව නැකතට කිරි උතුරවා, උදැල්ලෙන් වැඩ අල්ලා, කිරි ගහට කෙටීමේ චාරිත්‍රය ද අකුරටම ඉටු කළේය.

පසුගිය අවුරුද්දේ සිංහල අවුරුදු නැකතට මැන්ඩෙලා චරිතාපදානය කියවීම ආරම්භ කළ කථානායකවරයා මෙවර සිංහල අවුරුදු නැකතට අතට ගත්තේ සිය සමිප ජර්මානු විද්වතෙකු වු මහාචාර්ය ඩොල්සර් (Dolzer) විසින් මින් දශක තුනකට පෙර රචනා කළ ලෝකයේ වර්තමාන පාරිසරික අභියෝග පිළිබදව සදහන් වන ලොව ප්‍රකට ග්‍රන්ථයකි.  පරිසර සමතුලිතභාවය පිලිබදව සමස්ත රට වැසියන්ගේ අවධානය යොමු විය යුතු මොහොතකට අප එළඹ ඇති බැවින්  සිය මිත්‍ර ජර්මානු  මහාචාර්යවරයාගේ පුරෝකථනය යළි කියවීමට අවශ්‍ය වූ බව කරු ජයසූරිය මහතා මාධ්‍යවේදීන් සමග කීය. 

මේ අතර කථානායකවරයාගේ අවුරුදු නැකත බොහෝ සුභදායක ලෙස ඵල දරා ඇති බව දක්නට වූයේ පසු දින සන්ද්‍යාවෙහි ලැබුණු පණිවිඩයක් සමගය. එම පණිවිඩයට අනුව ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස මහා නායක හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ විධායක මහා කාරක සංඝ සභාව ගල්කිස්ස ධර්මාපාලාරාම විහාරස්ථානය වෙත අප්‍රේල් 16 වෙනිදා සන්ද්‍යාවේ පැමිණෙන ලෙස කථානායකවරයාට ඇරයුම් කර තිබිනි.

ඒ අනුව සිය පවුලේ සාමාජිකයන් සහ හිතවතුන් පිරිසක් ද කැටුව එහි ගිය කථානායකවරයා මහා නායකහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ කාරක මහා සංඝ සභාවේ නායක හිමිවරු බැහැ දුටුවේය.  එහිදී මහා නාහිමියන් කථානායකවරයා වෙත නිල වශයෙන් දැනුම් දුන්නේ ඔහුගේ ජාතික ආගමික ශාසනික සේවාව කෙරෙහි පාර්ශව 22 කින් සමන්විත දහසය දහසකට අධික අමරපුර මහා නිකායික භික්ෂූන් වහන්සේ තුළ විශාල පැහැදිමක් ඇති බවත්, ඒ අනුව සංඝ සභාවේ ඒකමතික තීන්දුව පරිදි විශේෂ ගෞරව සම්මානයක් පිරිනැමීමට තීරණය කර ඇති බවත්ය.

මෙහිදී කථානායකවරයාගේ ආදර්ශමත් දිවි පැවැත්ම අගය කරමින් නායක හිමිවරු කිහිප දෙනෙක්ම අදහස් දැක්වූහ.   බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා,  කථානායකවරයාගේ පවුලේ සාමාජිකයන් නියෝජනය කරමින් අමාත්‍ය නවීන් දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක යන අයද මේ සදහා එක්ව සිටියහ.

මෙහිදී කරු ජයසූරිය මහතා තමා ගෞරව සම්මානයකට නිර්දේශ කිරිම පිලිබදව කෘතවේදීත්වය පළ කරමින් සදහන් කළේ “භික්ෂුන් වහන්සේලා තමන් කෙරෙහි තැබූ විශ්වාසය දිවි හිමියෙන් සුරකින බවය”.

සටහන – ගජබා නාගහවත්ත

Recommended For You

About the Author: Editor