Voice of දියවන්නා :මහින්ද ආරක්ෂක උපදෙස් නොතකා ප‍්‍රහාරයට ලක් වූ ජනතාව හමුවට යයි

ආගමික සිද්ධස්ථාන සහ සංචාරක හෝටල් ඉලක්ක කරගනිමින් පසුගිය ඉරිදා (21) ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වන අවස්ථාවේ හිටපු ජනධිපති  මහින්ද රාජපක්ෂ සිටියේ විජේරාම නිවසේය. පිපිරීම සිදුව මොහොතකි‍න් මහින්දට ප්‍රහාරයන් ගැන දැනගන්නට ලැබුණේ දුරකථන මාර්ගයෙනි.

ප්‍රහාරය පිළිබඳ දැනගන්නට ලැබුණු වහාම මහින්ද එහි යාමට සැරසුණ නමුත් ඔහුගේ ආරක්ෂක අංශයෙන් දැඩි විරෝධයක් එල්ල විය.

“සර් යන්න එපා මේ වෙලාවේ අවදානම වැඩියි” ආරක්ෂක නිලධාරීහු කියා සිටියහ.

“එහෙම කොහොමද? මිනිස්සු අමාරුවේ වැටිලා ඉන්න වෙලාවේ මම යන්නම ඕනේ. ආරක්ෂාව මදි නම් ඒක ගැන බලා ගන්න එක ඔයාලගේ වැඩක්. මම යනවා” මහින්ද දැඩිව පැවසීය.

අනතුරුව ආරක්ෂක නිලධාරීන්ට සිදුවූයේ මහින්දගේ ඉල්ලීමට අවනත වන්නටය. මහින්ද කොච්චිකඩේ දේවස්ථානයට යාමට සැරසෙන අතර ප්‍රසන්නගෙන් ඇමතුමක් ලැබුණේය.

” මම කොච්චිකඩේට යන්නයි හදන්නේ ප්‍රසන්න. බලන්න මේ අපේ සිකුරිටි එකෙන් මට යන්න දෙන්නේ නැහැනේ. හැබැයි මම කොහොම හරි යනවා” මහින්ද පැවසීය.

ඒ අනුව වහාම සූදානම් වූ ප්‍රසන්න ද විජේරාම පෙදෙසට ආවේ මහින්ද සමඟ සිද්ධිය වූ තැනට යාමේ අදහස ඇතිවය. අලුත් අවුරුද්ද වෙනුවෙන් මහින්ද බැහැදැකීමට පැමිණ සිටි ජොන්ස්ටන් සහ ඩලස් ද මහින්ද සමඟ ගමනට එකතු වූහ. පිරිස ප්‍රථමයෙන් ගියේ කොච්චිකඩේ දේවස්ථානය වෙතය.

ආරක්ෂකයන් පිරිවරගෙන කවුරුන් හෝ පැමිණෙන දුටු එතැන රැස්ව සිටි ජනතාව සිතුවේ ආණ්ඩුවේ ප්‍රධානියකු එන බවය. ඒ අනුව එතැන තරමක නොසන්සුන් වාතාවරණයක් උදා වූයේ ආණ්ඩුවට විරෝධය පාන්නට ජනතාව උත්සාහ ගත් බැවිනි. එහෙත් පැමිණ සිටින්නේ මහින්ද බව දුටු ජනතාව වහා සන්සුන් වූ‍වා පමණක් නො‍ව මහින්ද වෙත පැමිණ දුක කියන්නට පටන්ගත්හ.

“බලන්න සර්, ඔබතුමා බේරලා දීපු රට අවුරුදු හතරක් යන්න ඉස්සර විනාශ කළා. අපි බයක් සැකක් නැතුව පාරේ බැහැලා ගියේ ඔබතුමාට පින්සිද්ධ වෙන්න. දැන් ආයෙත් බෝම්බ පුපුරන්න අරගෙන. මොකක් හරි කරන්න සර්” කියමින් ජනතාව මහින්ද වටකරගත්හ.

“ඔයාලා කලබල නොවී ඉන්නකෝ” කියමින් පිරිස අස්වැසූ මහින්ද දේවස්ථානය නිරීක්ෂණයට ගියේය. සිදුව ඇති විනාශය දුටු මහින්දගේ දෙඇසට කඳුළු පිරුණේය.

“බලන්න වෙලා තියෙන විනාශය. අපි දහදුක් විඳලයි මේ මිනිස්සු කොටි ත්‍රස්තවාදයෙන් බේරා ගත්තේ.  ආණ්ඩුව අවුරුදු හතරක් යනකොට රට වළටම ඇදලා දැම්මා. හෙට ඉඳන් දෙපැත්ත බෙදිලා රණ්ඩු වෙවී ඉඳියි” මහින්ද පිරිසට කීවේ මහත් ශෝකයෙනි.

මේ අතර මහින්ද ප්‍රසන්නට හා ඩලස්ට තවත් වගකීමක් පැවරුවේය. අපේ පාර්ලිමේන්තු පළාත් සභා පළාත් පාලන මන්ත්‍රීවරුන්ට වහාම කථා කරන්න. කථා කරලා කියන්න තම තමන්ගේ ප්‍රදේශවල පල්ිවලට ගිහින් ඒවාගේ ෆාදර්ස්ලා එක්ක කථා කරලා ඒවා ආරක්ෂා කරන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න කියලා දැන්ම මහින්ද කීවේය.

ඒ අනුව ක්‍රියාත්මක වූ ප්‍රසන්න හා ඩලස් දිවයින පුරා සිටින පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ට කථා කරන්නට පටන් ගත්හ. ඩලස්ගෙන් හා මහින්දගෙන් ලැබුණු පණිවිඩය අනුව ක්‍රියාත්මක වූ පොහොට්ටු මන්ත්‍රීවරු තම තමන්ගේ කොට්ඨාශ වල දේවාස්ථාන වලට ගොස් ආරක්ෂක වැඩ පිලිවෙලක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබුණි.

කොච්චිකඩෙන් පිටත්ව මහින්ද ඇතුළු පිරිස ඊළගට මීගමුව කටුවපිටිය බලා පිටත්ව ගියෝය. ඒ යන අතරතුර ප්‍රසන්නට දුරකථන ඇමතුමක් ආවේ ප්‍රසන්න රණවීරගෙනි. මහින්දත් කැටුව කටුවපිටිය බලා එන බව ප්‍රසන්න පැවසීය.

 “සර්ට එන්න එපා කියන්න. මෙතැන ආරක්ෂාවක් නැහැ. මීගමුව රෝහලට යන්න කියන්න” රණවීර පැවසීය.

ප්‍රසන්න එම පණිවිඩය මහින්දට දුන්නත් මහින්ද කීවේ කටුවපිටිය දේවස්ථානයට යා යුතුම බවය.

ඒ අනුව දේවස්ථානයට ගිය මහින්ද පසුව මීගමුව රෝහල බලා ආවේය. ඒ වන විට තුවාල ලැබූ අය මෙන්ම ඔවුන්ගේ ඥාතීන් මීගමුව රෝහ‍ලේ පිරී සිටි අතර මහින්ද දුටු බොහෝ දෙනා හඬමින් දුක කියන්නට ගත්හ. ඔවුන් අසුවැසූ මහින්ද කොළඹ බලා ආවේ ඉමහත් ශෝකයෙනි. ඒ අතරතුර ආරක්ෂක අංශ අමතමින් අවශ්‍ය උපදෙස් දීමටත් මහින්ද අමතක කළේ නැත. මහින්ද විජේරාමයට එන විටත් මන්ත්‍රීවරු ඇතුව බොහෝ පිරිසක් විජෙරාම නිවසට පැමිණ තිබිණි. මහින්ද ඔවුන් සමග කථා කලේ ඉමහත් සංවේගයෙනි.

“ත්‍රස්තවාදය නැත්තටම නැති කරලා ලබන මාසෙට අවුරුදු දහයක් පිරෙනවා. අවුරුදු තිහක් යුද්ධයෙන් බැට කාපු ජනතාවට අවුරුදු දහයක් බියෙන් සැකෙන් ඉන්න බැරි වුණා. ජාතික ආරක්ෂාව ගැන අපි 2015 ඉඳන් ආණ්ඩුවට පෙන්වා දුන්නා. ආණ්ඩුව ඒවා තඹයකට මායිම් කළේ නැහැ. අන්තිමට වන්දි ගෙවන්න වුණේ අහිංසක ජනතාවට” මහින්ද පැවසීය.

“ඒකනේ සර් බලන්නකො‍් වෙච්ච අපරාදය. අපි දිනා දීපු නිදහස රැකගන්න බැරි මිනිස්සු අන්තවාදයක් එක්ක සටන් කරන්නේ කොහොමද කියලා හිතා ගන්නවත් බැහැ. මේ ආණ්ඩුවට තිබ්බේ රාජපක්ෂ භීතිකාව විතරයි. රාජපක්ෂලා අතුගාලා දාන එක ගැන තමයි එයාලා දිවා රෑ කල්පනා කළේ” ඩලස් කීවේය.

“අපේ මිනිස්සුන්ටත් යුද්ධය අමතක වුණා. එදා විඳපු දුක අවුරුදු දහයක් යන කොට ජනතාවටත් අමතක වුණා. රණවිරුවෝ දංගෙඩියට දක්කන කොට අහක බලන් හිටියා. ඒවායේ ප්‍රතිවිපාක තමයි දැන් විඳින්න වෙලා තියෙන්නේ” ප්‍රසන්න පැවසීය.

මේ අතර ප්‍රසන්නට ගෝඨාභයගෙන් දුරකථන ඇමතුමක් ලැබුණේය. සිදුව ඇති දේ විස්තර කළ ප්‍රසන්න ගෝඨාභයට කීවේ ආරක්ෂක තත්ත්වය එතරම් යහපත් නොවන බැවින් සිද්ධිය වූ ස්ථානවලට යාමෙන් වැලකී සිටීම හොඳ බවය.

සිද්ධිය වන අවස්ථාවේ නිමල් ලන්සා සිටියේ ඇමරිකාවේ නිව්යොර්ක් වලය. ඔහු වහා දුරකථන ඇමතුමක් ගෙන ප්‍රසන්නගෙන් විස්තර ඇසුවේය. අනතුරුව වහා සිය සංචාරය අවලංගු කළ ලන්සා දිවයිනට පැමිණීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ගත්තේය. 

සඳුදා උදෑසන විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණේ බෝම්බ ප්‍රහාරයෙන් මියගිය පිරිසගේ අවසන් කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීමටය. ප්‍රසන්න, ඉන්දික, සුදර්ශනී ඇතුළු පිරිසක් ඊට එක්ව සිටි අතර ලන්සා වෙනුවට ඔහුගේ සොහොයුරා වන මීගමුව නගරාධිපති දයාන් ලන්සා පැමිණ සිටියේය. ලන්සා මලණුවන්ට දැනුම් දී තිබුණේ තමා ලංකාවට එනතුරු අවශ්‍ය සියලුම උපකාර කරන ලෙසය. ප්‍රසන්න මෙහිදී මීගමුව හා කටාන පළාත් පාලන ප්‍රදානීන්ට උපදෙස් දුන්නේ කටුවපටිය දේවාස්ථානයේ සිදුවූ බොම්බ පිපිරීමෙන් මිය ගිය අයගේ අවසන් කටයුතු සදහා අවශ්‍යය සියළුම උපකාර කරන ලෙසය.

සිංහල අවුරුද්ද වෙනුවෙන් විපක්ෂ නායක කාර්යාලයේ විශේෂ වැඩසටහනක් පැවැත්වීමට නියමිතව තිබුණේ සඳුදාය (22). ත්‍රස්ත ප්‍රහාරය නිසා එම වැඩසටහන අවලංගු කර මිය ගිය අයට පිං පැමිණවීමේ උත්සවයක් ලහි ලහියේ සංවිධාන කෙරුණි. මහින්දගේ ප්‍රධානත්වයෙන් පැවැති එම වැඩසටහනින් පසුව මහින්ද විශේෂ මාධ්‍ය හමුවක් ද පැවැත්වීය.

විපක්ෂ නායක කාර්යාලයේ මහින්ද සමඟ කතා කරමින් සිටි විමල්, ප්‍රසන්න ඇතුළු මන්ත්‍රීවරුන්ගේ අදහස වූයේ මෙම ප්‍රහාරයේ සම්පූර්ණ වගකීම ආණ්ඩුව විසින් භාරගත යුතු බවය. සිද්ධිය වූ ස්ථානයට මහින්ද යාම සම්බන්ධයෙන් මංගල කර තිබූ ප්‍රකාශයට මන්ත්‍රීවරුන් දැඩිව විරෝධය පළ කළේ මහින්ද කවදත් ජනතාව සමඟ සිටින නායකයකු බැවිනි.

එසේම ප්‍රහාරයට වගකිවයුතු අයගේ පියා වශයෙන් හඳුනාගෙන සිටි පුද්ගලයා ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලයිස්තුවේ සිටි අපේක්ෂකයකු වීම සම්බන්ධයෙන් ද විවේචන එල්ල විය.

එම කටයුතුවලින් අනතුරුව මහින්ද අරලිගයගහ මන්දිරයට ගියේ අගමැතිවරයා කළ විශේෂ ඉල්ලීමක් අනුවය. එදින අගමැතිවරයා ආරක්ෂක කවුන්සිලයේ නියෝජිතයන් කැඳවා තිබුණු අතර ඔහු මහින්දට ද එහි පැමිණෙන ලෙසට ආරාධනා කර තිබුණේය. මහින්ද සමඟ කරු ජයසූරිය, හකීම්, සම්බන්ධන් ද එහි පැමිණ සිටියහ.

ප්‍රථමයෙන් මහින්ද සියලු දෙනා ඉදිරියේ සිය අප්‍රසාදය පළ කළේ හදිසියේ ඇඳිරි නීතිය පැනවීමට ගත් පියවර සම්බන්ධයෙනි.

“හදිසියේම ඇඳිරි නීතිය දාපු එක වැරැදියි. එක පාරට ඇඳිරි නීතිය දැම්මා. මිනිස්සුනට පාන් ගෙඩියක්වත් ගන්න වෙලාවක් තිබ්බේ නැහැ. අපේ කාලයේ මීටත් වඩා දරුණු තත්ත්වයක් තිබුණත් අපි ඇඳිරි නීතිය දාලා ජනතාව අපහසුතාවට පත් කළේ නැහැ” මහින්ද පැවසීය.

අනතුරුව කතාබහ යද්දී මහින්ද “ඉතුරු වෙලා ඉන්න බුද්ධි අංශ නිලධාරීන් ටිකත් ඇතුළට දාන්න එතකොට සේරම හරි” යැයි කීවේ පොලිස්පතිවරයා දෙස බලාය.

“මිනිස්සු මේ වෙලාවේ එතනට ගිය දේශපාලනඥයන්ට දෝෂාරෝපණය කරනවා” කරු පැවසීය.

“මම තමයි මුලින්ම සිද්ධය වෙච්ච තැනට ගියේ. මිනිස්සු වාහන ටික දැක්ක ගමන් බනින්න ගත්තා. ඒ අය හිතුවේ ආණ්ඩු‍වේ කෙනෙක් කියලා. පස්සේ මාව දැක්ක ගමන් ළඟට ඇවිත් දුක කියන්න ගත්තා” යැයි කී මහින්ද අනතුරුව ඇසුවේ බුද්ධි අංශ විසින් ලිඛිතව දැනුම් දීමක් කර තිබියදී පවා ඒ ගැන සැලකිල්ලක් දැක්වූයේ නැත්තේ ඇයි යනුවෙනි.

“ඒක බොරු ලිපියක් නේද? කතානායකවරයා ඇසුවේය.

“මම හොයලා බැලුවා. මට නම් දැනගන්න ලැබුණේ ඒක ඇත්ත එකක් කියලා” මහින්ද පැවසීය. පොලිස්පතිවරයා පැවසුවේ බුද්ධි අංශ තොරතුරු ලැබී තිබුණු බවත් ඒ සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පතිවරුන් සිවුදෙනකු දැනුවත් කිරීමට පියවර ගත් බවත්ය.

“මට නම් ලැබුණේ නැහැ” අගමැතිවරයා පැවසීය.

“ඔබතුමාට ලැබුණේ නැත්තේ මොකද කියලා ඔබතුමාගේ පැත්තෙන් හොයලා බලන්න. අනතුරුව සිද්ධියට මුල් වූ සැකකරුවන් අතර සිටින ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලයිස්තු අපේක්ෂකයා සම්බන්ධයෙන් අගමැතිවරයා අදහස් දැක්වීය. මහින්ද දැඩිව කියා සිටියේ කෙසේ හෝ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම රජයේ වගකීම බවය. එසේ ‍කළ නොහැකි නම් වඩාත් සුදුසු තනතුරුවලින් ඉවත් වී එම කාර්ය කළ හැකි අයකුට භාර දීම බවත් හෙතෙම පැවසීය.

ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම නෙළුම් මාවතේ දී රැස් වූයේ අඟහරුවාදාය.

“අපි කොහොම හරි මේ ගැන විවාදයක් ගන්න ඕනේ. විවාදයක් නොදුන්නොත් ජනතාවට තමයි කියන්න වෙන්නේ” ප්‍රසන්න පැවසීය.

“මේ සිද්ධිය වෙලා තියෙන්නේ ආණ්ඩුවේ නොසැලකිල්ල නිසයි. තොරතුරු ලැබිලා තියෙන කොටත් ආණ්ඩුව ඒ ගැන සැලකිල්ලක් දක්වලා නැහැ” මහින්ද පැවසීය.

“රනිල් මෛත්‍රි දෙන්නා කඹ ඇද ඇද ඉන්නවා මිසක් ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරන බවක් පේන්න නැහැ. ජනාධිපතිවරයා වගේම අගමැතිවරයාත් ආණ්ඩුවත් මේ වගකීම භාර ගත යුතුයි” ප්‍රසන්න පැවසීය.

“තමන්ගේ වරද අනෙක් අයගේ පිට පටවන්න තමයි ආණ්ඩුව උත්සාහ කරන්නේ. දැක්කනේ මංගල එදා කරපු අසික්කිත ප්‍රකාශය. මංගලලා තමයි මේවට වගකියන්න ඕනේ. අර සංවිධානයටයි මේ සංවිධානයටයි  අර රටටයි මේ රටටයි ඕනේ විදියට ආණ්ඩු කළේ මංගලලා තමයි” ඩලස් පැවසීය.

බදදා දිනයේ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම පැවැත්වුණේ මහින්දගේ ප්‍රධානත්වයෙනි.  ඒ පාර්ලිමේන්තුවේ කමිටු කාමර අංක 01 දීය. ජනපති මෛත්‍රී  ඊට සහභාගීවන බව පැවසුනි. ඔහුගේ ආරක්ෂක අංශය පැමිණ සිටියත් මෛත්‍රී කාණ්ඩායම් රැස්වීමට සහභාගී වුයේ නැත.

“එක්සත් ජාතික පක්ෂය මේ සිද්ධියේ වගකීම ජනාධිපතිවරයාගේ පිට පටවන්න උත්සහ දරමින් ඉන්නවා. ඒ අය හදන්නේ ජනාධිපතිවරයාගේ ප්‍රතිරූපය විනාශ කරන්නයි” අමරවීර කීවේය.

“අගමැතිවරයා කියනවා එයා බුද්ධි අංශ තොරතුරු දැනගත්තේ මාධ්‍යයෙන්. එයාට ඒවා දැනුම් දුන්නේ නැහැ කියලා. ඉස්සර නම් රටේ විස්තර පත්තරෙන් දැනගත්තේ ජනාධිපතිවරයා විතරයි. දැන් අගමැතිවරයත් ඒවා දැනගන්නේ පත්තරෙන්ලු. ඉතින් රටකට මෙහෙම වෙන එක අහන්නත් දෙයක්ද? මම නම් කියන්නේ අනික් දවසේ බුද්ධි අංශ තොරතුරු රහසිගතව  දැනුම් දෙන්නේ නැතුව මේ දෙන්නට දැනගන්න පත්තරේ දැම්මා නම් හොඳයි කියලයි” ප්‍රසන්න පැවසීය.

ආණ්ඩුව එකිනෙකාට බෝල පාස් කරනාවා. බෝල පාස් කරලා මේ ප්‍රශ්ණය විසදන්න බෑ.. මහින්ද දැඩි ලෙස කීවේය. දැන් ආණ්ඩුව හදන්නේ මේ වැඩෙන් ගොඩ යන්න. හදිසි නීතිය දාලා ඊළග මැතිවරණත් කල් දායිද දන්නේනෑ. කංචන කීවේ සැක සහිතවය.

මමනම් කියන්නේ ජනාධිපති අගමැති බල අරගලය තමයි මේකට හේතුව. එකමතයක් නැති ආණ්ඩුවක් කොහොමද රටේ ජනතාව ආරක්ෂාකරන්නේ. ප්‍රසන්න ඇසුවේය.

මේ සිද්ධිය ගැන තාමත් ආණ්ඩුව අඩුම තරමේ නිවේදනයක් වත් නිකුත් කරලා නෑ. එකිනෙකාට චෝදනා කරලා විතරක් මේවා නතර කරන්න බෑ කියලා මේ අයට නොතේරන එකයි මට දුක මහින්ද කීවේය.

අගහරුවාදා විශේෂ පාර්ලිමේන්තු සැසියේදී තමන් ආණ්ඩුවට භාරදුන්නේ සුරක්ෂිත රටක් බව මහින්ද කීවේය. ආණ්ඩුව හමුදා සහ බුද්ධි අංශ දඩයම්   කල නිසා රට ත්‍රස්ත වාදීන්ගේ ඉලක්කයක් වූ බවද මහින්ද කීවේය. පාර්ලිමේන්තු සැසියෙන් පසු මහින්ද පාර්ලිමේන්තු භෝජනාගාරයට යමින් සිටියේ මහින්දානන්ද අලුත්ගමගේ, පියල් නිශාන්ත, ජොන්ස්ටන් ප්‍රනාන්දු යන මන්ත්‍රීවරු සමගය. ඒ අතර තුර මුණගැසුනු එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු කීප දෙනෙකුම මහින්දට කීවේ”  සර් අද කථාවනම් ටොපේ ටොප්” කියාය.

ඇතිවී තිබෙන තත්තවය අනුව පාර්ලිමේන්තු විවාදය තිබුනේ පසුගිය බදාදය. (24).  එදින සවස් වන විට විපක්ෂයතුළ කථාබහක් පැතිර ගියේ ආණ්ඩු පක්ෂයේ කථිකයන් නොමැති නිසා විවාදය අතර මගදී නතර කිරීමේ සූදානමක් පවතින බවය. සවස 5ට පමණ  මූලාසනයට පැමිණි කථානායක කරූ පාර්ලිමේන්තු විවාදය 5.30ට පමණ අවසන් කීරිමට සභාවේ අනුමැතිය ඉල්ලුවේ ඇදිරි නීතිය රාත්‍රි 8.00 පණවන බව තමා දැනගත් බව පවසමිනි. ඒ වන විටත් විපක්ෂයේ කථිකයන් රැසක් කථා කිරීමේ අපේක්ෂාවෙන් පසුවූ නිසා ඩලස් අලහපෙරුම මන්ත්‍රී වරයා ඇතුළු ඊට එරෙහි වූයේය. ඒ අනුව පාර්මේන්තුව සවස 6.30 දක්වා පවත්වාගෙන යාමට කථානායක වරයාට සිදුවිය.

පවතින තත්වය හමුවේ ජාතික ආරක්ෂාව පිළිබද සර්ව පාර්ෂික සමුළුව ජනාධිපතිවරයා කැදවා තිබුනේ පසුගිය 25 වෙනි දාය. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණටද  ඒ සදහා ආරාධනා ලැබී තිබිණි. හිටපු ඇමති බැසිල් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් ජනාධිපති ලේඛම් කාර්යාලයට ගියේ සිය පක්ෂයේ අදහස් හා යෝජනා ඇතුලත් ලියවිලක්ද රැගෙනය. ජාතික ආරක්ෂාව බිදවැටීමත් සහ ඒ සම්බන්දයෙන් ගත හැකි ක්‍රියා මාරිග පිළිබදව එම ලිය විල්ලේ කරුණු ඇතුලත් විය.

Recommended For You

About the Author: Editor