පාස්කු ඉරිදා ප‍්‍රහාරයේ වගකීම ISIS අන්තවාදීන් භාර ගෙන – රොයිටර්

ශ‍්‍රී ලංකාවට පසුගිය 21 වැනිදා එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර මාලාවේ වගකීම ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය හෙවත් ‘අයි.එස්’ සංවිධානය විසින් භාර ගෙන ඇතැයි එම සංවිධානයට සම්බන්ධ ඉරාකයේ සිට ක‍්‍රියාත්මක වන ‘‘අල් කුරාබා’’වෙබ් අඩවිය උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය අද වාර්තා කළේය.

රොයිටර් පුවත් සේවය වැඩි දුරටත් සඳහන් කරන්නේ ඇමෙරිකාව ප‍්‍රමුඛ ඉස්ලාමීය රාජ්‍යයට එරෙහි කුරුසකරුවන්ගේ සංධානයට අයත් ඥාතීන් හා ශ‍්‍රී ලංකාවේ කතෝලිකයින් ඉලක්ක කර ගෙන පාස්කු දින ප‍්‍රහාරය මෙහෙය වූයේ ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයේ සාමාජිකයින් විසින් බව අල් කුරාබා වෙබ් අඩවියේ සඳහන් වන බවයි.

‘ජාතික තවුෆික් ජමාත් සංවිධානයේ ’’ නායකයා බව කියන ‘සහරාන් හසීම්

ප‍්‍රහාරය සිදු වූ දින ශ‍්‍රී ලංකාවේ ක‍්‍රියාත්මක වන ‘‘ජාතික තවුෆික් ජමාත් සංවිධානයේ ’’ නායකයා බව කියන ‘සහරාන් හසීම්’ සහ තවත් සන්නද්ධ ත‍්‍රස්තයින් 07 දෙනකුගේ ඡයාරූප ඇතුළත් වීඩියෝ පටයක් අල් කුරාබා වෙබ් අඩවියේ ප‍්‍රකාශයට පත්කර තිබෙනවා. එහි සහාරාන් හසීම් මුහුණ නිරාවරණය කර ගෙන සන්නද්ධව පෙනී සිටින අතර සෙසු ත‍්‍රස්තවාදීන් 07 දෙනා මුහුණ ආවරණය කර ගෙන ආයුධ සන්නද්ධව පෙනී සිටිනවා. මෙම වීඩියෝ පටයේ ‘‘මේ ලේ වැගුරුණු දිනය අපෙන් ඔබට තෑග්ගක් ’’ යැයි සඳහන්ව තිබූ බව ද රොයිටර් වාර්තා කරනවා.

රොයිටර් විසින් උපුටා දක්වා ඇති මෙම වීඩියෝ පටය සම්බන්ධයෙන් ඉන්දියාවේ ක‍්‍රියාත්මක ප‍්‍රකට වෙබ් අඩවියක් වන ‘‘හින්දුස්ථාන් ටයිම්ස් ’’ වෙබ් අඩවිය ඇතුළු ඉන්දීය මාධ්‍ය සිය අවධානය යොමු කර තිබෙනවා. ඒ අනුව ඉන්දීය මාධ්‍ය සඳහන් කරන්නේ මෙම වීඩියෝව මගින් පාස්කු ඉරිදා ප‍්‍රහාරවල වගකීම ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය භාර ගෙන ඇති බවක් පැහැදිලි වන බවයි.

මේ අතර ඉන්දීය ආරක්ෂක විශේෂඥයින් උපුටා දක්වමින් ‘‘හින්දුස්ථාන් ටයිම්ස් ’’ වෙබ් අඩවිය සඳහන් කරන්නේ ශ‍්‍රී ලංකාවේ ක‍්‍රියාත්මක වන ජාතික තවුෆික් ජමාත් සංවිධානය ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය සමග ක‍්‍රියාත්මක වන සංවිධානයක් බව හඳුනා ගත හැකි බවයි.

මේ අතර ශ‍්‍රී ලංකාවට තවත් ත‍්‍රස්ත ප‍්‍රහාරයක් එල්ල කිරීමට ජාතික තවුෆික් ජමාත් සංවිධානය සැලසුම් කරමින් සිටින බවට ඉන්දීය බුද්ධි අංශ විසින් ශ‍්‍රී ලංකා රජයට දැනුම් දී ඇතැයි ‘‘හින්දුස්ථාන් ටයිම්ස් ’’ වෙබ් අඩවිය වාර්තා කර ඇතැයි සඳහන්.

හින්දුස්ථාන් ටයිම්ස් සඳහන් කරන්නේ 2014 වර්ෂයේ ශ‍්‍රී ලංකාවේ නැගෙනහිර පළාතට අයත් කාත්තන්කුඩි ප‍්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් බිහි වූ බව කියන ජාතික තවුෆික් ජමාත් සංවිධානයේ නිර්මාතෘ /නායකයා බව කියන සහරාන් හසීම් පසුගිය 21 වැනිදා ෂැංග‍්‍රි-ලා හෝටලයට එල්ල වූ මරාගෙන මැරෙන ප‍්‍රහාරයේ ප‍්‍රධාන සැකකරු බවත්, ප‍්‍රහාරය සිදු වූ දින ඔහු සහ ඔහුගේ සහචරයින් ආයුධ සන්නද්ධව පෙනී සිටි වීඩියෝවක් අයි.එස් සංවිධානයට පක්ෂපාතී ඉරාකයේ සිට ක‍්‍රියාත්මක ‘‘අල් කුරාබා’’හි පළ වූ බවයි.

මේ අතර හින්දුස්ථාන් ටයිම්ස් වෙබ් අඩවිය වැඩි දුරටත් සඳහන් කරන්නේ ශ‍්‍රී ලංකාව තුළ තවත් ත‍්‍රස්ත ප‍්‍රහාරයක් ක‍්‍රියාත්මක කිරීම සඳහා අයි.එස් අන්තවාදීන් පිරිසක් කටාර් හි සිට පසුගිය දිනවල ශ‍්‍රී ලංකාවට පැමිණ ඇති බව ඉන්දීය බුද්ධි අංශ විසින් ශ‍්‍රී ලංකා රජයට වාර්තා කර ඇති බවයි.

Recommended For You

About the Author: Editor