ඔළුව පුපුරන්න එන්නේ ඇයි ?

‘මේ ෆයිල් ගොඩ දැක්කම මගේ ඔළුව කකියනවා’
‘විභාගේ මතක් වෙන කොට මගේ හිස පුපුරන්න වාගේ’
‘අම්මේ මේ වැඩ කන්දරාව කොහොම ඉවර කරන්නද මන්දා. මගේ ඔළුව පැලෙන්න වාගේ ’

මේ අපි හැමෝටම උදේ හවස හැම තැනම ඇහෙන කතා. ඇස් ලොකු කරගෙන, මුහුණ හතරැස් කර ගෙන කියන මේ කතා අස්සේ තවත් ලොකු කතාවක් තියෙනවා.

ගින්නක් නැතිව දුමක් නගින් නෑ වගේම කිසිම හේතුවක් නැතිව ඔබට හිසේ ඇම්ම (කැක්කුම) හැදෙන්නේ නැහැ.

මේ හිසේ කැක්කුම එක්ක එන ලෙඩ කිහිපයක් ගැන තොරතුරු. බලන්න ඔබ අයිති වෙන්නේ කොතැනටද කියලා.

ආතතිය : ආතතිය අද සමාජයේ අති සුලභ රෝගයක්. කුඩා දරුවන්ගේ (ශිෂ්‍යත්වය වැනි විභාගවලට සූදානම්වන) සිට වැඩිමහළු පුද්ගලයින් දක්වා මේ රෝගය වැළඳෙනවා. ඒ කියන්නේ ඔබ යම්කිසි ආකාරයක ‘මානසික ආතතියකින් ’ පෙළෙනවා නම් ඔබට ‘ආතතිය’ බොහොම හිතවත් ඇති. ආතතිය හැදුණාම ඒක දැනෙන්නේ හිසරදය වාගේ. ඔබට ඔබේ ඔළුව රෙදි පටියකින් තද කරනවා වාගේ වේදනාවක් දැනෙනවා නම් ඒ ආතතිය නිසා.
‘මිග්රේන් ’: මේකත් හිසරදයේ තවත් ස්වරූපයක්. හිසේ පැත්තකින් එන තද කැක්කුම සහ ඕක්කාරයත් සමග විවිධ මායා දර්ශන පෙනීම මෙහි රෝග ලක්ෂණ වශයෙන් දැක්විය හැකියි.

‘ක්ලස්ටර් ’: මෙයත් සුලභ හිසරදයක් වශයෙන් දැක්විය හැකියි. මේක ‘පොකුරු හිසේ ඇම්ම ’ කියලත් කියනවා. වසරේ නියමිත කාලයකට දිනකට කිහිප වතාවක් මේ හිසරදය දැනෙනවා. ඔබේ ඇස් අවට හෝ ඇස තුළ වේදනා දෙමින් ක්ලස්ටර් ක‍්‍රියාත්මක වෙනවා.

‘සයිනස් ’ කෝඨරක ප‍්‍රදාහය කියලත් මේ හිසරදයට කියනවා. නළල, ඇස්වටය, නාසය දෙපස අස්ථි කුහර රිදුම් දෙන්නේ සයිනස් හිසරදය නිසයි.

සටහන – මධුභාෂිණී උරේෂා

Recommended For You

About the Author: Editor