හෙළබොජුන් හලට පැමිණි වට්ටක්කා සාර රසය

වෙළඳපොළට වැඩි වැඩියෙන් වට්ටක්කා පලදාව පැමිණීමත් සමග මතුවූ අලෙවි ගැටලු සමනය කිරීමේ එක පියවරක් වශයෙන් වට්ටක්කා ආශ්‍රිතව පිලියෙළ කරන ලද කෑම වර්ග ප්‍රචලිත කිරීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ආහාර තාක්ෂණ ඒකකය පියවර ගනිමින් සිටී.

මෙහි නිපැයුමක් වශයෙන් මෑතකදී එළි දැක්වූ ‘වට්ටක්කා සාර රසය’ (Cream of Pumpkin Soup) නමැති වට්ටක්කා සුප් වර්ගය, හඳුන්වාදුන් සෑම තැනකදීම ඉහළ ජන ප්‍රසාදයක් අත්කරගත් පානයක් වේ.

හෙළබොජුන් අලෙවිසැල්වලට මෙය හඳුන්වාදීමේ පියවරක් පසුගියදා පේරාදෙණියේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේ පිහිටි අවන්හලේදී ක්‍රියාත්මක විය.

ආහාර තාක්‍ෂණ ඒකකයේ නිලධාරීන් විසින් පැමිණ සිටි පාරිභෝගිකයින් උදෙසා උණු උණුවේ පිළියෙළ කල වට්ටක්කා සාර රසය බෙදා දෙන ලදී.

කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජනරාල් ඩබ්ලිව්. එම්. ඩබ්ලිව්. වීරකෝන් මහතා ඇතුළු දෙපාර්තමේන්තු නිලධාරීන්ද, සරසවි සිසුන්ද, ඇතුළු ඒ මොහොතේ හෙළබොජුන් අවන්හලේ සිටි ජනතාව මෙම පානය රසවිඳි අතර, එය පිළියෙළ කිරීමේ ක්‍රමවේදය ඇතුලත් විස්තර පත්‍රිකාවක්ද බෙදා දෙන ලදී.

පාරිභෝගික ප්‍රතිචාරය කෙබඳුදැයි දැනගැනීම උදෙසා බෙදාහැරි ප්‍රතිචාර කූපනයට පිළිතුරු දුන් සියලුදෙනාම පාහේ, ඉතා අනගි රසවත් ආහාරක් වශයෙන් මෙය ඉහළ ශ්‍රේණියක තබා තිබු බව ආහාර තාක්ෂණ ඒකකයේ ප්‍රධානී අනෝමා සේනාරත්න මෙනෙවිය පැවසුවාය.

ලිපිනය සහිත මුද්දර කවරයක්, ‘ආහාර තාක්ෂණ ඒකකය, ගන්නොරුව, පේරාදෙණිය’ යන ලිපිනයට එවීමෙන් ඔබටද මෙම විස්තර පත්‍රිකාව ගෙදරටම ගෙන්වාගත හැකිය. 

සටහන – සනත් එම්. බණ්ඩාර

Recommended For You

About the Author: Editor