ප‍්‍රවීන සූපවේදිනී ශාන්තා මායාදුන්නේ සහ ඇයගේ දියණිය ද මියගිය පුද්ගලයින් අතර

අද කොළඹ කොච්චිකඬේ දේවස්ථානය ඇතුළු ස්ථාන 06ක සිදු වූ පිපිරීම්වලින් පුද්ගලයින් 160 දෙනකු මිය ගොස් ඇතැයි නිල වශයෙන් තහවුරු කර ඇත. ඒ අතර විදේශිකයින් 09 දෙනකු ද සිටින බව එම වාර්තාවල වැඩි දුරටත් සඳහන් වේ.

මේ අතර මීට ස්වල්ප වේලාවකට පෙර කොළඹ ජාතික රෝහල තහවුරු කළේ ෂැංග‍්‍රිලා හෝටලයේ සිදුවූ පිපිරීමෙන් ප‍්‍රවීන සූපවේදිනි ශාන්තා මායාදුන්නේ මහත්මිය සහ ඇයගේ දියණිය නිසංගා මායාදුන්නේ ද මිය ගොස් ඇති බවයි.

මේ වන විට කොළඹ ජාතික රෝහලේ මියගිය පුද්ගලයින් 45 දෙනකුගේ සිරුරු තැන්පත් කර ඇති අතර එයින් 09 දෙනකු විදේශිකයින් ය. තුවාලකරුවන් 200කට අධික පිරිසක් ප‍්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇත.

කදාන කටුවපිටිය දේවස්ථානයේ සිදු වූ පිපිරීමෙන් මිය ගිය පුද්ගලයින් 65 දෙනකුගේ දේහයන් මීගමුව මහ රෝහලේ තැන්පත් කර ඇති අතර කටුවාපිටිය දේවස්ථානයේ තැන්පත් කර ඇති මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 25කි. මඩකළපුව සියොන් දේවස්ථානයේ සිදු වූ පිපිරීමෙන් මියගිය පුද්ගලයින් 25 දෙනකුගේ සිරුරු මඩකළපුව රෝහලේ තැන්පත් කර ඇති අතර කොළඹ කළුබෝවිල රෝහලේ ද තවත් සිරුරු තැන්පත් කර ඇති බව වාර්තා වේ.

මේ අතර රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ කොළඹ ලංකා හොස්පිටල් ඇතුළු පුද්ගලික රෝහල් කිහිපයකට ද, ශ‍්‍රී ජයවර්ධපුර රෝහල, කොතලාවල රෝහල ඇතුළු රෝහල්වලට ද තුවාලකරුවන් ඇතුළත් කර ඇති බවයි.

අගමැතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් හදිසියේ කැඳවන ලද හදිසි ආරක්ෂක රැුස්වීමේදී ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ගත යුතු කඩිනම් පියවර ගත් බව ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කරයි.

ශ‍්‍රී ලංකාවේ ස්ථාන 06කදී සිදු වූ මිලේච්ඡු ප‍්‍රහාර පිළිබඳව මේ වන විට විදේශ රාජ්‍ය නායකයින් විශාල පිරිසක් සිය කනගාටුව සහ ශ‍්‍රී ලංකාවට සහාය පළ කරමින් මාධ්‍ය නිවේදන නිකුත් කර ඇත.

මේ අතර විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා විශේෂ ට්ටීටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටින්නේ මේ අවස්ථාවේ අවබෝධයෙන් යුතුව කටයුතු කළ යුතු බවයි. දෙමළ සන්ධාන නායක ආර්. සම්බන්ධන් මහතා ද එක්සත්ව කටයුතු කිරීමේ අවශ්‍යතාව දැඩිව අවධාරණය කරයි.

මේ සමග සමාජ මාධ්‍ය ජාල හරහා වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින දුෂ් තොරතුරු පිළිබඳ යළි යළිත් අවධානය යොමු කරන රජය අවධාරණය කරන්නේ මෙකී දුෂ් තොරතුරු එකිනෙකා අතර හුවමාරු කර ගැනීමෙන් වළකින ලෙසයි.

Recommended For You

About the Author: Editor