පළාත් සභා ඡන්දය ඉල්ලා මැතිවරණ කොමිෂමෙනුත් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

පළාත් සභා මැතිවණය නොපැවැත්වීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි ප‍්‍රකාශ කරමින් මැතිවරණ කොමිෂම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කිරීමට සූදානමින් සිටින බව මැතිවරණ කොමිෂම් සභාවේ ආරංචි මාර්ග සඳහන් කරයි.

අපේ‍්‍රල් මස 22 වැනි දා අධිකරණ කටයුතු ආරම්භ වූ විගස මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කිරීමට මැතිවරණ කොමිෂම පියවර ගනු ඇති බව ද එම ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කරයි.

රාජ්‍ය ආයතනයක් වශයෙන් මෙම පෙත්සම ගොනුකිරීමේදී එය නීතිපතිවරයා විසින් ඉටු කළ යුතු වුවත් මෙම පෙත්සම මගින් නීතිපතිවරයා ද වගඋත්තර කරුවෙකු කර ඇති හෙයින් පුද්ගලික නීතිඥයින් මාර්ගයෙන් අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කිරීමට නියමිත බව ද වාර්තා වේ.

මීට පෙර 2018 ඔක්තෝබර් 26 ආණ්ඩු කුමන්ත‍්‍රණයේදී ද මැතිවරණ කොමිෂමේ සාමාජිකයෙක් වූ මහාචාර්ය රත්නජීන් හූල් මහතා විසින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය. එම අවස්ථාවේදී එකී පියවර රාජපක්ෂවාදීන්ගේ දැඩි විවේචනයට ලක්විය.

මැතිවරණ කොමිෂම විසින් ආණ්ඩුවට එරෙහිව මෙම අවස්ථාවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කිරීමට යාම ද දැඩි සංවාදයට භාජනය විය හැකි කරුණක් වනු ඇති බව දේශපාලන විචාරකයින්ගේ අදහසයි.

පසුගිය විදුලිබල අර්බුදයේ මහජන උපයෝගීතා කොමිෂම ලංකා විදුලිබල මණ්ඩලයට විරුද්ධව විදුලි පාරිභෝගිකයින් වෙනුවෙන් අධිකරණයට යාම පසුගිය දා පැවැති කැබිනට් මණ්ඩල රැුස්වීමේදී දැඩිව විවේචනය භාජනය වී තිබුණි. එහිදී ඇමැතිවරුන්ගේ අදහස වී තිබුණේ මහජන උපයෝගීතා කොමිෂම ගත් පියවර මගින් රජය අපකීර්තියටත් අපහසුතාවටත් පත් වූ බවයි.

කෙසේ වෙතත් අගෝස්තු මාසයට පෙර පළාත් සභා මැතිවරණය පත්වන බවට අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා මීට සති දෙකකට පමණ පෙර මැතිවරණ කොමසාරිස්වරයාට පොරොන්දු වී තිබිණි.

ඒ සමග ලබන 22 වැනිදා අධිකරණයේ කටයුතු ආරම්භ වූ විගස උතුරු මැද සහ සබරගමුව පළාත් මහ ඇමැතිවරුන් විසින් සහ ‘සත්‍ය ගවේෂකයෝ ’’ නම් සංවිධානය විසින් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් ද විභාග කිරීමට නියමිත බව ද වාර්තා වේ.

අද (21) දින බස්නාහිර පළාත් සභාවේ ද නිල කාලය අවසන් වන අතර ඒ සමග ක‍්‍රියාත්මක තත්ත්වයේ පවතින පළාත් සභාව වන්නේ ලබන ඔක්තෝබර් මස නිල කාලය අවසන් වීමට නියමිත ඌව පළාත් සභාව පමණකි. මේ තත්ත්වය තුළ දිගින් දිගටම පළාත් සභා මැතිවරණය කල් දැමීම මගින් සමස්ත පළාත් සභා යාන්ත‍්‍රණයම අවුල් වීමක් සිදුවන බව විශ්ලේෂකයින්ගේ අදහසයි. විශේෂයෙන් මේ සමග පළාත් පාලනය ආණ්ඩුකාරවරුන්ගේ පාලනයට පත් වීමත් සමග පළාත් සභා පාලනය තුළ ජනාධිපතිවරයාට අනවශ්‍ය තරම් බලයක් ආරෝපණය වන බව ඔවුන්ගේ අදහසයි.

විශේෂයෙන් ජනපතිවරයා පසුගිය දා පළාත් සභා ආණ්ඩුකාරවරුන් පත් කිරීමේදී අනුගමනය කළ පිළිවෙත හමුවේ මේ තත්ත්වය තව දුරටත් සංකීර්ණ මෙන්ම අත්තනෝමතික විය හැකි බව දේශපාලන විශ්ලේකයින්ගේ අදහසයි.

වත්මන් බස්නාහිර සහ දකුණු පළාත් ආණ්ඩුකාරවරුන් ඉවත් කර ඒ වෙනුවට හිටපු මහ ඇමැතිවරුන් පළාත් ආණ්ඩුකාරවරුන් ලෙස පත් කිරීමට යම් කිසි ආකාරයකින් (වාර්තා වන ලෙස) පියවර ගතහොත් පළාත් සභා පාලනය අවුලෙන් අවුලට යනු ඇති බව ද ඔවුහු වැඩි දුරටත් සඳහන් කරති.

සටහන – ගජබා නාගහවත්ත

Recommended For You

About the Author: Editor