ආදිවාසී කෑමවේලක් උඩුගුවනේදීත් ලෑස්තියි: හැබැයි තම්පලා ඇට!

සටහන – සනත් එම්. බණ්ඩාර

මෙක්සිකෝව වනාහී අතිශය සුන්දර මධ්‍යම ඇමරිකානු දේශයකි. ඇමරිකාවට යාබදව තිබුණත් එහි ජනතාව බොහොමයක් දෙනා ඉංග්‍රීසිය වචනයක්වත් දන්නේ නැත. ඔවුන් හසුරුවන්නේ ස්පාඤ්ඤ භාෂාවයි. ඒ නිසා එහි යන්නෙකුට මුලදී තම කටයුතු සමාජය හමුවේ කරගන්නට යාමේදී මහත් අපහසුතාවයන්ට මුහුණ දීමට සිදුවේ.

මීට දශක තුන හමාරකට පමණ පෙරදී මගේ රැකියා ජීවිතයේ ආරම්භය සනිටුහන් කරමින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට පිවිසීමත් සමග, වැඩි දිනක් ගතවෙන්නටත් පෙරාතුව  මාස හයක පුහුණුවක් සඳහා මෙම සුන්දර දේශයට යන්නට මා හට අවස්ථාව උදා වුණි. වීසා බලපත් ගැනීමටවත් ලංකාවේ තැනක් නොවූයෙන්, පිලිපීනයට ගොස් දින කීපයක් එහි නැවතී සිට එයද ලබාගෙන ඇමරිකාව හරහා මෙක්සිකෝවට ළංවෙන විට මෙරටින් පිටවී සතියක් පමණ ගතව තිබිණ.

මෙම පූර්විකාව මා සඳහන් කිරීමට හේතුව වූයේ මෙක්සිකෝ දේශය මීට වසර කීපයකට උඩදී තැබූ ලෝක වාර්තාවක් පිළිබඳව පසුගියදා අසන්නට ලැබුණු නිසාය. එය එක්සත් ජාතීන්ගේ සංවිධානය කල ප්‍රකාශයකි. ඔවුන්ගේ වාර්තාවකට අනුව ඇමරිකානු වැඩිහිටියන් අතරින් 31.8%ක් දෙනා ස්ථුලභාවයට ගොදුරුව ඇතැයි යන ලෝක වාර්තාව පරදවමින් 32.8% ක අගයක් අත්කරගත් මෙක්සිකානුවන් ස්ථුලභාවයේ නොහොත් ‘මහත්වීමේ කප්’ එක දිනාගෙන ඇත. කෑම මේසය මතදී ඔවුන්ගේ පිතිහරඹය ගැන මා තුළ ඇති මතකයන් තව දුරටත් අවදිව ඇති බැවින් මේ ශූරතා දිනීම එතරම් පුදුම වීමට කරුණක් නොවේ. ඔවුන් ඒ තරමටම කෑමට රුසියෝය. පුදුමය වන්නේ හරිත විප්ලවය නමින් හැටේ දශකයේදී මොවුන් කරපින්නාගත් තිරිඟු සංස්කෘතිය හරහා මෙවන් ඛේදවාචකයකට පත්වීමයි.

තිරිඟු හා බඩඉරිඟු හරිත විප්ලවය තුළදී ඇමරිකානු මහාද්වීප තුල ඉතා වේගයෙන් පැතිරී ගිය අතර කෑදර මැක්සිකානුවන්ට මෙය අපත්‍ය ආහාරයක් වූවාදැයි සිතෙන තරමට දැන් දැන් කරුණු කාරනා පෙළගැසෙමින් තිබේ. මන්දයත් මෙක්සිකෝවේ ආදිවාසීන් හෙවත් ‘ඇස්ටෙක්’ ශිෂ්ඨාචාරයේ විසූවන් මීට වසර හත්සියයකට පමණ පෙරදී පවා හොඳට කාලා ඇඳලා සිටි පිරිසකි. නමුත් ඒ තිරිඟු බඩඉරිඟු සමග නම් නොවේ. අපේ මුතුන්මිත්තන් එදා කල කී දෑ අද පරපුරට පවසන්නට වැව් අමුණු, නෙලූ පිළිම ආදිය සිටින්නාක් සේ, ඇස්ටෙක් ආදිවාසීන්ගේ ගාම්භීර සංස්කෘතියක මං සලකුණු සේ සැලකිය හැකි ඉදිකළ පිරමිඩ ආදිය මගින් කියාපාන්නේ ඔවුන්ද එකල සෞභාග්‍යමත්ව සිටි ජන කොට්ඨාශයක් බවයි.

එසේ නම් හරිත විප්ලවය හරහා ගිලින්නට සිදුවූ ‘පාන්පිටි’ ගුලි ඔවුන්ව ලෙඩ කෙරුවාවත්ද? කුරක්කන් තල මෙනේරි හීනටි හාල් ආදියට පිටුපා ගිලදැමූ  පාන්පිටි කොත්තුව අපට චැනල් සෙන්ටරයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දුන් සංස්කෘතික පෙරලියම මෙක්සිකානුවන්ටත් තරබාරුකමේ කුසලානය පිරිනමා ඇත. මා මෙසේ පවසන්නේ ආදී ඇස්ටෙක්වරුන් තම ශක්‌ති අවශ්‍යතාවයෙන් 80% ක් පමණ සපුරාගෙන තිබුනේ තම්පලා වර්ග වල ඇට අනුභවයෙන් නිසාය. එයට ඔවුන් නමස්කාර කෙරුවේ දෙවියන් දුන් ආහාරයක් සේය. ස්පාඤ්ඤ ජාතිකයින් මෙක්සිකෝව ආක්‍රමණය කිරීමෙන් පසු තම්පලා වර්ග වගාකිරීම තහනම් කල අතර, වගා කර ඇති භූමි ගිනිතබා විනාශ කරන ලදී. ආදිවාසීහු මේ හමුවේ ආහාර නොමැතිව හාමතේ පසුවූ අතර ඇතැමුන් උපක්‍රමශීලීව ආක්‍රමණිකයින්ට යා නොහැකි හුදකලා පෙදෙස් වල සුළු වශයෙන් මෙය වගා කල බවටද වාර්තා තිබේ.

ලොව පොහොසත් රටවල් ලැයිස්තුවේ මෙක්සිකෝවට හිමි වන්නේ 11 සිට 13 අතර ස්ථානයකි. කතාවේ අනික් පිටුව නම් මීට වඩා අමිහිරිය. ධනවත් රටවල් අතරින් වැඩිම දුප්පතුන් වෙසෙන 4 වෙනි රටද මෙක්සිකෝවයි. එපමණක් නොව ලෝකයේ වැඩිම දුප්පතුන් සිටිනා රටවල් ලේඛනයේ මෙක්සිකෝව 10 වෙනියාය. මේ නිසාම සල්ලිකාරයින්ගේ තරබාරුකම අඩුකර ගැනීම  මෙන්ම, දුප්පතුන්ගේ මන්දපෝෂණය දුරලා ඔවුන්ගේ පණනල රැකගැනීමත් මෙක්සිකානුවන් හමුවේ දැන් පවතින බරපතල අභියෝගයකි. තමාගේ ආදිවාසීන් අනුභවකල තම්පලා ඇට භෝජනය වෙත යොමුවීමේ වැදගත්කම විවිධ ආයතන මගින් පෙන්වා දෙන විට, අපේ සමහර නාගරිකයින් මහත් කලබලයකින් ‘ගමේකෑම’ ගැන විපරම් කරන්නාක් සේ බොහෝ මෙක්සිකානුවන් දැන් ඇස්ටෙක් ශිෂ්ඨාචාරයේදී තම ආදිවාසීන්ගේ තම්පලා ඇට  ආහාරය සොයන්නට පටන්ගෙන ඇත. කැලයේ සැඟවී ගිය තම්පලා ප්‍රභේද සොයා යන ඔවුන් ඒවා එකතුකරමින් වාණිජ වගාවට සුදුසු මාදිලි බිහිකිරීමේ පර්යේෂණ පවා අරඹා තිබේ.

මෙයට ආධාර උපකාර කරන්නට සැදී පැහැදී සිටින සංවිධානයක විධායක අධ්‍යක්‍ෂ පෙටේ නොල් මහතා පවසා සිටින්නේ වසරක් පාසා දරුවන් 10,,000 කට වැඩියෙන් මන්දපෝෂණය නිසා මේ රටෙදී මියයන බවයි. ප්‍රාන්ත අතරින් සිව්වැනි දරිද්‍රතම ප්‍රාන්තය වන ‘ඔක්සකා’ හි සිට ඔහු ක්‍රියාත්මක වන්නේ එහි දැනටත් වෙසෙන්නේ ආදිවාසීන්ගෙන් පැවතෙන බහුතරයක් නිසාය. ඔවුනට සාම්ප්‍රදායික ආහාර පුරුදුකිරීම වඩාත් පහසුවනු ඇතැයි ඔහුගේ විශ්වාසයයි. 

කෙසේ වෙතත් තවත් ලතින් ඇමරිකානු රටක් වන පේරු රාජ්‍යයයේ ගොවියන් බීජ සඳහා  තවමත් තම්පලා වගා කරන අතර ඉන්දියාවේ, චීනයේ සහ නේපාලයේද ඇතැම් ප්‍රදේශ වල සුළුවෙන් වවා එහිම පාරිභෝජනය කරනු දැකිය හැකිය. වර්තමාන නාගරික සමාජය තවමත් තම්පලා ඇට කන්නේ කැඳ වර්ග පිළියෙළ කිරීමෙන්, බීජ කබලේ බැද පොරි සකස් කිරීමෙන් අනතුරුව පැණි හෝ චොක්ලට් සමග මිශ්‍රකර කෑම වර්ග සෑදීමෙන් වැනි නවීන සමාජයට ගැලපෙන ආහාර රටා වශයෙන් වුවත්, ඔවුහු සෑම විටකදීම, ප්‍රධාන ආහාරයක් ලෙස මෙම බෝගය ඉදිරියට ගැනීමේ හැකියාව පිළිබඳව අවතක්සේරුවක් නම් කරන්නේ නැත. මෙක්සිකෝවේ වගාකරන ප්‍රදේශ වල දැනට තම්පලා ඇට කිලෝවක මිල බඩඉරිඟු කිලෝවක මිල මෙන් හතර ගුණයක් තරම්ය. ඒ පිළිගැනීම පවා ලැබී ඇත්තේ මෙම බෝගය දරන අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ලයන්හි තුලිත බව ජනතාව විසින් මේ වනවිට අවබෝධ කරගෙන සිටීමයි.

එහෙත් අපට නම් මෙම ආහාරය හොඳටම අලුත් ප්‍රවෘතියකි. අපේ මුතුන් මිත්තන් රජකාලේදීවත් තම්පලා ඇට අනුභව කල බවක් සඳහන් වන්නේ නැත. 1977 වැනි අතීතයකදී පවා ජාත්‍යන්තරව ප්‍රකට ‘සයන්ස්’ සඟරාවේ පළවූ ලිපියක් මගින් ජීන් මාර්ක්ස් නමැති ලේඛකයා  ‘අනාගතයේ බෝගය’ (Crop of the Future) වශයෙන්ද මෙය හඳුන්වාදී තිබුනත්, මෙරට විද්වත් ඇස අත්දැකීමක් ලබාගැනීම උදෙසාවත් මේ වෙත යොමු නොවූයේ මන්දැයි සිතා ගැනීමටවත් නොහැකිය. පසුගිය ලිපියක් මගින් කුරක්කන් වෙතට වැඩි අවධානයක් යොමුකළ අප ඒ ගමනේ දිගුවක් ලෙස තම්පලාත්, ඉදිරි ලිපියකදී තවත් සුළු ධාන්‍ය බෝග කීපයකුත් සමාජයේ අවධානයට යොමුකරන්නට සිතුවේ, අද පවතින කෘෂිකාර්මික හා පෝෂණ ගැටළු කීපයකටම පහසු විසඳුම් එම බෝගයන් තුල සැඟවී තිබෙන නිසාය. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ විද්වත් ප්‍රජාව, ඇට අනුභව කළහැකි තම්පලා ප්‍රභේදයන් මෙහි නැත්නම් විදේශයකින් ගෙන්වා හෝ හඳුන්වාදීමත්, එහි ආහාර තාක්‍ෂණ ඒකකය විසින් කෑම වට්ටෝරු කීපයක් එලියට දමා ජනතාවගේ කෑම රුචිය තම්පලා වෙනුවෙන් ඇවිස්සීමටත් නොපමාව කටයුතු කරනු ඇතැයි අප බලාපොරොත්තු වෙමු.

තම්පලා විශේෂ 60 ක් පමණ ලොව පුරා විසිරී තිබේ. එහෙත් ආහාරයට ගතහැකි ආකාරයට බීජ නිපදවන්නේ ඉන් කීපයක් පමණය. ඒ අතරිනුත් විශේෂ තුනක් ප්‍රධානය. ඇමරැන්තේසේ කුලයට අයත් මෙහි උද්භිද විද්‍යාත්මක නම වනුයේ ඇමරැන්තස් ය. පොදු භාෂාවෙන් ඉංග්‍රීසියෙන් භාවිතා කරන්නේ  ඇමරැන්ත් (Amaranth) වශයෙනි. ගොයම්, තිරිඟු, බාර්ලි මෙන් මෙය තෘණ කුලයේ ශාකයක් නොවුනත් මෙහි ඇට පිසිනාවිට සුවඳින් වෙනත් ධාන්‍යයකට සමාන නිසා ‘ව්‍යාජ ධාන්‍යය’ (Pseudo cereal) යන නාමය ලොව පුරා මෙයට පටබැඳි තිබේ. කුරහන් ගැන කී පරිදිම මින් ලැබෙන පිෂ්ඨයේද ග්ලූටන් නම් ප්‍රෝටීනය අන්තර්ගත නැත. එනම් උදරයට හිතකර පිෂ්ඨ ප්‍රභේදයකි. පාන්පිටි වලින් පීඩා විඳින්නන්ටද ඒ අනුව සහනයකි. ඇමරිකාවේ ජාතික විද්‍යා ඇකඩමිය විසින් ඝර්ම කලාපික රටවල මිනිසුන්ගේ පෝෂණය හා ජීවන තත්වය උසස් කිරීම පිණිස යෝජනා කරනලද බෝග වර්ග 23 ක් අතරට තම්පලාද එකතුකර තිබීමෙන් ලෝක ප්‍රජාව කෙතරම් අවධානයකින් මේ ගැන සොයා බලා ඇතිදැයි මොනවට පැහැදිලිවේ.

මීට එක හේතුවක් වන්නේ තම්පලාහි ආහාර නිෂ්පාදන රටාව නොහොත් ප්‍රභාසංස්ලේෂණය සී-4 වර්ගයේ ක්‍රියාවලියක් වීමය. ලිපියේ අන්තර්ගතය සියුම් විද්‍යාවට වැඩිපුර නැඹුරු වෙන බැවින් එහි විස්තර දැන් ඉදිරිපත් නොකලත්, කිවයුතු වැදගත් කරුණක් වන්නේ සී-4 ශාක කටුක පරිසර වල පවා සාර්ථකව වැඩෙන බවත්, ගොයම්, තිරිඟු ආදී ශාක ඇතුල්වන සී-3 ශාක වලට වඩා වැඩි වියලි බරක් අස්වැන්න ලෙස මිනිසාට ලබා දෙන බවත්ය. තවත් හේතුවක් වන්නේ තම්පලාහි ඇති ප්‍රෝටීන සංයුතියයි. දැන් බොහෝ දෙනා නිර්මාංශ ආහාරයන්ට පෙළඹෙන කාලයකි. ආගමික හේතූන් මතද, කන දෙයක් පාලනයකින් යුතුව කරගත නොහැකි නිසා ලෙඩරෝග ගැන ඇති බිය නිසාද, කිසිදු හේතුවක් නැත්නම් මෝස්තරයක් වශයෙන්ද, ලෝකයේ හතර වටේම වෙසෙන්නන් කොටසක්  නිර්මාංශ වෙමින් සිටී. මිනිස් දේහය ශාක පමණක් අනුභවයට සකස් වූවක් නොවේ. ජීර්ණ පද්ධතියේ ව්‍යුහය, එය තුල ඇති එන්සයිම ආදී සියල්ල සාක්ෂි සපයන්නේ මානවයා සත්ව ප්‍රෝටීනද ඉල්ලා සිටින ජීවියෙකු බවයි.

නමුත් අප සමාජයීය හේතූන් පෙරට දමමින් සත්ව ප්‍රෝටීන අනුභවය මග හරින්නේ නම්, නිර්මාංශිකයින් බොහෝවිට ප්‍රෝටීන ඌනතාවයකට හසුවන බවටද විද්‍යාත්මක මතයක් පවතී. ඊට හේතුව ධාන්‍ය ප්‍රෝටීන් හරහා අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල සියල්ල ශරීරගත වන්නේ නැති වීමයි. හොඳ උදාහරණයක් වන්නේ ‘ලයිසීන්’ය. ඇමයිනෝ අම්ල යනු දේහය තුල ප්‍රෝටීන ජීර්ණය සම්පූර්ණ වූ පසු ලැබෙන අවසන් ප්‍රතිපලයයි. ‘ලයිසීන්’ යනු තිරිඟු, ඉරිඟු ආදී ධාන්‍ය වර්ග වල නොමැති, සිරුරට අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ලයකි. එය කෙතරම් අත්‍යවශ්‍ය වුවත් දේහයට තනිවම මෙය නිපදවා ගත නොහැකි අතර සාමාන්‍ය ක්‍රමය වන්නේ සත්ව ප්‍රෝටීන හරහා ශරීරයට ඇතුල්වීමයි. ඒ නිසා සත්ව ප්‍රෝටීන මිලදී ගත නොහැකි, ධාන්‍ය මගින් ප්‍රධාන වශයෙන්ම කුසගින්න නිවාගන්නා ඇතැම් දිළිඳු රටවල ජනයාත්, අතමිට යහමින් තිබියදීත් ස්වේච්ඡාවෙන් නිර්මාංශ වූ අයත් ප්‍රෝටීන අසමතුලිතතාවයකට ගොදුරුවීම ස්වභාවිකය.

මෙම අඩුපාඩුව සපුරාගැනීම උදෙසා විද්වත්තු ක්‍රමවේදයන් දෙකක් යෝජනා කරති. එක්කෝ බෝග වර්ග මුහුම් කරමින් නව මාදිලි බිහිකරමින් බෝගවල ප්‍රෝටීන සංයුතිය වෙනස්කර ඌනතාවය මගහැර ගත යුතුය. නැතහොත් ආදිවාසී ජනතාව භාවිතාකල බෝග නැවත සොයාගෙන අනුභව කල යුතුවේ. පුදුමය නම් තම්පලා බීජ තුල ‘ලයිසීන්’ අන්තර්ගත වීමය!! එසේනම් ප්‍රෝටීන හිඟ ඌන සංවර්ධිත රටවල මස්මාලු කන්නට යහමින් මුදල් නැති සුළු පරිමාන ගොවිතැනකින් ජීවත්වෙන ජනතාවට මෙය ආශීර්වාදයක් නොවේද?

ඇමරිකාවේ දකුණු කැරොලිනා වෛද්‍ය විශ්ව විද්‍යාලයේ ජෝන් රොබ්සන් වරෙක පවසා තිබුනේ, දියුණු රටවල බිහිකරන කෘෂිකර්ම රටාවන්, සංවර්ධනය වෙමින් පවතින රටවලට ආදේශකර, ඒවාට ලාක්ෂණික සම්ප්‍රදායික බෝග විස්ථාපනය කිරීමට කටයුතු කිරීම, බලවතුන් අතින් සිදුවූ අත්වැරැද්දක් බවත්, කලයුත්තේ ඒ ඒ රටවලට අයත් සම්ප්‍රදායික බෝග ඉදිරියට ගැනීම බවත්ය. කෙසේ වෙතත් මේ අත්වැරැද්ද ගැන ඔවුන් ප්‍රසිද්ධියේ නිතර පවසන්නේ නැත. අපේ අය ඒ වෙනුවෙන් වන්දි ඉල්ලන්නේත් නැත. ඔලමොට්ටල කමේ තරම කෙසේද යත්, වරද හදාගෙන ඉන් මිදී නිවැරදි මාවතට පිවිස ඉදිරියට යාමට වුවත් ඇත්තේ ඇල්මැරුණු උනන්දුවක් වීමය. තැම්බූ තම්පලා ඇට ග්‍රෑම් 250 ක් හෙවත් කෝප්පයක් කිලෝ කැලරි 250 ක් ශක්තියක් දෙනවාට අමතරව ප්‍රෝටීන්, තන්තු ඛනිජ ආදී බොහෝ දෑ සපයයි. තම්පලා ඇට වල තන්තු ප්‍රමාණය තිරිඟු වල මෙන් තුන් ගුණයක් වන අතර, අන්තර්ගත යකඩ නම්, තිරිඟු වල මෙන් පස් ගුණයකි.

“ලෝක සෞඛ්‍ය සංවිධානය තම්පලා ඇට ආහාරයට ගැනීම අනුමත කර තිබෙනවා ඉතාමත් තුලිත ආහාරයක් වශයෙන්. නාසා ආයතනය පවා පිළිගෙන තිබෙනවා අභ්‍යවකාශ චාරිකාවල යෙදෙන්නන්ට පවා මෙය සුදුසු ආහාරයක් බවට. ඒ නිසා ඔවුන්ගේ කෑම වට්ටෝරුවලත් මෙය අන්තර්ගතයි.” මෙක්සිකෝවේ අගනුවර වන ‘මෙක්සිකෝ සිටි’ හි වෛද්‍යවරයෙකු මෙන්ම පෝෂණ විශේෂඥයෙකු වන ෆ්ලොරීසා බාක්වේරා පවසා සීටී.

ඉහත සඳහන් ප්‍රමාණය ලබාගැනීම සඳහා ඇට ග්‍රෑම් 65 ක් පොඟවා තැම්බීම ප්‍රමාණවත්වේ. පෙඟවීම අවශ්‍ය බවට කරුණු වාර්තා වන්නේ ටැනින් වැනි ශරීරයට අහිතකර සංයෝගයන් තිබේනම් ඒවා පැය 5 ක් පෙඟවීමෙන් හා භාවිතයට පෙර පැය 24 ක් පමණ තැබීමෙන් විනාශ වී යන නිසාය. මෙවැනි කරුණු පවා අද භාවිතා කෙරෙන්නේ පෞරාණික දත්තයන් ඇසුරෙනි. හොඳින් පිස අනුභව කළා මිස අමුවෙන් තම්පලා ඇට කෑ බවට කිසිදු වාර්තාවක්ද නැත. අනෙක් අතට මේ කන්නේ සම්පූර්ණ ඇටය නොහොත් නොපාහින ලද ආහාරයකි. අද හැමෝම සොයන්නෙත් එයමය. දෙවියන්ගේ මැවීම කෙතරම් සුන්දරද යත් මේ ඇටය පාහින්නට බැරිය. මන්දයත් ඒ තරමට එය කුඩා බැවිනි. කුරහන් ඇටයෙනුත් අප මේ වාසිය ලැබූ අතර තම්පලා සම්බන්ධයෙන් නම් ඇට පෑහීම ගැන කතාකල යුතුම නැත. ගොවියාගේ පැත්තෙන් බැලුවත් මෙය වගාවක් වශයෙන් පවත්වා ගැනීම කෙතරම් පහසුද යන්න වහ වහා අපගේ කෘෂි විද්වතුන්ගේ අවධානයට යොමුවන්නේ නම් විස්මිත බෝගයක ආගමනයට වැඩි දුරක් තිබිය නොහැකිය. මෙහි බීජ අවශ්‍යතාවය හෙක්ටයාරයකටම කිලෝ එකකි. තම්පලා වවන හැටි අපේ ජනතාවට කියාදෙන්නට අවශ්‍ය නොවේ. යන්තම් පස පහුරුගා මෙම සියුම් බීජ වර්ගය ඉස, භූමියට ජල සම්පාදනය කිරීම හොඳටම ප්‍රමාණවත්ය.

ශාකයට වැඩිපුර ඇත්තේ රළු පරිසරයක වැඩීමට උවමනා ලක්ෂණ නිසා රෝග, පලිබෝධකයින් යනාදිය ඉතා පහසුවෙන් ජය ගන්නවා ඇත. වෙනකක් තබා මෑතකදී ගන්නොරුවෙදී කල කෙටි අධ්‍යයනයකදී පෙනීගොස් ඇත්තේ බෝග 100 ක් කනවායයි ලොවපුරා භීතිය පැතිරවූ සේනා දළඹුවාවත් තම්පලා නොකන බවය! වෙලාවේ හැටියට එය කෙතරම් අස්වැසිල්ලක්ද? කිලෝ එකක් පමණ බරට ඇතැම්විට හටගන්නා කරලක ඇට ලක්ෂයකට වඩා තිබෙන මෙම විස්මිත බෝගයෙන් පිලියල කල ආහාර අනුභවයට, ගගනගාමීන් පවා සූදානම්වෙත්දී පලා කොලයක් ලෙස ලපටි විටදී කඩා නොගත්තේ නම්, අපට නම් මෙය මල් පිපී ඇට හැදුන පසු වහ වහා උදලු ගා දැමිය යුතු වල්පැලයකි. එයයි අවාසනාව.!!

Recommended For You

About the Author: Editor