පොලීසියේ සහ ති‍්‍රවිධ හමුදාවේ 10,000ක් විශේෂ රාජකාරියේ

ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු මහතා ඊයේ (25) සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනපතිවරයාට භාර දුන් බව වාර්තා වුණා. ඒ මහතා ඉල්ලා අස්වීමට පෙර ඊයේ මාධ්‍ය නිවේදනයක් ද (ජාතික ආරක්ෂාව සම්බන්ධ) නිකුත් කර තිබුණා. මේ එම මාධ්‍ය නිවේදනයයි.

හදිසි නීති රෙගුලාසි බලාත්මක කිරීම හා අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි විශේෂිත ආරක්ෂිත වැඩසටහන් දියත් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මේ වන විට පොලිස් නිලධාරීන්ට අමතරව ත්‍රිවිධ හමුදා නිලධාරීන් 10,000 කට අධික පිරිසක් සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 2000 කට අධික පිරිසක් දිවයින පුරා ආරක්ෂාව සඳහා යොදවා තිබේ. එසේම, ඊට අදාළව මේ වනවිට පුද්ගලයින් 76 දෙනෙකු පමණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර තවදුරටත් පුද්ගලයින්, රථවාහන හා පරිශ්‍රයන් පරික්ෂා කිරීම සිදු කෙරේ.

තවද, අදාළ ප්‍රහාරය සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශය විසින් පූර්ණ අධ්‍යනයක් සිදු කෙරේ. එම නිර්දේශයන්ගෙන් පසු පුද්ගලයින්, සංවිධාන හෝ ආයතන සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ගයන් කඩිනමින් ගැනීමට ද අපේක්ෂා කෙරේ.

කුරිරු ත්‍රස්තවාදීන්ගේ අමානුෂික ප්‍රහාර මාලාවෙන් පසු, කඩිනමින් ක්‍රියාත්මක වූ අප අමාත්‍යාංශය යටතේ ඇති පොලිස් දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන වලට ඇතැම් ත්‍රස්තවාදීන් ජීවග්‍රහණයෙන් අත්අඩංගුවට ගැනීමට හැකි වූ අතර ඔවුන්ට අනුබල දුන් හා ආරක්ෂාව සැලසූ අයවලුන් මෙන්ම එම ක්‍රියාවට සම්බන්ධ බොහෝ සැකකරුවන් පොලිස් භාරයට ගැනීමට හැකි වූ අතර ඔවුන් රැඳී සිටි වාසස්ථාන හා ඔවුන් භාවිතා කළ රහස් නිවාස සොයාගැනීමට හැකියාව ලැබුණි. තවදුරටත් ආරක්ෂක අංශ විසින් තම කාර්යභාරය නොපසුබටව ඉටුකරමින් සිටී.

අදාළ සිදුවීම් මාලාව සම්බන්ධයෙන් වාර්තා වූ පූර්ව බුද්ධි තොරතුරු හා දත්තයන් ද සෙසු එවැනි වාර්තාවීම් සම්බන්ධයෙන් අනුගමනය කරන ක්‍රමවේදය අනුගමනය කරමින්, ඊට අදාළව ක්‍රියාත්මක වීමේ බලය හිමි ආයතනයන් වෙත ඒ ඒ අවස්ථානෝචිතව කඩිනමින් යොමු කර තිබේ. තවද ඊට අදාල උපදෙස් හා නියෝග ද නිකුත්කර තිබේ. හදිසි නීතිය හෝ වෙනත් යම් විශේෂිත නීති තත්ත්වයක් බලාත්මක නොවන පසුබිමක දී එවැනි කටයුතුවල සම්පූර්ණ වගකීම පැවරෙන්නේ පොලිස් දෙපාර්තමේන්තුවටය. එවැනි පසුබිමකදී ද පොලිසිය හා නිසි ආයතනයන් මගින් අත්අඩංගුවට ගැනීම් හා පරික්ෂා කිරීම වැනි මෙහෙයුම් කටයුතු අඛණ්ඩව සිදුකර ඇත.

කෙසේ නමුත් ආරක්ෂක අංශයන්හි වගකීම් හා රාජකාරි ඉටුකිරීම සම්බන්ධයෙන් යම් අතපසුවීමක් හෝ පැහැර හැරීමක් සිදුව ඇතිදැයි සොයා බැලීමට අතිගරු ජනාධිපතිතුමා විසින් විශේෂඥ කමිටුවක් පත්කර ඇති අතර ආරක්ෂක අමාත්‍යාංශය විසින් ද ස්වාධීන පරීක්ෂණයක් පවත්වනු ලබයි. ඒ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදු කර නිසි ක්‍රියාමාර්ග ගැනීමට අපේක්ෂා කෙරේ.

Recommended For You

About the Author: Editor