ජනපති දුන් පැය 24 ඉකුත් වීමට ආසන්නයි : පොලිස්පති – ආරක්ෂක ලේකම් තවමත් පුටුවල ?

පොලිස්පතිවරයාට සහ ආරක්ෂක ලේකම්වරයාට වහාම ඉල්ලා අස්වන ලෙස ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් දැනුම් දී ඇතැයි වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් ජනපතිවරයා විසින් අගමැතිවරයාව ද දැනුවත් කර ඇති බව ද එම වාර්තා වැඩි දුරටත් සඳහන් කරයි.

ඊයේ රාත‍්‍රියේ ජාතිය අමතා විශේෂ ප‍්‍රකාශයක් කළ ජනපතිවරයා අවධාරණය කර සිටියේ පැය 24ක් තුළ ආරක්ෂාව සම්බන්ධ ඉහළ පුටුවල වෙනසක් කරන බවයි.

එහෙත් අද සවස වන විටත් ජනමාධ්‍ය වාර්තා කළේ පොලිස්පති පූජිත ජයසුන්දර මහතා ඉල්ලා අස්වීමට කිසිඳු සූදානමක් ඒ අවස්ථාව වන විටත් දක්වා නොතිබූ බවයි.

මේ අතර ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු මහතාට ද වහාම ඉල්ලා අස්වන ලෙස දැනුම් දුන්න ද අද සවස වන විටත් ඒ මහතා තම ඉල්ලා අස්වීමේ ලිපිය ජනපතිවරයා වෙත භාර දී නොතිබූ බව වාර්තා වේ.

හේමරිසි ප‍්‍රනාන්දු මහතා ඉල්ලා අස්වූ පසු ඒ සඳහා හිටපු යුද්ධ හමුදාපති ජෙනරාල් දයා රත්නායක මහතා පත් කිරීමේ සූදානමක් පිළිබඳව ද සවස් භාගය වන විට ජනමාධ්‍ය තුළ අනුමාන පළ වෙමින් තිබිණි.

මේ අතර හිටපු ඇමැති විජේදාස රාජපක්ෂ මහතා විසින් පොලිස්පතිවරයා සහ ආරක්ෂක ලේකම්වරයා වහාම අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා ජනපතිවරයාට ලිපියක් යැවූ බව ද මාධ්‍ය වාර්තාකර තිබුණි.

මේ අතර ආරක්ෂක ලේකම්වරයා ඉල්ලා අස්වී ඇතැයි නිල නොවන වාර්තා ද පළ වෙමින් තිබේ.

Recommended For You

About the Author: Editor