වගකීම පැහැර හැරි පොලිස්පති වහාම ඉල්ලා අස්විය යුතුයි, නැතිනම් ඔහු අස්කළ යුතුයි – ඇමැති රාජිත සේනාරත්න

පාස්කු ඉරිදා ප‍්‍රහාර සම්බන්ධයෙන් බුද්ධි අංශ විසින් පූර්ණ දැනුම් දීම් සිදුකර තිබියදී ඒ සම්බන්ධයෙන් නිසි පියවර නොගත් පොලිස්පතිවරයා ඉල්ලා අස්විය යුතු බවත් ඔහු එසේ ඉල්ලා අස් නොවන්නේ නම් අද සවස 6ට පැවැත්වෙන හදිසි කැබිනට් මණ්ඩල රැස්වීමේදී විෂයභාර ඇමැතිවරයා වශයෙන් ජනපතිවරයාට අදාළ ඉල්ලීම ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත් සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා ප‍්‍රකාශ කළේය.


අද මධ්‍යාහන 12.00ට පමණ අරලියගහ මන්දිරයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී ඇමැති රාජිත සේනාරත්න මහතා මේ බව සඳහන් කළේය.
ආණ්ඩුව නියෝජනය කරමින් ඇමැති රාජිත සේනාරත්න, ජෝන් අමරතුංග, අකිල විරාජ් කාරියවසම්, රාවුෆ් හකීම්, රිෂාර්ඞ් බදුර්දීන් සහ කබීර් හසීම් ඇතුළු ඇමැතිවරුන් මෙම සාකච්ඡුාව සඳහා සහභාගී වූහ. මාධ්‍යවේදීන්ගේ දැඩි ප‍්‍රශ්න කිරීම් සහ විවේචනය කිරීම් මධ්‍යයේ පැවැති මෙම මාධ්‍ය හමුවේදී පසුගිය සිංහල අලූත් අවුරුදු සමයේ ලැබෙන ඇතැයි ප‍්‍රචාරය වූ අතිවිශේෂ පුවත ගැන ද මාධ්‍යවේදීන් දිගින් දිගටම ඇමැතිවරුන්ගෙන් ප‍්‍රශ්න කළහ. විශේෂයෙන් සිදුවීම සිදුවන අවස්ථාවේ ජනපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා රටින් බැහැරව පුද්ගලික සංචාරයක් සඳහා පිටත්ව ගොස් සිටීම සහ ජනපතිවරයාගේ පැමිණීම ප‍්‍රමාද වීම මෙහිදී මාධ්‍යවේදීන්ගේ දැඩි ප‍්‍රශ්න කිරීමට ලක්විය.

එහිදී මාධ්‍යවේදියෙක් ඇමැති රාජිතගෙන් ප‍්‍රශ්න කළේ ආරක්ෂක ඇමැතිවරයා ද වන ජනපතිවරයා පුද්ගලික සංචාරයක් සඳහා රටින් බැහැරව යන විට වැඩබලන ආරක්ෂක ඇමැතිවරයෙක් පත් කළාද යන්නයි.

එහිදී ඇමැති රාජිත සේනාරත්න මහතා දැඩිව අවධාරණය කර සිටියේ ජනපතිවරයා විසින් වැඩබලන ආරක්ෂක ඇමැතිවරයෙක් පත් නොකළ බවයි.

මෙහිදී මාධ්‍යවේදීන් විසින් පසුගිය සතිවල ලබාදී ඇති බව කියන බුද්ධි අංශ වාර්තා සහ ඒ සම්බන්ධයෙන් ආරක්ෂක අංශ ගත් පියවර ගැන දැඩිව ප‍්‍රශ්න කළේය. එහිදී ඇමැති රාජිත සේනාරත්න කියා සිටියේ පොලිස්පති පූජිත ජයසුන්දර මහතා මේ සිදුවීමේ වගකීම භාර ගෙන ඉල්ලා අස්විය යුතු බව තමන් සිතන බවයි. පොලිස්පතිවරයා එවැනි පියවරක් නොගන්නේ නම් අද සවස 6ට පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැුස්වීමේදී විෂයභාර ඇමැතිවරයා වන ජනපතිවරයාට තම යෝජනාව ඉදිරිපත් කරන බව ද ඇමැති රාජිත අවධාරණය කළේය.

මේ සමග ඊයේ අගමැතිවරයා විසින් ආරක්ෂක ප‍්‍රධානීන්ගේ රැුස්වීමක් කැඳවීමට ගොස් මුහුණ පෑ තත්ත්වය ගැන ජනමාධ්‍යවේදීන් අමැති රාජිතගෙන් ප‍්‍රශ්න කළේය. මාධ්‍ය ආයතනවලට අදාළ අනපේක්ෂිත තත්ත්වය වාර්තා වුවත් තමන් වගකීමක් ලෙස සලකා එය වාර්තා නොකළ බව ප‍්‍රකාශ කළ මාධ්‍යවේදීන් සැබෑවට වූයේ කුමක් දැයි ඇමැතිවරයාගෙන් ප‍්‍රශ්න කළේය.

මෙය පිළිතුරු දෙමින් ඇමැති රාජිත කියා සිටියේ අගමැතිවරයා විසින් ඊයේ (21) ආරක්ෂක මණ්ඩල ප‍්‍රධානීන්ගේ රැුස්වීමක් කැඳවීමට පියවර ගත් නමුත් ආරක්ෂ මණ්ඩල ප‍්‍රධානීන් එම හමුව ප‍්‍රතික්ෂේප කළ බවයි. ‘‘ඉහළින් ආ නියෝගයක් අනුව’’ තමන් එම පියවර ගත් බව ආරක්ෂක මණ්ඩල ප‍්‍රධානීන් අගමැතිවරයාට දැනුම් දී ඇතැයි ඇමැති රාජිත ප‍්‍රකාශ කළේය.

පසුව රට තුළ උද්ගත වූ දැඩි අනාරක්ෂිත වාතාවරණය හමුවේ අගමැතිවරයා ආරක්ෂක අමාත්‍යාංශයට ගොස් ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජේවර්ධන සමග නැවත ආරක්ෂක මණ්ඩල ප‍්‍රධානීන් හමුවීමට උත්සාහ කළත් ඔවුන් ආරක්ෂක අමාත්‍යාංශයට ද පැමිණියේ විනාඩි 20ක් පමණ ප‍්‍රමාද වී බව ඇමැති රාජිත කීවේය.

මේ අතර මාධ්‍යවේදීන් ඇමැති රාජිතගෙන් ආරක්ෂක මණ්ඩල රැුස්වීමට අගමැතිවරයාගේ සහ රාජ්‍ය ඇමැතිවරයාගේ සහභාගීත්වය සම්බන්ධයෙන් ප‍්‍රශ්න කළහ. එහිදී ඇමැති රාජිත අවධාරණාත්මකව කියා සිටියේ 1978 සිට ආරක්ෂක මණ්ඩල රැුස්වීමට අගමැතිවරයා සහභාගී වන සම්ප‍්‍රදායක් තිබූ බවයි. එහෙත් පසුගිය ඔක්තෝබර් 26 කුමන්ත‍්‍රණයෙන් පසු අද උදෑසන පැවැති ආරක්ෂක මණ්ඩල රැස්වීම දක්වා ඒ සඳහා අගමැතිවරයාට හෝ රාජ්‍ය ඇමැතිවරයාට ආරාධනා නොකළ බව ද පසුගිය ඔක්තෝබර් 26 න් පසු අගමැතිවරයා ආරක්ෂක මණ්ඩල රැස්වීමට සහභාගී වූ පළමු අවස්ථාව අද (22) බවත් ඇමැති රාජිත ප‍්‍රතාශ කළේය.

මේ අතර මාධ්‍යවේදීන් පසුගිය සිංහල අලූත් අවුරුදු සමයේ ප‍්‍රමුඛ පුවතක් වූ ‘‘අවුරුද්දෙන් පසු ලැබෙන බව කී විශේෂ පුවත’’ ගැන ද ප‍්‍රශ්න කළහ.
ඉතාම සූක්ෂම ලෙස මාධ්‍යවේදීන්ගේ උගුලෙන් ගැළවී ගිය ඇමැති රාජිත ‘‘ඔයාලාට ඒ ප‍්‍රවෘත්තිය ලැබුණේ කාගෙන් දැයි’’ ප‍්‍රශ්න කළේය. ඒ සමග විනාඩි ගණනාවක් අදාළ පුවත ගැන ජනමාධ්‍යවේදීන් විසින් ද විවිධ මත පළ කරනු දැකිය හැකි විය.

මෙහිදී යළිත් බුද්ධි අංශ වාර්තා ගැන ඇමැති මනෝ ගනේෂන් සහ හරීන් ප‍්‍රනාන්දු කළ ප‍්‍රකාශ මාධ්‍යවේදීන්ගේ ප‍්‍රශ්න කිරීමට ලක්විය. එහිදී ඇමැති මනෝ ගනේෂන් අවධාරණාත්මකව කියා සිටියේ ප‍්‍රබල දේශපාලනඥයින්ට මරණ තර්ජන ඇති බව බුද්ධි අංශ වාර්තා කළ බව තමා ට්වීටර් ගිනුවේ සඳහන් කළ ප‍්‍රකාශය සත්‍යයක් බවයි. එහෙත් මෙවැනි ප‍්‍රහාරයක් ගැන තමා දැන ගත්තේ ඊයේ උදෑසන බව මනෝ ගනේෂන් පැහැදිලිව කියා සිටියේය.

‘‘අපිව දැනුවත් කිරීම පමණක් නොවෙයි, වැදගත් වන්නේ රටේ ආරක්ෂාවට ගන්න ක‍්‍රියාමාර්ග. ඒත් ඒක කරලා නැහැ’’ මනෝ ගනේෂන් මහතා දැඩිව කියා සිටියේය.

මෙහිදී යළිත් බුද්ධි අංශ තොරතුරු ලැබී තිබියදී පවා පාස්කු ඉරිදා ප‍්‍රහාරය සිදු වුණේ කෙසේ දැයි ද, ඒ සම්බන්ධයෙන් ආණ්ඩුවේ අදහස කුමක්දැයි ද මාධ්‍යවේදීන් ප‍්‍රශ්න කළේය. එහිදී ඇමැති රාජිත කියා සිටියේ, ‘‘අපෙන් අත්වැරැුද්දක් වුණා. ඒත් අපි හිතන්න ඕනෑ මේවාට වගකියන්න ඕනෑ කවුද කියලා’’ රාජිත කීවේය.

මේ අතර අද උදෑසන පැවැති ආරක්ෂක මණ්ඩල රැුස්වීමට ගිය අගමැතිවරයා මේ ගැන ප‍්‍රශ්න නොකළේ මන්දැයි මාධ්‍යවේදීන් ඇමැති රාජිතගෙන් ප‍්‍රශ්න කළේය.

‘‘මාස 6කට පස්සේ අගමැතිතුමාට ඒකට ගියේ. ඒත් එකෙදී වුණේ ගත යුතු පියවර සාකච්ඡුා කිරීම පමණයි. එතුමාට එක එක දේවල් ගැන ප‍්‍රශ්න කිරීමේ පුරුද්දක් නැති නිසා අද උදේ සාකච්ඡුාව හොඳින් අවසන් වුණා’’ රාජිත සේනාරත්න මහතා කීවේය.

මෙහිදී ඇමැති ජෝන් අමරතුංග මහතා කියා සිටියේ ඊයේ සිදු වූ ප‍්‍රහාරය ගැන තමාට කිසිදු ආකාරයක පූර්ව දැනුම්දීමක් සිදු නොවූ බවයි.
‘‘මට දැනුම් දීමක් කළේ නැහැ. මම කිසිම දෙයක් දැනගෙන හිටියෙත් නැහැ. බුද්ධි අංශ මේවාට වගකිව යුතුයි. එසේ වුණා නම් මේ විනාශය වළක්වා ගන්න තිබුණා’’ ඇමැති ජෝන් අමරතුංග කීවේය.

මෙහිදී ශ‍්‍රී ලංකා මුස්ලීම් කොන්ග‍්‍රසයේ නායක ඇමැති රාවුෆ් හකීම් කියා සිටියේ අදාළ සිදුවීම ගැන තමන් දැඩිව කම්පාවට පත්ව සිටින බවයි. මෙය බුද්ධි තොරතුරු සහ ඒවා බෙදා හැරීම සම්බන්ධ ගැටලූවක් හේතුවෙන් ඇති වූ තත්ත්වයක් බව කී ඇමැති හකීම් කිසිවෙකුට මෙම වගකීමෙන් බැහැරව යා නොහැකි බව ද කීවේය.

මේ අවස්ථාවේ දී ඇමැති රිෂාඞ් බදුර්දීන් ඇමැතිවරයා ද මධ්‍යවේදීන්ගේ දැඩි ප‍්‍රශ්න කිරීමට ලක්විය. එහිදී ඇමැති රිෂාඞ් බදුර්දීන් මහතා කියා සිටියේ තමන් මේ සිදුවීම දැඩිව හෙළා දකින බවත්, ත‍්‍රස්තවාදය මුලිනුපුටා දැමීමටට පූර්ණ සහාය ලබා දෙන බවත් සඳහන් කළේය.

Recommended For You

About the Author: Editor