වී අලෙවි මණ්ඩලය වී මෙට්‍රික් ටොන් 50,000ක් මිලදී ගත්තා – අමාත්‍ය පී. හැරිසන්

වී අලෙවි මණ්ඩලය මඟින් මෙවර මහ කන්නයේ අස්වැන්නෙන් වී මෙට්‍රික් ටොන් 50,000ක් මිලදී ගෙන ඇති බව කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය පී. හැරිසන් මහතා සඳහන් කරයි.

එහිදී වැඩිම අස්වැන්නක් මිලදී ගැනිම අම්පාරෙන් වාර්තා වන අතර නාඩු වී මෙට්‍රික් ටොන් 8751ක්ද, සම්බා වී මෙට්‍රික් ටොන් 2703ක්ද, අම්පාර දිස්ත්‍රික්කයෙන් මණ්ඩලය මිලට ගෙන ඇත.

අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් සම්බා වී මෙට්‍රික් ටොන් 6172ක්ද, නාඩු වී මෙට්‍රික් ටොන් 1002ක්ද මිලට ගෙන ඇති අතර හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් නාඩු වී මෙට්‍රික් ටොන් 8542ක්ද, මුලතිව් දිස්ත්‍රික්කයෙන් නාඩු වී මෙට්‍රික් ටොන් 2857ක්ද, වව්නියාව දිස්ත්‍රික්කයෙන් නාඩු වී මෙට්‍රික් ටොන් 2634ක්ද, කිලිනොච්චි දිස්ත්‍රික්කයෙන් නාඩු වී මෙට්‍රික් ටොන් 2620ක්ද මණ්ඩලය විසින් මිලට ගෙන ඇත.

පොළොන්නරුව, අම්පාර, මාතලේ, කුරුණෑගල, පුත්තලම, ගම්පහ, මහනුවර, බදුල්ල, කිලිනොච්චිය, මුලතිව්, වව්නියාව, යාපනය, මන්නාරම, අනුරාධපුර, හම්බන්තොට, මොනරාගල, රත්නපුර, මඩකලපුව, ත්‍රිකුණාමලය ඇතුළු දිස්ත්‍රික්ක 20ක වී මිලදී ගැනීම මණ්ඩලය විසින් සිදුකරගෙන යනු ලබන අතර සම්බා වී කිලෝග්‍රෑම් 01ක් රු.41කට ද, නාඩු වී කිලෝග්‍රෑම් 01ක් රු.38ක් බැගින් මණ්ඩලය සහතික මිලට වී මිලදී ගනු ලබයි.

වී මිලදී ගැනීම සඳහා රජය මඟින් රු. මිලියන 5000ක් වෙන් කොට ඇති අතර ඒ ඒ දිස්ත්‍රික්කයන්හි දිස්ත්‍රික් ලේකම්වරු හරහා වී මිලදී ගැනීමට මුදල් වෙන් කර ඇත.

Recommended For You

About the Author: Editor