අපරාධකරුවන්ට සහ අවජාතකත්වයට වැට බඳින DNA සාක්ෂි

බොහෝ රටවල අපරාධ විමර්ශන ක‍්‍රියාවලිය සහ දරුවන්ගේ පීතෘත්වය තීරණය කිරීමෙහිලා වඩාත් නිරවද්‍ය වූ සාක්ෂි විශේෂයක් වශයෙන් DNA උපයෝගී කරගනු ලැබේ.

DNA (Deoxribonucleic Acid) යනු ශරීරයේ සෛලයක න්‍යෂ්ථියකක් තුළ පිහිටි අණුවකි. යම් පුද්ගලයෙකුගේ ශරීර කොටසකින් ලබා ගන්නා DNA අණුවක් නිසි පර්යේෂණයකට බඳුන් කිරීමෙන් එම අණුවෙහි පිහිටීමේ ව්‍යුහය මත එම අදාළ පුද්ගලයාගේ අනන්යතාවය තහවුරු කර ගත හැකි වේ.

DNA සෛලයක ව්‍යුහ රටාව අනුසාරයෙන් පුද්ගලයෙකුගේ සමස්ත ජානමය තොරතුරු හඳුනා ගත හැකි ය. එලෙස ජානමය ලක්ෂණ හඳුනා ගත හැකි වූ පමණකින් ම යම් ජෛව සාම්පලයක් යම් විශේෂිත අයෙකුගේ යයි නිශ්චිතවම හඳුනා ගත හැකි වන්නේ කුමක් නිසා ද? හේතුව නම් එක් ජිවියෙකුගේ DNA සෛල රටාව වෙනත් කිසිවෙකුගේ DNA රටාව සමග කිසිවිටෙකත් සමරුපී නොවීමයි.

ඛේටය, නියපොතු, රුධිරය, ශුක‍්‍රාණු, හිසකෙස්, දහදිය, ශ්ලේෂ්ම ආදී ආදර්ශකවලින් ගත් සෛලවලින් පවා DNA පර්යේෂණ සිදු කර සැබෑ අපරාධකරුවන් හඳුනා ගැනීමට වඩාත් විශ්වසනීය වූ ක‍්‍රමවේදයක් ලෙසටත් දරුවන්ගේ පිතෘත්වය නිවැරදි ලෙස තීරණය උදෙසාත් වර්තමානයේ DNA තාක්ෂණය භාවිතා කිරීම නව ප‍්‍රවණතාවක් වී ඇත.

රෝයල් පාර්ක්හි මිනීමැරුම

ශ‍්‍රී ලංකාවේ DNA භාවිතයෙන් අපරාධ විමර්ශනය කළ පළමු අවස්ථාව නම් හෝකන්දර මිනීමැරුම් සිද්ධියයි. එසේම සරත් අඹේපිටිය විනිසුරු ඝාතනය, රෝයල් පාර්ක්හි මිනීමැරුම මෙන් ම මෑතකදී සේයා දැරිය ඝාතනය කිරීම සම්බන්ධ පර්යේෂණවල දී ද මෙම තාක්ෂණය උපයුක්ත කර ගත් අතර ඇසින් දුටු සාක්ෂි හෝ පරිවේෂණිය සාක්ෂි නොමැති අවස්ථාවලදී හෝ ඒවායෙහි පරස්පරතා පවත්නා විටදී DNAසාක්ෂි වැදගත් වේ.

මේ ආශ‍්‍රිතව පර්යේෂණ ක‍්‍රියාවලිය සැකෙවින් ගත් කල පළමුවෙන් ම අපරාධ ස්ථානයෙන් හෝ ෂව පරීක්ෂණයෙන් (Autopsy) සොයා ගන්නා ලද ජෛව සාම්පල (Biological sample)  ඉතා ආරක්ෂාකාරී ලෙස රැස් කිරීම සිදු කරනු ලබයි. එහි දී දෑත ආවරණ, මුඛ ආවරණල පැළද එම සාම්පල දැඩි හිරු එලියට හෝ උෂ්ණත්ව වෙනසකට බදුන් වීමට ඉඩ නොතබයි. පසුව එම ජෛව සාම්පල වෙන වෙනම පර්යේෂණවලට බදුන් කරන අතර අදාළ සැකකරුවන්ගේ DNA ව්‍යුහ රටා හා සැසදෙන්නේ ද යන්න සලකා බලයි.

අපරාධ විමර්ශන කටයුතු සම්බන්ධව DNA උපයුක්ත කිරීම ගැන ශ‍්‍රී ලංකා නීතියෙහි ප‍්‍රතිපාදන පිළිබඳ සැලකීමේ දී ශ‍්‍රී ලංකා අපරාධ නඩු විධි විධාන සංග‍්‍රහයේ (2005 අංක 14 න් සංශෝධිත ) 122 වගන්තිය සහ සාක්ෂි ආ පනතේ 45 වන වගන්තිය මේ සම්බන්ධව පවත්නා ප‍්‍රතිපාදන වේ. DNA දත්ත ගබඩා කිරීම (DNA database) සම්බන්ධව විශේෂිත වූ ප‍්‍රතිපාදන ශ‍්‍රී ලංකා නීතියේ නොවේ.

බලහත්කාරයෙන් කළ හැකිද ?

DNA විශ්ලේෂණය සඳහා යම් පුද්ගලයෙකුගෙන් බලහත්කාරයෙන් රුධිරය ලබා ගත හැකි ද යන්න මීළඟ කරුණයි. DNA විශ්ලේෂණයට යම් පුද්ගලයෙකුගේ කැමැත්ත නොමැතිව බලහත්කාරයෙන් රුධිර සාම්පල ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් මෑතක් වන තුරු ශ‍්‍රී ලංකා නීතියෙහි පැවතින.

මෙම තත්ත්වය 2005 වර්ෂයේ දී අපරාධ නඩු විධි විධාන සංග‍්‍රහයට ඇති කරන ලද 2005 අංක 14 දරණ සංශෝධනය මගින් වෙනස් කරන ලද අතර, ඒ අනුව විමර්ශනය කටයුතු උදෙසා යම් පුද්ගලයෙකුගේ ශරීරයෙන් සාම්පල ලබා ගැනීමට එම පුද්ගලයාගේ කැමැත්ත නොවන විටක දී ඒ සම්බන්ධව එම අධිකරණ බල ප‍්‍රදේශයේ මහේස්ත‍්‍රාත්වරයා ගෙන් ඉල්ලීමක් කරනු ලැබ එම නියෝගයට අනුව කටයුතු කළ යුතු වේ.

මෙම ප‍්‍රතිපාදන පෞද්ගලිකත්වය ආරක්ෂා කර ගැනීමට ඇති අයිතියට අභියෝගයක් වන්නේදැයි යම් යම් මතවාද පැවතිය ද බොහෝ රටවල නීතිය යාවත් කාලීන වීමේදී උක්ත ප‍්‍රතිපාදනය ස්වකිය නීති පද්ධතියට අන්තර්ගත කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇති බැව් පෙනෙයි.

නූතන ප‍්‍රවණතා

අපරාධ විමර්ශන ක‍්‍රියාවලිය තුළ මෙන් ම සුජාත නොවන දරුවන්ගේ පිතෘත්වය තීරණය කිරීමෙහි ලා නූතන ප‍්‍රවණතාවක් නම් නම් DNA සාක්ෂි උපයෝගී කර ගැනීමයි. සාක්ෂි ආඥා පනතේ 112 වගන්තිය අනුව යම් කාන්තාවක් යම් පුරුෂයෙකු සමග විවාහ වී සිටිය දී හෝ එම විවාහය අවලංගු වීමෙන් දින 280 ක් ඇතුළ දී කාන්තාව අවිවාහක ව සිටින විට උපදින දරුවා එකී පුරුෂයාහේ සුජාත දරුවකු බවට පුර්ව නිගමනයක් පවතී. මෙකී වගන්තියට අනුව මෙම පුර්ව නිගමනය බිඳ හෙළිය හැකි වන්නේ අදාළ පිළිසිඳ ගැනීම සිදුවිය හැකි කාලය තුළ පුරුෂයාට කාන්තාව කෙරෙහි ප‍්‍රවේශ නොමැති වීම හෝ පුරුෂයාගේ ලිංගික බෙලහීනතාවය යන කරුණු ද්විත්ත්වයෙන් එක කරුණක් සාක්ෂි සහිතව සනාථ කළහොත් පමණක් වන අතර එය සනාථ කිරීම ප‍්‍රායෝගිකව පහසු නොවේ.

නිශ්චිත පිළිතුරක්

මෙකී නෛතික තත්ත්වයට නව මංපෙතක් විවර කිරීමට DNA පරීක්ෂණ හරහා හැකියාව ලැබුණි. මන්ද දරුවකුගේ මවු පිය භාවය සම්බන්ධයෙන් ඉතාමත් පැහැදිලි හා නිශ්චිත පිළිතුරක් සපයා ගැන්මට DNA සාක්ෂි මගින් හැකියාව ලැබීම හරහා සුජාතභාවයේ පුර්ව නිගමනය බිඳ හෙලීමට හෝ සනාථ කිරීමට එකී සාක්ෂි යොදා ගැනීමට අවකාශය ලැබෙන බැවිනි.

එහිදී සාක්ෂි ආඥා පනතේ 45 වගන්තිය යටතේ විශේෂ සාක්ෂි ලෙස මෙම DNA සාක්ෂි නඩුකරයක දී ගෙනහැර දැක්විය හැකි යග වීරසිංහ එදිරිව ජයසිංහ (2007) 2 Sri.L.R 50 50 නඩුවේදී අධිකරණය ප‍්‍රකාශ කර සිටියේ පිතෘත්වය ඔප්පු කිරීමක දී මවගේ සාක්ෂි තවත් ස්වාධීන සාක්ෂි මගින් සහතික කළ යුතු බවත් ඒ සඳහා ඉතාමත් කාවදින සාක්ෂි ලෙස රුධිර පරීක්ෂණ හෝ DNA සාක්ෂි යොදා ගත හැකි බවත් ය. සාමාන්‍ය රුධිර පරීක්ෂණවලට වඩා ෘභ් සාක්ෂිවල නිරවද්‍යභාවය සියයට සියයක් නිශ්චිත බව මෙහි දී ප‍්‍රකාශ විය.

DNA දත්ත ගබඩාකරණය

මීළඟට අප අවධානය යොමු කරන්නේ DNA දත්ත ගබඩාකරණය (National DNA Database/ NDNAD පිළිබඳව යි. DNA දත්ත ගබඩාකරණය යනු යම් රටක රජයේ DNA දත්ත ගබඩාව වන අතර සැකකරුවන්ගේ සහ අපරාධකරුවන්ගේ DNA දත්ත දීර්ඝ කාලීන ව ගබඩාගත කර තැබීම මෙහිදී සිදු කරනු ලබයි.

DNA මගින් ලබා ගන්නා දත්ත ගබඩාකරණය කිරීම සම්බන්ධව ද මෑත කාලීන ව බොහෝ රටවල් අවධානය යොමු කර ඇත. බි‍්‍රතාන්‍ය තුළ යම් සැකකරුවෙකු පොලිසිය මගින් අත්අඩංගුවට ගත්තේ වී නම් ඔහුගේ DNA සාම්පල ලබා ගෙන එම දත්ත ගබඩාගත කරනු ලබයි. ස්වීඩනයේ අපරාධමය වරදක් උදෙසා අවුරුදු දෙකකට වැඩි කාල සීමාවක් සිර දඬුවම් ලත් සෑම අයෙකුගේම DNA සාම්පලයක් ලබා ගනියි.

මෙමගින් පුරුද්දක් වශයෙන් අපරාධමය කටයුතුවල නියැලෙන පුද්ගලයන් පහසුවෙන් හඳුනා ගැනීමටත් අපරාධකරුවන් විවිධ අපරාධ කෙරෙහි සම්බන්ධ වන ආකාරය පහසුවෙන් හඳුනා ගැනීමටත් පොලිස් විමර්ශන කටයුතු කාර්යක්ෂම වීමටත් ඉඩ හසර සපයයි. මෙනයින් ශ‍්‍රී ලංකාව තුළ දිනෙන් දින සිදු වන අපරාධවල වර්ධනයත් සමගල මෙබඳු රජයේ DNA දත්ත ගබඩා කර තබා ගැනීම පිණිස ප‍්‍රතිපාදන සැකසීම කාලීන අවශ්‍යතාවක් වී ඇත.

අප කළ යුත්තේ කුමක්ද ?

එසේ ම අපරාධ පර්යේෂණ කටයුතු උදෙසා සාක්ෂියක් වශයෙන් DNA උපයෝගී කර ගැනීම සම්බන්ධව ඉහත දක්වන ලද අපරාධ නඩු විධි විධාන සංග‍්‍රහය සහ සාක්ෂි ආඥා පනතේ ප‍්‍රතිපාදන හැරෙන්නට ඒ සම්බන්ධව විශේෂ සහ ප‍්‍රමාණවත් වූ ප‍්‍රතිපාදන අප නීතිය තුළ නොවීම අඩුවක් නිසා ඊට ප‍්‍රතිපාදන සැකසීම අවශ්‍ය වේ. එනම් යම් නඩුවකදී සාක්ෂියක් වශයෙන් DNA භාවිතය සම්බන්ධ ව විනිසුරුවරුන් ප‍්‍රතික්ෂේප නොකළ ද එය නීතිමය පදනමකින් යුතුව සාක්ෂියක් වශයෙන් අදාළ සිදුවීම කෙරෙහි අවිශ්‍ය කිරීමට නොඑසේ නම් පිළිගැනීමට පදනම් වූ නීතිමය ප‍්‍රතිපාදන ප‍්‍රමාණවත් නොවීම ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව වැනි රටවල නීති පද්ධතියේ පවත්නා ඌනතාවයක් බවට හඳුනා ගත හැකි ය.

එසේම පිතෘත්වය තීරණය කිරීමෙහිලා DNA සාක්ෂි උපයෝගී කර ගැනීම සම්බන්ධව විශේෂ සාක්ෂි වශයෙන් පොදුවේ මෙම සාක්ෂි අදාළ කරගැනීම විනා එලෙස පිතෘත්වය තීරණය කිරීමෙහිලා DNA සාක්ෂිය අදාළ කර ගැනීම සම්බන්ධව ඊටම විශේෂිත වූ නෛතික ප‍්‍රතිපාදන අප නීතිය තුළ නොවේ.

මේ අනුව මේ සම්බන්ධ නීතියෙහි රික්තකයන් පිරවීමට ප‍්‍රතිපාදන සැකසීමත් මහජනයා මේ සම්බන්ධව දැනුම්වත් කිරීමත් කාලීන නෛතික අවශ්‍යතාවක් වී ඇති බවට හඳුනා ගත යුතුය.

සටහන
හෂින්තා විදානපතිරණ
චතුනි මීගස්දෙනිය

Recommended For You

About the Author: Editor