සම්පත් බැංකුවෙන් කලාවට අත හිත

ශ්‍රී ලාංකේය කලා ක්ෂේත්‍රයේ සම්මානනීය කලාකරුවන් අතරට තවත් සම්මානනීය කලාකරුවන්, කලාකාරිණියන් රැසක් දායාදා කරමින් 15 වන රයිගම් ටෙලීස් සම්මාන උළෙල පසුගියදා ඉතා සාර්ථකව නිමාව දැකීය.

මෙරට කලා ක්ෂේත්‍රය හා සම්බන්ධ කලාකරුවන්, කලාකාරිණියන් සහ ටෙලි නාට්‍ය කලාව හා සම්බන්ධ අනෙකුත් ශිල්පීන්ගේ හැකියාවන් හා දක්ෂතාවන් අගයනු වස් රයිගම් සමූහ ව්‍යාපාරය විසින් 15 වන වරට සංවිධානය කරන ලද රයිගම් ටෙලීස් හි සහයෝගීතා හවුල්කරු ලෙස කටයුතු කරනු ලැබුවේ සම්පත් බැංකුවයි. සම්පත් බැංකුව අඛණ්ඩව වසර 9ක් තිස්සේ එහි සහයෝගීතා හවුල්කරු ලෙස කටයුතු කරනු ලබයි.

මෙරට මූල්‍ය ක්ෂේත්‍රය තුළ නව්‍යකරණ බැංකු සේවාවන්හි ප්‍රමුඛයා ලෙස සැළකෙන සම්පත් බැංකුව නිරන්තරයෙන් ගනුදෙනුකරුවන්ට අවශ්‍ය මූල්‍ය විසඳුම් ලබා දෙන අතරම, බැංකු කටයුතු වලින් ඔබ්බට යමින් විවිධාකාරයේ සමාජ සත්කාරක වැඩසටහන් දියත් කරනු ලබයි. රයිගම් ටෙලීස්හි සහයෝගීතා හවුල්කරු ලෙස සම්පත් බැංකුව වසර 9ක් තිස්සේ ඉටු කරනු ලැබුවේද එකී ආයතනික සමාජ සත්කාරකත්වයේ සුවිශේෂී දායකත්වයයි.

විශේෂයෙන් මෙරට කලාව හා කලාකරුවන් වෙනුවෙන් ජාතික බැංකුවක් ලෙස සුවිසල් කාර්යභාරයක් ඉටු කිරීම වෙනුවෙන් වරින් වර සම්පත් බැංකුව විවිධ වැඩපිළිවෙල දියත් කළ අතර එහි සුවිශේෂී අවස්ථාවක් ලෙස රයිගම් ටෙලීස් හඳුන්වා දිය හැකිය. මේ හරහා කලාකරුවන් සහ ටෙලි නාට්‍ය කලාව හා සම්බන්ධ සියලු කලා ශිල්පීන් ඇගයීමට ලක් කිරීම පමණක් නොව ශ්‍රී ලාංකේය කලාවේ උන්නතිය වෙනුවෙන් ඔවුන් සිදු කරන මෙහෙවර සඳහා ජාතික බැංකුවක් ලෙස දායකත්වය දැක්වීමද සම්පත් බැංකුවේ අරමුණ වී ඇත. කලා ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් ජාතික බැංකුවක් ලෙස සිදු කළ හැකි කාර්ය භාරය පිළිබඳවද සම්පත් බැංකුව වඩාත් විමසිලිමත්ව සිටින අතර ඉදිරියේදී මෙරට කලාවේ උන්නතිය වෙනුවෙන් තවත් සුවිසල් මැදිහත්වීමක් සිදු කිරීම වෙනුවෙන් සම්පත් බැංකුව කටයුතු කරමින් සිටින්නේ සිය ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් තුළද ඒ සඳහා වැඩි ඉඩකඩක් වෙන් කරමිනි.

මේ පිළිබඳව අදහස් දැක්වූ සම්පත් බැංකුවේ පාරිභෝගික බැංකුකරණ පිළිබඳ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී තාරක රන්වල මහතා “කලාව කියන්නේ මිනිසාගේ එදිනෙදා ජීවිතයට අවශ්‍යම අංගයක්. මානසික සහනය වගේම, දැනුම, අවබෝධය, රසවින්දය වැනි බොහෝ දේ කලාව තුළින් ලබා ගත හැකියි. එදා සිට අද දක්වාම විශිෂ්ට කලා නිර්මාණ ලොවට දායාද කර ඇති අපගේ කලාකරුවන් නිර්මාණශීලී පිරිසක් ලෙස ජාත්‍යන්තර ඇගයීම් පවා හිමි කරගෙන තිබෙනවා. විශේෂයෙන් කලාකරුවන් කියන්නේ රටකට සම්පතක්. ඒ සම්පත අපි ආරක්ෂා කළ යුතුයි. ඔවුන් වෙනුවෙන් පෙනී සිටිය යුතුයි. එය නිර්මාණශීලී ශ්‍රී ලාංකේය ප්‍රජාවක් වෙනුවෙන් සිදු කරන ලද ආයෝජනයක්.” යනුවෙන් පැවසීය.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ රන්වල මහතා “ජාතික බැංකුවක් විදියට මෙරට කලාවේ උන්නතිය වෙනුවෙන් යම් කාර්යභාරයක් සිදු කිරීමේ දැඩි අවශ්‍යතාව සම්පත් බැංකුවට තිබුණත් මානව සම්පත හා නිපුණතාව යන සාධක මත ඒ සඳහා ඍජුව මැදිහත් වීමට තරම් ප්‍රවීණත්වයක් හෝ හැකියාවක් අපට තිබුණේ නැහැ. ඒ නිසයි ඒ සඳහා සුවිශේෂී හැකියාවක් සහිත, අත්දැකීම් සපිරි පුරෝගාමී ආයතනයක් සමඟ එකතු වෙන්න අපි තීරණය කළේ. ඒ අනුව තමයි සම්පත් බැංකුව රයිගම් ටෙලීස්හි සහයෝගීතා හවුල්කරු විදියට එකතු වුණේ. ජාතික බැංකුවක් විදියට මූල්‍ය සේවාවලින් ඔබ්බට ගොස් ශ්‍රී ලාංකේය කලාව වෙනුවෙන් මේ ආකාරයේ දායකත්වයක් දැක්වීමට ලැබීම පිළිබඳ ඉතාමත් සතුටුයි. එම අවස්ථාව අඛණ්ඩව වසර 9ක් අප වෙත ලබා දීම පිළිබඳ රයිගම් සමූහයටත් මාගේ ස්තුතිය පුද කිරීමට කැමතියි” යනුවෙන්ද පවසා සිටින ලදී.

රයිගම් ටෙලීස් ටෙලි සම්මාන උළෙලේදී මෙරට ටෙලි නාට්‍ය කලාව වෙනුවෙන් විශිෂ්ඨ දායකත්වයක් දැක්වූ කලාකරුවන්, කලාකාරිණියන් සහ නිර්මාණ ශිල්පීන් විවිධ කාණ්ඩයන් යටතේ සම්මාන හිමි කර දෙමින් ඇගයීමට ලක්කළ අතර සම්පත් බැංකුව එහි සහයෝගීතා සහකරු ලෙස රුපියල් මිලියන 4කට ආසන්න මුදලක් ජයග්‍රාහකයන්ගේ ත්‍යාග මුදල් වෙනුවෙන් වැයකර තිබීමද විශේෂත්වයකි.

Recommended For You

About the Author: Editor