හැමදාම හිතේ තිබුණේ මහණ වෙනවා කියන හැඟීම විතරමයි

නාවලපිටියේ අනුරාධා සුධම්මිකා මෙහෙණින් වහන්සේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයේ සිංහල හා ජනසන්නිවේදන අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය

හිතුවක්කාරීකම නිසා අරමුණක් නොමැතිව ජීවීතය නාස්ති කරගන්නා තරුණියන්ගේ අසුන්දර කතා අද සමාජයේ කොතෙකුත් අප අසන්නෙමු. එවැනි කතා නිරන්තර ඇසෙන බෞද්ධ රටක එලෙසම නිවසින් පිටමංව ජීවීතයේ අතරමං නොවී බුදුන් වැඩි මග ඔස්සේ කසා වතින් සැරසී බණ දම් උගෙන ජීවීතයේ යථාර්ථය මැනවින් අවබෝධ කර සුවහසක් සිසු පරපුරකගේ නැණස පාදන සමාජය නිවැරදි මගකට ගෙන යාමට නිහඬ මෙහෙවරක නියැලෙන මෙහෙණින් වහන්සේ කෙනෙකු පිළිබඳව ඔබ මීට පෙර අසා තිබෙනවාද ?

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයේ සිංහල හා ජනසන්නිවේදන අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නාවලපිටියේ අනුරාධා සුධම්මිකා මෙහෙණින් වහන්සේ අභියෝග මැද ජයගත් ජීවිතය ගැන මේ විදිහට අප සමඟ සුහද පිළිසඳරක නියැලුණා.

ඔබට පැවිදි වෙන්න හිතෙන්නේ ඇයි ?

කවුරුහරි මගෙන් ඇහුවොත් කවුරු වෙන්නද කැමැති කියලා එදා මං කිව්වේම මහණ වෙනවා කියලා විතරමයි. ඒ කාලේ මෙහෙණින් වහන්සේ කෙනෙක් දැකලා තිබුණෙත් නෑ. ඒත් හැමදාම හිතේ තිබුණේ මහණ වෙනවා කියන හැගීම විතරමයි. යමක් තේරුම් ගන්න පුළුවන් වයස එද්දී ඉදන් ඒ සිතුවිල්ල හිතේ තැන්පත් වෙලා තිබුණා. තුන් වැනි වසරේදී සංඝමිත්තා මෙහෙණින්වහන්සේගේ පාඩම ගැන ඉගෙන ගද්දී ඒ ආශාව වැඩි වුණා. මට හිතුණේම මම කවදා හරි ඒ වගේ වෙනවා කියලා.

අවුරුදු 14 දී ගෙදර අයට ලියුමක් ලියලා තියලා ආරාමයක්
හොයාගෙන නිවසින් පිටත් වෙන ඔබට මෙහෙණියක් වෙන්න අවස්ථාව හිමි වෙන්නේ කොහොමද ?

පාසලේ බොහෝ දෙනා දැනගෙන හිටියා මං මහණ වෙන්න ආසාවෙන් ඉන්න කෙනෙක් කියලාග නිතරම යාළුවන්ගෙන් අහද්දී ඒ අය කියලා තිබුණා නාවලපිටිය පැත්තේ ආරාමක් තියෙනවා කියලා. ඒ වගේම ඒ අය නිතරම කියනවා ඒ භික්ෂුනි ආරාමය තියෙන තැන හරිම ලස්සනයි; කුරුල්ලෝ කෑ ගහනවා ලේන්නු ඉන්නවා. මෙහෙණින් වහන්සේ කෙනෙක් හැමදාම මල්වලට වතුර දානවා. ඒ වගේ දේවල් නිසා ඉතින් දවසින් දවස පැවිදි වීමේ ආසාව වැඩි වුණා මිස අඩු වුණේ නෑ. එදා නිවසින් පිටත් වුණ දවසේ තාත්තාගේ දින පොත ඇතුලෙන් ලියුමක් ලියලා දාලා පාසල් ගියා. විදුහල්පතිතුමියටත් කියලා මං හවස පාසල් ඇරිලා ආවාග මාව ගෙදර එක්ක යන්න මගේ දෙවැනි අයියා එනවාග. එදත් ඇවිත් හිටියා මම අයියාව පෙනී පෙනී යාළුවෝ එක්ක බස් එකක නැගලා ගියා. එදා මං යාළුවෝ එක්ක ගිහින් ඒ ආරාමයට යද්දී මගේ හිතේ මැවිලා තිබුණු රූපේ තිබුණා. අර කිව්ව මෙහෙණින් වහන්සේ මල්වලට වතුර දානවා. ඉතින් මාව දැක්ක ගමන් ‘‘එන්න දරුවා’’ කියලා හරි ආදරෙන් කතා කරලා මාව ආරාමය ඇතුලට එක්ක ගියාග ලොකු මෙහෙණින් වහන්සේ හිටියේ නෑ. පසුව ගිනිගත්හේනේ සුසිලා සෝබනී ලොකු මෙහෙණින් වහන්සේ ආවට පසුව මගෙන් ඇහුවා,

‘‘ඇයි මේ විදයට ආවේ ?’’ කියලා.
මං කිව්වා,

‘‘මහණ වෙන්න ඕනි’’ කියලා.

‘‘ගෙදරට කියලද ආව් ?’’
කියලා ඇහුවම, මං කිව්වා,

‘‘නැහැ. ඒ අය කැමති නෑ. ලියුමක් ලියලා තියලා විදුහල්පතිතුමියටත් කියලයි ආවේ’’ කියලා.

ලොකු මෙහෙණින් වහන්සේ ඒ කතාවට කට කොනකින් හිනා වුණා. අද වගේ මතකයි. මෙහෙණින් වහන්සේ කලබල වුණේ නෑ. මාව ආපහු හරවලා යැව්වේ නෑ. මගේ විස්තර අහන ගමන් පොත්පත් බැලුවා. ඒ ක්‍රියාව හරිම බුද්ධිමත් දෙයක් විදියට මං දකිනවා.

පස්සේ දාන ශාලාවට එක්ක ගිහින් කිරි හොදි සම්බෝල එක්ක පාන් පෙති තුනක් දුන්නා කන්න කියලා. ලස්සන ගවුමක් ඇදගන්න දුන්නා. බඩගිනිත් නෑ මොනදේ වුණත් හිතේ පොඩි බයකුත් තිබුණාග ගෙදර අය මාව හොයනවා ඇති කියලා. ඒ බය නිසාම එදා කෑම කන්නත් බැරි වුණා. හරි උපක්‍රමශිලීව පහුවදා වෙනකල් මාව තියාගත්තා.

පහුවදා පාන්දරම ලොකු මෙහෙණින් වහන්සේ ළඟ ගෙදරක ළමයෙකුට එන්න කියලා විදුහල්පතිතුමියට ලියුමක් යැවුවා. දායක සභාවටත් දැනුම්දීලා තිබුණා. ගොඩක් මගේ පන්තියේ යාලුවන්ගේ මව්පියන් හිටියේ ඒ ආසන්නයේ ඉතින් ඒ අයගෙන් මගේ විස්තර අහද්දී මං පන්තියේදීත් මේ දෙවල් නිතර නිතර කියන එක තහවුරු වුණා. මම ආරක්ෂිතව ආරාමයේ ඉන්නවා කියලා ගෙදරට සහ විදුහල්පතිතුමියට ආරාමයෙන් යැවු ලියුමත් අරගෙන ගෙදර හැමෝම එක්ක විදුහල්පතිවරියයි ගුරුවරු දොළොස් දෙනෙකුත් එක්ක මාව බලන්න ආවා.

එදා දායක සභාවත් එකතුවෙලා එදා ලොකු සභාවක් වගේ තිබුණා. අම්මා තාත්තා සහෝදරයෝ හැමෝම අඬනවා. මමත් අඬනවා. වෙනස් නාට්‍යක කොටසක් වගේ වුණා. ඉතින් ඒ වේලාව හරිම සංවේදී අත්දැකීමක් වුණාග අම්මා නම් ගොඩක් විරුද්ධ වුණා. අයියලා අක්කලා මාව බදාගෙන අඬන්න ගත්තා. ඒත් මං දැක්කා තාත්තා මගේ දිහා බලන් ඉදලා කිව්වා.

‘‘ඒ දරුවා මහණ වෙන්න ඕනි කියලා හැමදාම කිව්වා. එයාගේ කැමත්ත එකනම් එකට ඉඩ දෙන්න’’ කියලා.

සතුටකුත් එක්ක ඒ ඇස්වල කදුළු පිරිලා තිබුණා මං දැක්කා. මාව ශාසනයට භාර කළා කියලා ලිඛිතව දෙන්න කියලා තාත්තාට ලොකු මෙහෙණින් වහන්සේට කිව්වා. තාත්තා ලියුමක් ලියලා අත්සන් කරලා දුන්නාග මගේ තීරණය මොකද්ද කියලා අහද්දී ඒත් අඬ අඬා මං කිව්වේ මට මහණ වෙන්න ඕනි කියලා විතරයි. මගේ තාත්තා එදා ඒ තීරණය නොගත්තා නම් අද මට මහණ වෙන්න බැරි වෙයි. ඒ පින මගේ තාත්තාට හිමි වෙනවා.

1986 වසරේ දෙසැම්බර් 15 වැනි උදුවප් පෝය දවසේ සංඝමිත්තා මෙහෙණින් වහන්සේගේ දිනය සමරනු ලැබුවා. එදින අනුරාධපුර ජය ශ්‍රීමහා බෝධින් වහන්සේ ඉදිරිපිටදී තමයි මං පැවිදි සිල් සමාදන් වෙන්නේ. මට හිතෙනවා ඒ සිදුවීම දෛවෝපගත සිදු වීමක් කියලා. මේ දෙසැම්බර් 15 වැනිදාට මගේ පැවිදි දිවියට වසර 30 ක් වෙනවාග සාමණේර භික්‍ෂුණියක්‌ උපසම්පදා කරන්න පෙර විභාගයකට මුහුණ දිය යුතුයි. භික්‍ෂුණී ප්‍රාතිමෝක්‍ෂය, සාමණේර බණ දහම් පොත, පිරිත් පොත් වහන්සේ, භික්‍ෂුණී ඛන්දකය, ධම්ම පදය, විශ්ෂ සූත්‍ර හා ශාසන ඉතිහාසය ආදී විෂයය කරුණු පිළිබඳ වන පොත් කරවීම (කට පාඩම් කිරීම) හා ලිඛිත මෙන්ම වාචික පරීක්‍ෂණයකින් ලබා ගන්නා ලකුණු මට්‌ටම් පිළිවෙළින් උපසම්පදා කිරීම සිදු කෙරෙනවා. ඉතා කුඩා වරදකින් පවා මිදීමට කැපවීම උපසම්පදා සීලයේ වැදගත්ම ලක්‍ෂණයයි. ඒ කියන්නේ උපසම්පදා වූ භික්‍ෂුණියක්‌ ඉතා කුඩා හෝ වරදක්‌ සිදු නොකළ යුතුයි. මේ තත්ත්වයට පත් වෙන්න ලොකු අධිෂ්ඨානයක්‌ තිබුණා. ඉතාම කැපවීමෙන් පාඩම් කටයුතු කළා. ඒ වගේම පිළිවෙත් රැක්‌කා. මේ තත්ත්වයට පත් වෙන්න පහසු නැහැ. ඇත්තටම දුෂ්කර ක්‍රියාවක්‌ වගෙයි. නමුත් උනන්දුව හා කැපවීම මේ තත්ත්වයට පත්වීමට ඉවහල් වුණා.

ලියුමක් ලියලා තියලා ගියේ හිතුවක්කාරී ගමනක් ඒක වැරදියි නේද ?

බුදුන් වහන්සේ දේශනා කරනවා තමන් යමක් කරනවා නම් ඒ දේ දෙවරක් හොදට හිතල බලලා කරන්නග තමන්ට, ඇසුරු කරන අයට මව්පියවන්ට ගුරුවරුවන්ට අයහපතක් නම් අවලාදයකට ලක් වෙනවා නම් ගැටලු ඇති වෙනවා නම් කොයි තරම් කැමැති දෙයක් වුණත් ඒ දේ අත හරින්න කියලා. මං ඒ දේ දැනගෙන නොවයි කළේ. නමුත් අද හොඳ බුද්ධිමත් තීරණයක් කියලා හිතෙනවා. සමාජයේ හිතුවක්කාරී කියන වචනය කියන්නේ වැරදි පැත්තට කරන ක්‍රියා. හැබැයි ඒ දේ යහපත් දෙයක් නම් හිතුවක්කාරී වෙන්නේ නෑ. අද වයසින් වැඩි හරියක් ගෙවලා ඉවර මම කිසිම කෙනෙකුට ඒ දේ කරන්න කියලා කිසිම දවසක කියන්නේ නෑග මොකද ඒ ගමන ඒ තරම් අවදානම් ගමනක්. එදා මට තිබුණ ආසාව නිසා අවස්ථාව ලැබුණ සැණින් මං නොගියොත් පැවිදි වෙන්න බැරි වෙයි කියලා හිතුවා. වැරදි දෙයකට යොමු නොවුණ නිසා මේ විදියට ඉන්නවා. නමුත් එදා ඒ ආවේගය වැඩි. ඇතැම් වේලාවට හිතෙනවා මං එහෙම දෙයක් කළාද කියලා.

දැන් මව සහ පියා සහෝදරයෝ මොකද කියන්නේ ?

දැන් නම් ඒ අය ශාසනගත කෙනෙක් ඉන්නවා කියලා හිතනවා ඇති. මාව බලන්න එනවා. මං හිතනවා ඒ අයගේ හිතේ සතුටක් ඇති මං ගත්තු තීරණයෙන් වරදක් වුණේ නෑ කියලා මට

එදා තාත්තාගේ දින පොත යටින් තියලා ආව ලියුමේ මොනවද ලිව්වේ මතකද ?

මං පැවිදි වෙන්න ගොඩක් කැමැත්තෙන් ඉන්න නිසා පැවිදි වෙන්න ආරාමයක් හොයා ගෙන යනවාග මං ගැන හොයන්න කලබල වෙන්න එපාග මට අවසර දෙන්න කියලා ලිව්වා මතකයි.

ශාසනයට ඇතුලු වෙන්න කලින් ගෙදර අයත් එක්ක ගෙවුණ ජීවීතේ කොහොමද ?

මං ඉගෙන ගත්තේ නාවලපිටිය ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලයේ. ඒ කාලේ හරිම සුන්දර කාලයක්. මට අයියලා තුන්දෙයි, අක්කා කෙනෙක් සහ මල්ලියෙක් හිටියා. අපි කවදාවත් රංඩු වුණේ නෑ. අපේ ගෙදර ලොකු වත්තක් තිබුණා. ඉතින් පාසල් ගිහින් ඇවිල්ලා කෑම කාලා දුවන්නේ වත්තට. ගිහින් පළතුරු කනවා සෙල්ලම් කරනවා. අද දරුවන්ට නැති ඉතා සුන්දර ළමා කාලයක් මට තිබුණා. මව්පියන් වුණත් හරිම ආදරණිය ආදර්ශමත්මත් චරිත. සැර වැර කළේ නෑ. ඒගේම තමයි මොන දේ කළත් හවස හය හමාර වෙද්දි මල් තියලා පහන් පත්තු කරලා වන්දනා කරනවා. ගාථා හයියෙන් කියන්න වරදදන්න බෑ. එහෙම වුනොත් ආයේ මුල ඉදන් කියන්න ඕනි. ආයෙත් හැරිලා බලද්දී ගෙදර ගෙවපු කාලෙට ඇදිලා යන තරමට සුන්දරයි. එදා මට කියන්න ඕනිකම තිබුණත් මට මහණ වෙන්න ඕනි කියලා. මව්පියන් ඉස්සරහා ඒක මට කියා ගන්න බැරි වුණා. ඒ නිසා තමයි අවස්ථාව ලැබුණු වෙලාවේ මං ඒ වගේ දැඩි තීරණයක් අරගත්තේග හැබැයි කිසිම දවසක රිදුමක් නිසා පැවිදි වුණේ නෑ.

පාසල් අධ්‍යාපනයෙන් පසු විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්වා එන ගමන කොහොමද ?

සාමාන්‍ය පොළ උසස්පෙළ විභාගවලට පෞද්ගලික අයදුම්කරුවෙන් ලෙස පෙනී ඉදලා ඉතා ඉහළින් සමත් වුණා. නාවලපිටිය සුදර්මාරාමය කියලා පෞද්ගලික අධ්‍යාපන ආයතනය පුනරීක්ෂණ පන්ති ගිහින් විභිගය කලේ. පිරිවෙන් අධ්‍යාපනය තිබුණේ නැහැ. බුද්ධ ධර්මය, සිංහල, පාලි සහ බෞද්ධ ශිෂ්ටාචාරය විෂයන් උසස් පෙළ කලා අංශයේ ලංකාවේ තුන්වැනියා. දිස්ත්‍රික්කයෙන් පළමුවැනියා වෙලා පේරාදෙණිය විශ්ව විද්‍යාලයට තේරුණා. ගිහියෙක් විදියට හිටියනම් විද්‍යා ගණිත වගේ විෂයක් තෝරාගන්න තිබුණා. විශ්ව විද්‍යාලයට මං යන්නේ ත්‍රිපිටකය ඉගෙන ගන්න ආසාවෙන්. ඒත් සිංහල ඉගෙන ගන්න වුණා.

විශ්ව විද්‍යාල කාලයේ අත්දැකීම් කොහොමද ?

විශ්ව විද්‍යාලය ඇතුලේ කාලය ගොඩක් සුන්දරයි ගැහැණු, පිරිමි භේදයක් තිබුණේ නෑ. භිටිය එකම භික්ෂුනීය නේවාසික වෙලා හිටියේ. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ රමනාදන් කාන්තා ශිෂ්‍ය නේවාසිකාගාරයේ. දේශනශාවලට එන්න කිලෝමීටරයක් විතර එන්න ඕනි. ඇතැම් වෙලාවට අඳුර වැටුණම අයියලා අක්කලා මාව නේවාසිකාගාරය ළගටම ඇරලවනවා. මට ලොකු ගෞරවයක් ආරක්ෂාවක් අනික් අයගෙන් ලැබුණාග කිසිම දවසක තරගයක් තිබුණේ නෑ. ඉතින් විශ්ව විද්‍යාලයෙත් අවසන් අවුරුද්දේ හොදම ප්‍රථිපල ලැබුණා.

භික්ෂුණියල සිල් මෑණියෝ මේ වෙනස කුමක්ද?

උපසම්පදාව ලැබූ මෙහෙණින් වහන්සේ නමකට අප ආමන්ත්‍රණය කළ යුත්තේ ‘‘භික්‍ෂුණිය” නැතහොත් ”භික්‍ෂුණීන් වහන්සේ ”යනුවෙන්. ඊට පෙර සාමණේර අවදියේදී නම් මෙහෙණින් වහන්සේ යනුවෙන් ඇමතීම වඩාත් සුදුසුයි. එහෙත් සමාජයේ වැඩි භාවිතය සිල් මෑණියෝ යන්නයි. පොළොන්නරුව යුගයේ සිට මහනුවර යුගය දක්‌වා කාලයේදී භික්‍ෂුණී ශාසනයක්‌ තිබුණේ නෑ. පසුව කැතරින් අල්විස්‌ මෙනෙවිය බුරුමයට ගිහින් පැවිදි බවට පත්වෙලා. 1905 දී ශ්‍රී ලංකාවට පැමිණීමත් සමග නැවත භික්‍ෂූණී ශාසනය ඇති වුණා. ඒ කාලයේ කිතුණු බලපෑම මේ රටේ දැඩි ලෙස තිබුණා. බෞද්ධ මෙහෙණිවරු දකින්න හිටියේ නැහැ. නමුත් කිතුණු පල්ලිවල මදර්ලා, සිස්‌ටර්ලා හිටියා. ඒ නමට අනුව මෑණියෝ කියන වචනය භාවිත කරන්න ඇති. නමුත් ඒ වචනය සුදුසුයි. කියා මං හිතන්නේ නැහැ. උපසම්පදාව ලැබු කෙනෙකුට නම් ”භික්‍ෂූණීන් වහන්සේ” කියා ඇමතීම වඩාත් සුදුසුයි.

භික්‍ෂුණිය යන වචනයත්‌ සමග තවත් ගැටලුවක්‌ මතු වෙනවා. ඒ බුදුන් ජීවමාන කාලයේදී ඇරඹූ භික්‍ෂුණී ශාසනය යම් හේතුවකින් නිසා නැතිවී ගියහොත් එය නැවත ඇති කිරීමට නොහැකි බවයි. එතකොට මේ පවතින භික්ෂුණි ශාසනය කෙබදු එකක්ද ?

ඔය ප්‍රකාශය මමත් අසා තිබෙනවා. නමුත් චුල්ලවග්ගපාලියේ භික්‍ෂුණී ඛන්ධකයේ 475 වන පිටුවේ අවසන් ඡේදයේ අවසන් පේළියේ මෙන්න මෙහෙම සඳහන් වෙනවා.

අනුජානාමි භික්‌ඛවේ
භික්‌ඛුහි භික්‌ඛුණියෝ
උපසම්පාදේතුං

මෙයින් අදහස්‌ වන්නේ භික්‍ෂූණීන් උපසම්පදා කරන්න භික්‍ෂූන්ට අනුදනිමි යන්නයි. ඒ කියන්නේ භික්‍ෂුණීන්ව උපසම්පදා කරන්න භික්‍ෂූන් වහන්සේලාට අවස්‌ථාව තිබෙනවා. ඒ වෙනුවෙන් කැපවුණු භික්‍ෂූන් වහන්සේලා පිරිසක්‌ මේ රටේ වැඩ ඉන්නවා. වර්තමානයේ බොහෝ වියතුන් සඳහන් කරන්නේ භික්‍ෂූණීන් නැහැ කියනවාට වඩා භික්‍ෂුණී ප්‍රතිපත්ති සුරක්‍ෂිත කිරීමට හෝ මෙම උපම්පදා විනය කර්මය ඉතා වැදගත් බවයි.

හෙළහඬ පුවත්පතින් කළ උපුටා ගැනීමකි

සංවාද සටහන
නීතිඥ සමිත් කල්හාර ලියනගේ

Recommended For You

About the Author: Editor