-යල කන්නයට පෙරවදනක්- ‘කේතය’ බලා කුඹුරේ වල්නාශකය තෝරන්න

වෙළඳ නමට යටින් රතුපාටින් ඉංග්‍රීසි අකුරක් ලේබලයේ : කේතය කියවා කෙත සුවපත් කරගනිමු

තලගොඩ වී පර්යේෂණායතනයේ වල් පැළෑටි විද්‍යාව පිලිබඳ පර්යේෂකයෙක් වූ, සහකාර කෘෂිකර්ම අධ්‍යක්‍ෂ (පර්යේෂණ) ආර්. එම්. යූ. එස්. බණ්ඩාර

පරිසර හිතකාමී ගොවිතැනක නියැලුණු පැරණි වී ගොවියා, පුර වැඩීමේ සිට වී අටුකොටුවල ගබඩා කරනතෙක් සිදුකල ක්‍රියාකාරකම් අද දවසේ විද්‍යානුකූලව විමසා බැලීමේදීත් පෙනෙන්නේ සියලු පාර්ශවයන් කෙරෙහි වූ සාධාරණත්වයයි.

භූමිය අස්වද්දා පරිසරය සතු යමක් ධාන්‍යය බවට පෙරලා ගෙට ගත්තද, ඒ වෙනුවෙන් කිසිදු හානියක්, හෝ අඩුතරමින් අසහනයක්වත් ඔහු විසින් පරසරය වෙත මුදාහැරියේ නැත. කුඹුරක වැඩ පටන් ගැනීමේදී කෙරෙන වල් මර්දනය පවා, ඉපනැල්ලට ජලය බැඳ, සියලු ශාක කොටස් කුනුවෙන්නට සලස්වා පසේ සංයුතියේ පෝෂ්‍ය පදාර්ථ ගොඩනැගීමක් ලෙස අවසන් කරන්නට ඔවුහු පුරුදුවී සිටියහ. ආරම්භක ජීව්‍ය වල්බීජ සාන්ද්‍රණය මේ නිසා අවමයක පිහිටි බැවින් සාමූහිකව එකතුවී සිදුකරන ‘ගොයමේ වල් නෙලීමට’  වැඩි බරක් තැබීමද අවශ්‍යය නොවුනි. කෙසේ වෙතත් වර්තමානයේ ඇති ශ්‍රම ඌනතාවයත්, බොහෝ වී ගොවියන් පූර්ණකාලීන ගොවියන් නොව ‘පාර්ට් ටයිම්’ ගොවියන් නිසාත්, කෙටි කාලයකින් කුඹුරේ වැඩටික නිමාකර වෙනත් කටයුත්තකට යාම ජීවන රටාවේ එක පියවරක් වී තිබේ. මේ හේතුවෙන් වල් මර්දනය පමණක් නොව වෙනත් බොහොමයක් කටයුතු වලදී තිරසාර නොවුනත් ‘කෙටි ක්‍රම’ වෙතට ගොවියාව කැඳවාගෙන යනු ලබයි.

වල් නාශක නමැති රසායන ද්‍රව්‍යයන් වැඩි වැඩියෙන් භාවිතයට ගොවියා නැඹුරු වන්නේ මේ නිසාවෙනි. එයද සිදුවන්නේ නිර්දේශයානුකූලව නොව හදිස්සියටය. සිදුවෙන අඩුපාඩු යම් තරමකට හෝ අඩුකිරීමේ අදහස පෙරදැරිව, බතලගොඩ වී පර්යේෂණායතනයේ වල් පැළෑටි විද්‍යාව පිලිබඳ පර්යේෂකයෙක් වූ, සහකාර කෘෂිකර්ම අධ්‍යක්‍ෂ (පර්යේෂණ) ආර්. එම්. යූ. එස්. බණ්ඩාර මහතා ක්‍රියාකාරිත්වය පදනම්ව කුඹුරේ වල් නාශකය තෝරා ගැනීමේ අවශ්‍යතාවය අවධාරණය කර සිටී.

“ඕනෑම තැනක තිබෙන වල් පැළෑටියකට එකම රටාවකට විෂවෙන වල්නාශකයක් දිගින් දිගටම යෙදුවහොත් එතන යම් ඔරොත්තුදීමේ ගතිගුණයක් ගොඩනැගෙනවා. මෙහෙම වෙන්නේ පැළෑටියේ සිදුවෙන වෙනස්කම් මගින් අදාළ වල්නාශකයට ඔරොත්තු දෙන ‘ජීව දර්ශ’ (Bio Types) බිහිවීම නිසා. මේ නිසා අපි නිර්දේශ කරන්නේ එක කන්නයක් යම්කිසි වල්නාශකයක් යෙදුවයින් පසු ඊළඟ කන්නයේදී වෙනත් ආකාරයට විෂවෙන නාශකයක් යොදන්නයි.”

ඔහු පැහැදිලි කරන තොරතුර සරලව මෙසේය. යම්කිසි රසායන ද්‍රව්‍යයක් වල් ශාකයේ සෛල බෙදීම අවහිර කරමින් ශාකය මරා දැම්මා යයි සිතමු. ගොවි ජනතාවගේ දැනගැනීම සඳහා මෙම ක්‍රියා පිළිවෙතට (Mode of action) කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් K නමැති සංකේතය හඳුන්වාදී තිබේ. එය වල්නාශක බෝතලයේ ලේබලයේ ‘කේතය’ වශයෙන් සඳහන්ව ඇත. වගාකරු නම පමණක් බලා වල්නාශකයක් මිලදී ගන්නවාට අමතරව එය දරන්නේ තමා පසුගිය කන්නයේදී මිලදී ගත් නාශක දියරයේ කේතයම දැයි පරීක්ෂා කල යුතුය. මන්දයත් එකම කේතය දරන වල්නාශක වෙනස් වෙළඳ නම් වලින් අලෙවිසැලේ ඇති බැවිනි. තවත් උදාහරණයක් ගතහොත්, ශාකයේ ප්‍රභාසංස්ලේෂණය නොහොත් ආහාර නිපදවීම අවහිර කරමින් වල්පැළෑටිය මරා දමන රසායනයකට දී ඇති කේතය වන්නේ C සංකේතයයි. කලින් වගා කන්නයෙදීත් මෙම කේතය සහිත වල්නාශක යෙදුවේනම් මෙවරත් එවැනිම රසායනයම යෙදීම හරහා සම්පූර්ණ වල් මර්දනයක් නොවිය හැකි බව බණ්ඩාර මහතා පවසයි.

“වල් නාශක මාරුව” (Herbicide Rotation) කියල හඳුන්වන්නේ මෙම ක්‍රියාවලියයි. ලංකාවේ ලියාපදිංචි කර තිබෙන වල්නාශක වලට මේ අනුව කේතයක් දී තිබෙනවා. මෙය බෝතලයේ ඇති ලේබලය මත වල්නාශකයේ නමට යටින් රතුපාටින් මුද්‍රණය කරලා තිබෙනවා. ක්‍රියාකාරිත්වය වචනයෙන් පැවසීමට වඩා ගොවීන්ට පහසු වෙන්නයි මෙවැනි කේත ක්‍රමයක් අනුගමනය කරලා තියෙන්නේ. අපි උපදෙස් දෙන්නේ එකම කේතය සහිත වල්නාශක නැවත නැවත කුඹුරට යොදන්න එපා කියලයි.”

කිසිදු නාශක දියරයකට අයත් නැති සාම්පල ලේබලයක් මෙහි පළකර තිබේ. එහි පවතින කේතයට අනුව F කේතය මගින් ශාකයේ වර්ණක සෑදීම නිශේධනය කරන බව හැඟවෙන අතර C කේතය මගින් පෙර පැවසූ පරිදිම සිදුවන්නේ ආහාර නිපදවීම අවහිර කිරීමයි. එසේනම් මෙම වල්නාශකය වනාහී එම ක්‍රියාකාරිත්වයන් දෙක මගින්ම වල්පැළයට පහරදෙන දියරයක් වේ.

එකක් වැරදුනොත් තව එකක් වශයෙන් කුඹුරට වල්නාශක යෙදීම අප අනුමත නොකරමු. මෙම රසායන ද්‍රව්‍යයන් පරිසරයට මුදාහැරිය යුත්තේ වෙන කරන්නට දෙයක් නැතිනම් පමණක් බව අප නැවත නැවතත් අවධාරණය කරමු. ඒ ගැන පරිසර විද්‍යාත්මකව පවා සිතා බලා, එක බෙහෙතකින්ම කෙත සුවපත් කරනු උදෙසා, කේතය හඳුන්වා දුන්නේද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවයි. එහි පලිබෝධනාශක නිර්දේශ කිරීමේ උප කමිටුවයි. වසදියර විකුණන පෞද්ගලික සමාගම් අදාළ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට බැඳී සිටී. එසේනම් එළඹෙන යල කන්නයේදී කුඹුරට ඉසින වල්නාශකය ‘කේතය’ කියවා තෝරා ගැනීම ඔබ සතු වගකීමකි.

සටහන –සනත් එම්. බණ්ඩාර

sanathmalka@hotmail.com

Recommended For You

About the Author: Editor