ඉතා කෙටි කාලයකින් සන්නද්ධ කල්ලි නැගෙනහිරින් තුරන් කරනවා – නැගෙනහිර පළාත් ආඥාපති

ඉතා කෙටි කාලයකින් නැගෙනහිර පළාත තුළ ක‍්‍රියාත්මකව සිටින සන්නද්ධ කල්ලි කණ්ඩායම් නැගෙනහිර පළාතෙන් තුරන් කරන බවත් ඒ සඳහා සිවිල් ජනතාවගේ පූර්ණ සහාය සහ තොරතුරු අපේක්ෂා කරන බවත් නැගෙනහිර පළාත් ආඥාපති මේජර් ජනරල් අරුණ ජයසේකර පවසයි.

ඊයේ (26) රාත‍්‍රියේ නැගෙනහිර පළාතට අයත් කල්මුනේ සහින්දමරදු ප‍්‍රදේශ ඇති වූ තත්ත්වය සහ එයින් පසු ගන්නා පියවර සම්බන්ධයෙන් ජනමාධ්‍ය හමුවේ කරුණු දක්වමින් නැගෙනහිර පළාත් ආඥාපතිවරයා මේ බව අවධාරණය කළේය.

ඊයේ රාත‍්‍රියේ සිදු වූ මෙහෙයුමෙන් ආරක්ෂක අංශවලට කිසිදු හානියක් සිදු නොවූ බව සඳහන් කළ නැගෙනහිර පළාත් ආඥාපතිවරයා මේ මෙහෙයුමේදී ප‍්‍රදේශවාසීන්ගෙන් විශාල සහායක් ලැබුණ බව ද සඳහන් කළේය.

ඊයේ රාත‍්‍රියේ සිදු වූ ප‍්‍රහාරය පිළිබඳ අදහස් දැක්වූ නැගෙනහිර පළාත් ආඥාපතිවරයා,

‘‘අපිට ලැබුණු තොරතුරකට අනුව අපි අදාළ ස්ථානයට ළඟා වුණා. ඒ අවස්ථාවේදී අපි සැකකරුවන් පසුපසින් එලවාගෙන ගියා. ඒ අතර ඔවුන් දේවස්ථානය අසල නිවාස දෙකකට ඇතුළු වෙලා ඔවුන් සතු ගිනි අවිවලින් අපිට ප‍්‍රහාර එල්ල කරන්න පටන් ගත්තා. ඒ අතරේදී ඔවුන් නිවස තුළ සිට බෝම්බ පුපුරවා ගත්තා. ? 0.8.00 වන විට අපිට තත්ත්වය පාලනය කරලා ප‍්‍රදේශයේ පාලනය හමුදාව අතට ගන්න පුළුවන් වුණා. සන්න්ධ කල්ලි සමග සිදු වූ වෙඩි හුවමාරුවේදී ආරක්ෂක අංශවලට කිසිදු හානියක් සිදු වුණේ නැහැ. අපිට පුළුවන් වුණා තුවක්කුවක් සමග සටන්කරුවෙක් අත්අඩංගුවට ගන්න. මේ ප‍්‍රහාරයේ දී අන්තවාදීන් දෙදෙනෙක් වෙඩි කාලා මැරුණා. අපි හිතන ආකාරයට නිවස ඇතුළත මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරවලින් මැරුණ තවත් 03ක් ඉන්නවා. මේ මෙහෙයුමේ දීී අපි පුපුරණ ද්‍රව්‍ය විශාල ප‍්‍රමාණයක් සහ තවත් උපකරණ රැුසක් සොයා ගත්තා. ඒ වගේම විශේෂයෙන් සඳහන් කළ යුතුයි මෙහිදී අපිට ප‍්‍රදේශවාසීන් තොරතුරු ලබා දෙමින් ලොකු රුකුලක් ලබා දුන්නා. අපි ඉතාම කෙටි කාලයක් තුළ සන්නද්ධ කල්ලි නැගෙනහිර පළාතින් තුරන් කරනවා. ඒ සඳහා සිවිල් වැසියන්ගේ තොරතුරු අපිට ඉතා වැදගත්.

තොරතුරු ලබා දුන්නේ සිවිල් වැසියෙක් – පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක

ඊයේ කල්මුනේ සහින්දමරදු ප‍්‍රදේශයේ මෙහෙයුම සඳහා හේතු වූ අදාළ තොරතුර ලබා දුන්නේ සිවිල් වැසියෙක් විසින් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළා.

ඊයේ රාත‍්‍රියේ කල්මුනේ සහින්දමරදු ප‍්‍රදේශයේ මෙහෙයුම පිළිබඳ මාධ්‍ය හමුවේ කරුණු දක්වමින් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා මේ බව සඳහන් කළා.

‘‘සැක කටයුතු පිරිසක් තම ප‍්‍රදේශයේ ගැවසෙන බවට පොලිස් රථවාහන අංශයේ සේවයේ නියුතු පොලිස් කොස්තාපල්වරයෙකුුට සිිවිල් වැසියෙක් විසින් තොරතුරක් ලබාදී තිබෙනවා. එම තොරතුර ජ්‍යේෂ්ඨ නිලධාරීන්ට දැනුම්දීමෙන් අනතුරුව මෙම විශේෂ මෙහෙයුම ක‍්‍රියාත්මක කළා. ඒ අනුව පොලීසිය, පොලිස් විශේස කාර්ය බළකාය සහ ශ‍්‍රී ලංකා යුද්ධ හමුදා භට පිරිස් අදාළ සෝදිසි මෙහෙයුමට එක් වුණා. මේ සෝදිසි මෙහෙයුම අතරදී දේවස්ථානය අසල නිවසකින් ආරක්ෂක අංශවලට ගිනි අවි ප‍්‍රහාරයක් එල්ල වුණා. ඒ සමග පිපිරීමක් ද සිදු වුණා. ඒ අවස්ථාවේදී ශ‍්‍රී ලංකා යුද්ධ හමුදාවත් අවශ්‍ය සහාය සඳහා පැමිණියා. ඊට පසුව බෝම්බ පුපුරවා ගත් නිවස පරීක්ෂා කළා. ඒ නිවස තුළ තිබූ මරාගෙන මැරෙන බෝම්බකරුවන් යැයි සැක කළ හැකි පිරිමි මළ සිරුරු 03ක් හමු වුණ. ඊට අමතරව එම නිවස තුළ කාන්තාවන් 03කගේ සහ පිරිමි ළමුන් 06 දෙනකුගේ සිරුරු හමු වුණා. ඊට පසුව නිවසින් පිටත තිබූ මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ යැයි සැක කෙරෙන මළ සිරුරු 03ක් ද හමු වුණා. ඒ අනුව මෙම සිදුවීමෙන් මියගිය 15 දෙනකුගේ සිරුරු සොයා ගත්තා.

මේ සමග නිවස තුළ තුවාල ලබා සිටි කාන්තාවක් සහ ළමයෙක් වහාම රෝහල් ගත කිරීමට පොලිසීය පියවර ගත්තා. මෙම මෙහෙයුම තව දුරටත් සිදු වෙනවා.

Recommended For You

About the Author: Editor