ආරක්ෂක ලේකම් පමණක් ඉල්ලා අස්වෙයි : පොලිස්පති තවමත් කල්යල් බලයි

ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු මහතා තම ඉල්ලා අස්වීමේ ලිපිය අද සවස ජනපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා වෙත භාර දී ඇතැයි වාර්තා වේ.

හේමසිරි ප‍්‍රනාන්දු මහතා තම ඉල්ලා අස්වීමේ ලිපිය මගින් පාස්කු ඉරිදා ප‍්‍රහාරයේ වගකීම භා ගනිමින් තමා ඉල්ලා අස්වන බව සඳහන් කර ඇතැයි ජනපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

නව ආරක්ෂක ලේකම් ධූරය සඳහා හිටපු පොලිස්පති එන්.කේ. ඉංගකෝන් මහතාගේ සහ හිටපු යුද්ධ හමුදාපති ලූතිනන් ජෙනරාල් දයා රත්නායක මහතාගේ නම් යෝජනා වී ඇතැයි ද වාර්තා වේ.

ජනපතිවරයා පසුගිය 23 වැනිදා ජාතිය අමතා විශේෂ ප‍්‍රකාශයක් කරමින් ජාතික ආරක්ෂාව සම්බන්ධ මුල් පුටුවල වෙනසක් පැය 24ක් තුළ සිදු කරන බව සඳහන් කළේය. එහෙත් අපේක්ෂා කළ ආකාරයෙන් ඊයේ (24) ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා හෝ පොලිස්පතිවරයා සිය ඉල්ලා අස්වීමේ ලිපි භාර දී නොතිබීම ගැන දේශපාලන අංශවල සහ ජනතාව අතර දැඩි කණස්සල්ලක් පළ විය.

ඉල්ලා අස්වන ලෙස කීවත් පොලිස්පති තවමත් පුටුවේ

මේ අතර පාස්කු ඉරිදා ප‍්‍රහාරයේ වගකීම භාර ගෙන වහාම ඉල්ලා අස්වන ලෙස ජනපතිවරයා, අගමැතිවරයා සහ මුළු කැබිනට් මණ්ඩලයම ඉල්ලා සිටිය ද පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා මේ දක්වා තම ඉල්ලා අස්වීමේ ලිපිය ජනපතිවරයා වෙත භාර දී නැතැයි වාර්තා වේ.

පොලිස්පතිවරයාට වහාම ඉල්ලා අස්වන ලෙස ජනපතිවරයා, අගමැතිවරයා, කැබිනට් මණ්ඩලය ද දැනුම් දී ඇතැයි වාර්තාවේ. මේ සාමාන්‍ය ජනතාව අතර ද පොලිස්පතිවරයා සම්බන්ධයෙන් දැඩි අප‍්‍රසාදයක් පවතී.

මේ තත්ත්වය මත පොලිස්පතිවරයා ඉල්ලා අස්නොවීම පිළිබඳව ජනතාව ද දැඩි කණස්සල්ල පළ කරති.

මේ අතර නීතිවේදීන් පෙන්වා දෙන්නේ පොලිස්පතිවරයා ඉවත් කිරීමට ජනපතිවරයාට කිසිදු බලයක් නොමැති බවයි. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව පොලිස්පතිවරයා ඉවත් කිරීමේ බලය ඇත්තේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශ මත පාර්ලිමේන්තුවටය.

Recommended For You

About the Author: Editor