රාජ්‍ය සේවකයින්ට අද නිවාඩු දී නැහැ, ප‍්‍රමාදවී හෝ සේවයට වාර්තා කරන්න – ඇමැති වජිර අබේවර්ධන

අද (22) රජයේ සේවකයින්ට නිවාඩු ලබා දී නොමැති බවත් ප‍්‍රමාද වී හෝ සේවයට වාර්තා කරන ලෙසත් අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු අමාත්‍යා වජිර අබේවර්ධන මහතා සියලූම රාජ්‍ය සේවකයින්ගෙන් ඉල්ලීමක් කරනවා.

එහෙත් බොහෝ රාජ්‍ය සේවකයින් පවසන්නේ අද පෙ.ව 06.00ට පොලිස් ඇඳිරි නීතිය ඉවත් කළත්, බස් රථ සහ දුම්රිය ධාවනය නිසි පරිදි සිදු නොවීම නිසා තමන්ට සේවය සඳහා වාර්තා කිරීමට ප‍්‍රවාහන පහසුකම් නොමැති බවයි. විශේෂයෙන් දීර්ඝ සති අන්තයක් හේතුවෙන් තම ගම්බිම් ප‍්‍රදේශ වෙත ගොස් සිටින රජයේ සේවකයින් සේම පෞද්ගලික අංශයේ සේවකයින් ද දැඩි ප‍්‍රවාහන දුෂ්කරතාවකට මුහුණදී අද දින සේවයට වාර්තා කළ නොහැකි තත්ත්වයක සිටිනවා. ඔවුන් දැඩිව අවධාරණය කරන්නේ පොලිස් ඇඳිරි නීතිය අද පෙ.ව 6.00ට ඉවත් කරන බව රජයේ ඊයේ රාත‍්‍රියේ පවා දැනුම් නොදුන් බවයි. එමෙන්ම පෙ.ව 6.00ට බස් සහ දුම්රිය ධාවනය ආරම්භ වුව ද තමන්ට නිසි පරිදි ප‍්‍රවාහන පහසුකම් ලබා ගත නොහැකි බව ද ඔවුන් පෙන්වා දෙනවා.

අද දින ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් රථ ධාවනය ගැන ‘ලංකා ඊ පේ‍්‍රස්’ කළ විමසීමකට පිළිතුරු දෙමින් ලංකා ගමනා ගමන මණ්ඩලයේ ධාවන අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා පැවසුවේ, ලංගම බස් ධාවනයේදී කිසියම් ප‍්‍රමාදයක් සිදු විය හැකි වුවත් ප‍්‍රමාද වී හෝ ලංගම ධාවන කටයුතු ආරම්භ කරන බවයි.

දුම්රිය සාමාන්‍යාධිකාරී ගාමිණි සෙනෙවිරත්න මහතා ප‍්‍රකාශ කරන්නේ දුම්රිය ආරක්ෂාව තහවුරු කර ඇති බවත්, ප‍්‍රමාද වී හෝ දුම්රිය ධාවනය සිදුවන බවයි.

මේ අතර ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය ප‍්‍රකාශ කරන්නේ යම් ප‍්‍රමාදයක් සිදු වුව ද පෞද්ගලික බස්රථ ධාවනය සාමාන්‍ය පරිදි සිදුවනු ඇති බවයි.

Recommended For You

About the Author: Editor