කල්මුණේ සහින්දාමරාඩු ප‍්‍රදේශයෙන් මළ සිරුරු 15ක් හමුවේ

කල්මුණේ සහින්දාමරාඩු ප්‍රදේශයේ දී ඊයේ රාත‍්‍රියේ ආරක්ෂක අංශ සහ ඉස්ලාම් අන්තවාදීන් අතර වෙඩි හුවමාරුවක් සිදුවූ ප‍්‍රදේශයේ තිබී මළ සිරුරු 15ක් සොයාගත් බව ආරක්ෂක අංශ ප‍්‍රකාශ කරනවා.

ඊයේ පස්වරු 7.00 ට පමණ කල්මුණේ සහින්දාමරාඩු ප්‍රදේශයේ ජුම්මා මුස්ලිම් පල්ලියට ආසන්න සැක කටයුතු ස්ථානයක් සෝදිසි කරමින් සිටින අතරතුර මෙම වෙඩි හුවමාරුව සිදුව තිබෙනවා.

යුද්ධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු ප්‍රකාශ කර සිටියේ යුද්ධ හමුදාව සහ පොලිස් විශේෂ කාර්‍ය බලකායට ලද තොරතුරකට අනුව සිදු කල සෝදිසි මෙහෙයුමකදි මරාගෙන මැරෙන බෝම්බ කට්ටල හා පුපුරණ ද්‍රව්‍ය නිෂ්පාදනය කරමින් සැඟව සිටි ත්‍රස්ථවාදීන් 5-6 දෙනෙකුන් විසින් මෙම වෙඩි තැබිම සිදුකර ඇති බවයි.

මේ සමග කල්මුණේ සහින්දාමරාඩු ප‍්‍රදේශයේ දී ආරක්ෂක අංශ සහ අන්තවාදීන් අතර ඇති වූ ගැටුමෙන් මිය ගිය පිරිස 15 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මෙම මළ සිරුරු අතර අන්තවාදීන් විසින් පුපුරවා ගත් වෑන් රථයේ තිබූ අන්තවාදීන්ගේ මළ සිරුරු 04ක්, පිරිමි මළ සිරුරු 6ක්, කාන්තා මළ සිරුරු 03ක් සහ ළමුන්ගේ මළ සිරුරු 6ක් ඇති බවයි වාර්තා වන්නේ.

මේ සමග බරපතළ තත්ත්වයේ පසු වූ කාන්තාවක් ද හමුවී ඇති අතර ඇය රෝහල් ගත කිරීමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබෙනවා.

මේ අතර ආරක්ෂක අංශ වෙත ඊයේ රාත‍්‍රියේ පුපුරවා හරින ලද වෑන් රථයක් තුළ තිබූ මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ යැයි සැක කළ හැකි මළ සිරුරු 04ක් ද හමු වී තිබුණා.

Recommended For You

About the Author: Editor