චිත‍්‍රපටයේ ආරම්භය හා විකාශනය

චිත‍්‍රපටය බිහිවී මේ වන විට සියවසකට ආසන්න කාලයක් ගතවී හමාරය

නූතන ලෝකයට හිමි නවතම වූද, ලාබාලතම වූද, කලා මාධ්‍ය ලෙස හැඳින්වෙන චිත‍්‍රපටය, පැරිසියේ විසූ රිසියාටෝ කැනුඩෝ නම් විචාරකයා හඳුන්වා දුන්නේ හත්වන ”ලලිත කලාව” වශයෙනි. විද්‍යාත්මක වූත්, කලාත්මක වූත්, ප‍්‍රබලම ප‍්‍රකාශන මාධ්‍යයක් වන චිත‍්‍රපටය ‘විසිවන සියවසේ කලාව’ ලෙසද සම්භාවනාවට පාත‍්‍ර වී ඇත. චිත‍්‍රපටය බිහි වන්නේ චලනය රූපගත කිරීමත්, එය සමතල පෘෂ්ඨයකට ප‍්‍රක්ෂේපණය කිරීමත් යන සිද්ධාන්තය මතය. ඒ අනුව චිත‍්‍රපටයේ බිහිවීමට මග කියූ චිත‍්‍ර කලාව, ඡයාරූප කලාව හා ඒ ආශ‍්‍රිත තාක්ෂණික සොයා ගැනීම් පිළිබඳ අවධානය යොමු කිරීම වැදගත්ය.

අල්ටමීරා ගුහා චිත‍්‍ර

චලනය සටහන් කිරීමට ආදි මානවයා ද උත්සාහ දරා ඇති බව අල්ටමීරා, හා ලැස්කෝ වැනි ගුහා චිත‍්‍ර විමසා බැලීමේදී පැහැදිලි වේ. සෙවනැලිවල චලනය පිළිබඳ හැදෑරීමට මිනිසා යොමු වන්නේ මෙයින් පසු කාලයකදීය. මේ හැදෑරීම් ආශ‍්‍රයෙන් සෙවනැලි නාටක බිහි විය.

ක‍්‍රි. ව. 11-12 සියවස්වල චීනය ආශ‍්‍රිතව මෙම නාටක බිහි වූ හෙයින් මේවා චීන සෙවනැලි නාටක ලෙස හඳුන්වයි. 13- 14 සියවස් වලදී ක‍්‍රමයෙන් දියුණු වූ මෙම කලාව ආසියාතික රටවල ඉතා ඉක්මනින් පැතිරී ගියේය. මෙම සෙවනැලිවලට පණ දීම සඳහා ජපන් ජාතිකයෝ ‘ජපන් කැඩපත් ක‍්‍රමය’ යොදා ගත්හ. මෙම සෙවනැලි කලාවේ වැදගත්ම සංසිද්ධිය ලෙස සැළකිය හැක්කේ මැජික් ලන්තෑරුම Magic Lantern බිහිවීමයි. එය අතින් අඳින ලද චිත‍්‍රයක සෙවනැල්ල පහනක හෝ ලන්තෑරුමක ආලෝකයෙන් , බිත්තියක් මතුපිටට පතිත කරවීමේ සංකල්පය ඇසුරින් බිහිවූ වඩාත් දියුණු උපක‍්‍රමයකි. මෙහිදී ආලෝකයට ඉදිරියෙන් කාචයක් භාවිත වූ අතර චිත‍්‍රපට ප‍්‍රක්ෂේපණ යන්ත‍්‍රයේ මූලිකම අවස්ථාව ලෙස මෙය සැළකේ.

ජර්මන් ජාතික පූජකවරයකු වූ ඇතනේසියස් කිර්ෂ විසින් ක‍්‍රි. ව. 1644 රෝමයේදී ප‍්‍රථම මැජික් ලන්තෑරුම් ප‍්‍රදර්ශනය පැවැත්වීය. කුඩා ලන්තෑරුම ඉදිරියේ සවි කරන ලද කාචයක් සහ වීදුරු පතක අතින් අඳින ලද රූප ඔහු මෙහිදී භාවිත කළේය. මැජික් ලන්තෑරුම් ක‍්‍රමයත්, චලනය සමිබන්ධයෙන් මිනිස් ඇසේ ජීව විද්‍යාත්මක ස්වභාවයත් පැහැදිලි කරමින් ඔහු විසින් රචිත ග‍්‍රන්ථය, ‘ද ගේ‍්‍රට් ආර්ට් ඔෆ් ලයිට් ඇන්ඞ් ෂැඩෝ ’ The Great Art Of Light And Shadow& 1646 දී පමණ නිකුත් කරන ලදී.

18 සියවස අග භාගයේදී මැජික් ලන්තෑරුම භාවිතයෙන් තනි රූප තිරයකට පතිත කිරීම වෙනුවට රූප පද්ධතියක් පතිත කරවීමෙන් චලනය පිළිබඳ අදහසක් මතුකරගත හැකි බව අවධානයට යොමු විය. රූප කිහිපයක එකතුව මගින් අඛණ්ඩ චලනයක් දිස්වන්නේ මිනිස් ඇස කිසියම් මායාවකට හසුවීම පිළිබඳ ජීව විද්‍යාත්මක සිද්ධාන්තයක් අනුව බවද සොයා ගැනුනි. මේ පිළිබඳ පර්යේෂණයන්හි නිරත වූ පුද්ගලයන් අතර ප‍්‍රමුඛයා ලෙස සැළකෙන්නේ පීටර් මාක් රොජේ නම් බි‍්‍රතාන්‍ය ජාතික ගණිතඥයාය. ඔහු විසින් චලනය වන රූප වැළක් ආශ‍්‍රයෙන් ඇස රැුවටීම පිළිබඳ මෙම සිද්ධාන්තය දෘෂ්ටියේ අඛණ්ඩතාව persistence of vision ලෙස නම් කළ අතර ඒ පිළිබඳ විග‍්‍රහ කරමින් ලිඛිත සන්දේශයක් 1824 වසරේදී එංගලන්ත රාජකීය සංගමයට ඉදිරිපත් කළේය.

මෙම සිද්ධාන්තය භාවිත කරමින් මිනිස් ඇස රැුවටීමට සමත් සෙල්ලම් බඩු රැසක් 19 සියවස ආරම්භයේදී බිහි විය. 1826 වෙළඳ පොළට හඳුන්වා දුන් තර්මට්‍රෝප්, 1832 නිර්මාණය වූ පෙනකිස්ටස්කෝප්, ස්ට්‍රොබස්කෝප්, හා ජීව චක‍්‍රය wheel of life නමින් ප‍්‍රසිද්ධියට පත් වූ සෝට්‍රෝප් උපකරණය මින් කිහිපයකි.

1880 පමණ වන විට මෙම ක‍්‍රීඩා භාණ්ඩ සඳහා මැජික් ලන්තෑරුම් ක‍්‍රමය එක් වූ අතර මේ ආශ‍්‍රිතව කරන ලද වැදගත්ම නිර්මාණය වූයේ 1877- 79 කාලයේදී බිහි වූ ප‍්‍රැන්සිනස්කෝප් නම් උපකරණයයි. එමිල් රෙනෝඞ් නමැත්තාගේ සොයා ගැනීමක් වූ ප‍්‍රැන්සිනස්කෝප් නම් උපකරණය ඉක්මනින් ජනප‍්‍රිය විය. මෙමගින් ජනතාවට රූප නැරඹීමේ පහසුකම් සැළසීමට ‘තියටර් ඔප්ටික්’ නම් රඟහලක් 1892 දී රෙනෝඞ් විසින් ආරම්භ කළේය. තෝමස් අල්වා එඩිසන් විසින් නිපදවූ කයිනෙටස්කෝප් නම් උපකරණය ඉහත කී තත්ත්වයේ වැඩිදියුණු අවස්ථාවක් ලෙස හැඳින්විය හැක.

කැමරා ඔබ්ස්ක්‍යුරා

චලනය සටහන් කිරීමට මිනිසා තුළ වූ ආශාව හා කුතුහලය කැමරාවේ බිහිවීමට මග පෑදීය. 13 සියවස පමණ වන විට මෙහි මූලික හැඩතලය වූ කැමරා ඔබ්ස්ක්‍යුරා බිහි විය. 16 සියවසේදී මෙම අඳුරු කුටිය තුළට පිළිබිඹුවක් පතිත කිරීමේ තාක්ෂණය ලියනාඩෝ ඩාවින්සි අතින් එළි දැක්විනි. මේ ආකාරයට ආරම්භ වූ ඡයාරූප ශිල්පය පිළිබඳ කතාවේ සංධිස්ථානයක් ලෙස සැළකිය හැකි වන්නේ ඇමරිකාවේ විසූ ජෝර්ජ් ඊස්ට්මන් විසින් පහසුවෙන් භාවිත කළ හැකි සැහැල්ලූ කැමරාවක් හා සෙලියුලයිඞ් පටලයක් සොයා ගැනීමයි. වර්ෂ 1870 පමණ වන විට නිශ්චල වස්තූන් මෙන්ම චලනය වන වස්තූන්ගේද ඡයාරූප ලබා ගැනීමට පර්යේෂණ සිදු කෙරෙමින් පැවතුණි. මේ අවධියේ නිශ්චල ඡයාරූප රැසක් ධාවනයට සැලැස්වීමෙන් චලන චිත‍්‍රයක් ලබා ගැනීම පිළිබඳ මූලධර්මය සුප‍්‍රකට ඡයාරූප ශිල්පියෙකු වූ එඞ්වඞ් ජේ ම්‍යුබි‍්‍රජ් විසින් සොයා ගන්නා ලදී.

1872 දී එවකට කැලිෆෝර්නියා ආණ්ඩුකාරවරයා වූ ශ‍්‍රීමත් ලේලන්ඞ් ස්ටැන්ෆෝඞ් තම මිතුරකු සමග ඔට්ටුවක් ඇල්ලීය. අශ්වයකු දුවන විට යම් අවස්ථාවක උගේ පාද හතරම පොළවෙන් උඩ පවතින බව ඔහුගේ තර්කය විය. මෙය සනාථ කිරීම සඳහා 1877 වනතෙක් පර්යේෂණයන්හි නිරත වූ ම්‍යුබි‍්‍රජ් 1878 දී කැමරා 24 භාවිත කරමින් ලබාගත් රූපරාමු ආශ‍්‍රයෙන් මෙම තර්කය සැබෑවක් බව ඔප්පු කළේය. මේ ඇසුරින් චලනය රූපගත කළ හැකි තනි කැමරාවක අවශ්‍යතාවය මතු වූ අතර ප‍්‍රංශ ජාතිකයෙකු වූ ජූල්ස් මරේ විසින් කැමරා රයිෆලය මේ සඳහා හඳුන්වා දෙන ලදී. මෙමගින් චලනය සටහන් කිරීමේ ක‍්‍රමය ක්‍රොනෝ ෆොටෝග‍්‍රැපි නමින් හැඳින්විනි.

චිත‍්‍රපට කලාවේ පුරෝගාමීන්

තෝමස් අල්වා එඩිසන් Thomas Edison

පළමු චිත‍්‍රපට කැමරාව සහ ප‍්‍රක්ෂේපණ යන්ත‍්‍රය සොයා ගැනීමේ ගෞරවය හිමි වන්නේ ඇමරිකානු ජාතිකයකු වූ තෝමස් අල්වා එඩිසන්ටය. 1888 දී කිනෙටොග‍්‍රාෆ් නම් කැමරාව ඔහු විසින් නිර්මාණය කළ අතර 1889 දී මෙම කැමරාව භාවිත කරමින් සිය ප‍්‍රථම චිත‍්‍රපට තීරුව ඔහු විසින් නිපදවන ලදී. මෙය ෆ්‍රෙඞ් ඕට්ස්ගේ කිවිසුම Fred Otters sneeze ලෙස නම් කෙරිණි.

ෆ්‍රෙඞ් ඕට්ස්ගේ කිවිසුම

මෙම කැමරාව සඳහා මි.මී. 35 ප‍්‍රමාණයේ සෙලියුලොයිඞ් පටලපටය යොදාගත් අතර පටලපටය යන්ත‍්‍රය කුළ නොකැඞී ධාවනය කිරීම සඳහා රූප රාමු දෙපස සිදුරු ඇති කෙරිණි. මැජික් ලන්තෑරුම් ක‍්‍රමය භාවිත කරමින් සිය සහායකයා වූ ලෝරිස් ඩික්සන් සමග එකතුව එඩිසන් තැනූ රූප නැරඹීමේ යන්ත‍්‍රය කිනෙටෙස්කෝප් නමින් හැඳින්විනි. මෙම යන්ත‍්‍රය 1894 දී වෙළඳ පොළට නිකුත් කළ අතර මෙමගින් චිත‍්‍රපට නැරඹීමට හැකි වූයේ වරකට එක් අයෙකුට පමණි. 1894 අපේ‍්‍රල් මාසයේදී නිව්යෝර්ක් නගරයේ ප‍්‍රථම කිනෙටෙස්කෝප් පාලරය විවෘත කෙරිණි.

කිනෙටෙස්කෝප් යන්ත‍්‍ර සඳහා අවශ්‍ය චිත‍්‍රපට තීරු නිර්මාණය කිරීම වෙනුවෙන් එඩිසන් ලොව මුල්ම චිත‍්‍රාගාරය පිහිටුවීය. එය ‘බ්ලැක් මාරියා’ නමින් හැඳින්විනි. මෙම චිත‍්‍රාගාරය යොදා ගනිමින් නාට්‍යවල කොටස්, විනෝදජනක සිදුවීම්, ඓතිහාසික සිදුවීම් ආදිය අළලා චිත‍්‍රපට තීරු දහස් ගණනක් නිර්මාණය කෙරිණි. එඩිසන් රූපගත කළ ‘මේරිගේ හිස ගසා දැමීමේ’ දර්ශනය නරඹන්නන් බහුතරයකට විස්මය ගෙන දුන් අවස්ථාවක් විය. එවකට රඟදැක්වූ ‘ද වීඩෝ ජෝන්ස් ’ නාට්‍යයේ ජෝන් රයිස් හා මේරි අර්වින් නිළියගේ සිපගැනීමේ දර්ශනයක් ඇතුළත් කරමින් ඔහු විසින් නිපදවු ‘ද කිස් ’ The Kiss එකල බෙහෙවින් කතාබහට ලක් විය. ගොන් පොර, ජපන් යුවතියන්ගේ නැටුම්, තනි වූ මසුන් මරන්නා ආදිය ඔහු විසින් නිර්මාණය කරන ලද එවැනි තවත් චිත‍්‍රපට තීරු කිහිපයකි. එඩිසන් කල්පිතවාදී චිත‍්‍රපටයේ පියා ලෙසද සැළකේ.

ල්‍යුමියේර් සොහොයුරන්

ල්‍යුමියේර් සොහායුරන්

චිත‍්‍රපටය තිරයක් මතට ප‍්‍රක්ෂේපණය කිරීමේ තාක්ෂණය සොයා ගනු ලැබුවේ ල්‍යුමියේර් සොහායුරන් විසිනි. ඔවුන් විසින් චලනය රූපගත කළ හැකි සිනෙමැටෝග‍්‍රාප් නම් උපකරණය නිපදවන ලදී. එය කැමරාවක් මෙන්ම ප‍්‍රක්ෂේපණ යන්ත‍්‍රයක් ලෙසද භාවිත කළ හැකි වීම එහි තිබූ විශේෂත්වය විය. ‘සිනමාව’ නම් පර්යාය පදය උපත ලබන්නේ ල්‍යුමියේර් සහෝදරයන්ගේ සිනෙමැටෝග‍්‍රාප් උපකරණය ආශ‍්‍රයෙනි. ඔවුහු 1895 දී මෙම උපකරණය සඳහා පේටන්ට් බලපත‍්‍රය ලබා ගත්හ. ල්‍යුමියේර් සොහොයුරන් නිශ්චල කැමරා පටල නිපදවීම පිළිබඳ දැනුමක් තිබූ පටල නිෂ්පාදන කර්මාන්තශාලාවක අයිතිකරුවන් වූ බැවින් ඔවුන්ගේ චලන රූප එඩිසන්ගේ චලන රූප වලට වඩා උසස් තත්ත්වයක පැවතුණි.

වර්කර්ස් ලීවීං ද ල්‍යුමියේර් ෆැක්ටරි’ Workers Leaving the Lumiere Factory

1895 වසරේදී ඔවුහු තම ප‍්‍රථම කෙටි චිත‍්‍රපට තීරුව රූපගත කළහ. ‘වර්කර්ස් ලීවීං ද ල්‍යුමියේර් ෆැක්ටරි’ Workers Leaving the Lumiere Factory නම් මෙම චිත‍්‍රපට තීරුව 1895 මාර්තු 22 වන දින පැරිස් නුවරදී තෝරාගත් පිරිසක් හමුවේ තිරගත කරන ලදී. එය චිත‍්‍රපටයක් තිරයක් මතට ප‍්‍රක්ෂේපණය කළ පළමු අවස්ථාව විය. පේ‍්‍රක්ෂක පිරිසකට එකට හිඳ නැරඹිය හැකි පරිදි චිත‍්‍රපටයේ ප‍්‍රථම මහජන ප‍්‍රදර්ශනය සිදු වූයේ 1895 දෙසැම්බර් 28 වනදාය. එදින ප‍්‍රංශයේ පැරිස් නුවර ‘ග‍්‍රාන්ද් කැෆේ ’ආපන ශාලාවේ බිම්මහලේ කුටියකදී ල්‍යුමියේර් සහෝදරවරුන් නිපදවන ලද කෙටි චිත‍්‍රපට තීරු 12 පේ‍්‍රක්ෂකයන් 33 ඉදිරියේ ප‍්‍රදර්ශනය කෙරිණි. විනාඩි 30 පමණ කාලයක් ගත වූ මෙම ප‍්‍රදර්ශනය සඳහා පේ‍්‍රක්ෂකයකුගෙන් ෆ‍්‍රෑන්ක් එක බැගින් අය කර ඇත.

ල්‍යුමියේර් සහෝදරවරුන් විසින් ප‍්‍රථම දින ප‍්‍රදර්ශනය කළ චිත‍්‍රපට තීරු 12 විශේෂත්වය වන්නේ පසුව බිහිවන වෘතාන්ත සිනමාවේ ප‍්‍රධාන ප‍්‍රභේද රාශියක උපත දක්නට ලැබීමයි. ‘වෝටරින්ද ගාඞ්න්’ චිත‍්‍රපටය විකට චිත‍්‍රපට ප‍්‍රභේදයේ ආරම්භක අවස්ථාව ලෙස සැළකෙන අතර ‘ඇරයිවල් ඔෆ් අ ටේ‍්‍රන් ඇට් සියොතා ස්ටේෂන්’ ත‍්‍රාසජනක චිත‍්‍රපට ප‍්‍රභේදයේ ආරමිභක අවස්ථාව ලෙස සැළකේ. මෙම චිත‍්‍රපටය නැරඹූ පේ‍්‍රක්ෂකයන්ගෙන් සමහරෙක් දුම්රිය වේගයෙන් තමා දෙසට එනු දැක බිය වී පේ‍්‍රක්ෂකාගාරයෙන් ඉවතට දිව ගිය බවද කියැවේ. ල්‍යුමියේර් සහෝදරවරුන් යටතේ සේවය කළ කැමරා ශිලිපීන් ලොව වටා සංචාරය කරමින් විවිධ ජාතීන්ගේ ජාතික, ආගමික, සංස්කෘතික සංසිද්ධීන් චිත‍්‍රපට ගතකල අතර මේවා ට‍්‍රැවලොග්ස් ( ලෙස හඳුන්වා ඇත. ල්‍යුමියේර් සහෝදරවරු සිදුවීම් ස්වභාවික පසුතලය උපයෝගී කර ගනිමින් ඒ ආකාරයෙන්ම චිත‍්‍රපටයට නැගීම නිසා ඔවුන් ස්වභාවවාදී චිත‍්‍රපටයේ පියා ලෙස හඳුන්වයි.

ජෝර්ජ් මේලියේ Georges Méliès

ල්‍යුමියේර් සහෝදරවරු විසින් ග‍්‍රාන්ද් කැෆේ ආපන ශාලාවේ තිරගත කළ මුල්ම චිත‍්‍රපට තීරු නැරඹීමට පැමිණි පිරිස අතර වූ සුවිශේෂී පුද්ගලයකු ලෙස මේලියේ හඳුන්වා දිය හැක. වෘත්තියෙන් මැජික් ශිල්පියෙකු වූ ඔහු ල්‍යුමියේර් සොහොයුරන්ගේ සිනෙමැටෝග‍්‍රාෆ් යන්ත‍්‍රය තමාගේ වෘත්තීමය කටයුතු සඳහා බෙහෙවින් ප‍්‍රයෝජනවත් උපකරණයක් විය හැකි බව වටහා ගත්තේය. ඔහු එම උපකරණය පිළිබඳ අයිතිය ල්‍යුමියේර් සහෝදරවරු වෙතින් ලබා ගැනීමට උත්සාහ කළද එය සාර්ථක නොවීය. පසුව 1888 දී පැරීසියේ මැජික් තියටර් ශාලාව මිලට ගනිමින් ඔහු චිත‍්‍රපට ප‍්‍රදර්ශන ව්‍යාපාරයට එක් විය. ඉනික්බිති තමන්ගේම චලන කැමරාවක් නිපදවූ ඔහු රොබට් පෝල්ගෙන් ප‍්‍රක්ෂේපණ යන්ත‍්‍රයක් මිලට ගෙන චිත‍්‍රපට නිර්මාණය හා ප‍්‍රදර්ශනය ඇරඹීය. ඔහුගේ ප‍්‍රක්ෂේපණ යන්ත‍්‍රය ‘බයිස්කෝප්’ නමින් හැඳින්විනි.

මේලියේ වැඩිපුර උනන්දු වූයේ කැමරා උපක‍්‍රම Trick Photography භාවිතයෙන් කථාවක් කීමටයි. මෙවැනි චිත‍්‍රපට තීරු අතර ‘වන් ටෙරිබල් නයිට්’, ‘ද වැනිෂිං ලේඩි’, ‘ද ෆෝ ට‍්‍රබල්සම් හෙඞ්’, ‘ද හෝන්ටඞ් කාසල් ’ ආදිය විශේෂිතය. මේ චිත‍්‍රපටවල කථාව ලියා, දර්ශන තල සකස් කර, බොහෝ දර්ශන රූපගත කළ මේලියේ, ඒවායේ ප‍්‍රධාන චරිතයද රඟපාමින් අධ්‍යක්ෂණ හා නිෂ්පාදන කාර්යයේද නිරත විය. මේ නිසා මේලියේ සිනමාවේ ප‍්‍රථම තථ්‍ය සිනමාකරු First true film directer ලෙසද හඳුන්වයි. 1896 දී තම චිත‍්‍රපට නිර්මාණය සඳහා ඔහු විසින් ‘ස්ටාර් ෆිල්ම්ස් ’නම් සමාගම පිහිටුවා ගනු ලැබීය. විද්‍යා ප‍්‍රබන්ධ චිත‍්‍රපටවලත්, මන:කල්පිත අද්භූත රීතියේ චිත‍්‍රපටවලත් සමාරම්භකයා ඔහු විය. කැමරාව හා ක‍්‍රියාව නතර කර දර්ශනයට අලූතින් යමක් එකතුකර හෝ ඉවත් කර, නැවත කැමරාව හා ක‍්‍රියාව ඇරඹීමෙන් වස්තූන් පරිවර්තනය හා අතුරුදහන් කිරීමේ ‘ස්ටොප් ඇක්ෂන්’ Stop Action මූලධර්මය ඔහුගේ සොයා ගැනීමකි.

‘අ ටි‍්‍රප් ටු මූන්’ A Trip To Moon

1899 දී මෙලියේ නිර්මාණය කළ සින්ඩරෙල්ලා සුරංගනා කතාවේදී ඔහු දර්ශන සම්මිශ‍්‍රණය dissolves ආදිය භාවිතා කරන ලදී. එසේම ඔහු භාවිතා කළ තවත් උපක‍්‍රමයක් වූයේ බෙදුණු තිරය multiple exposure යි. ඔහුගේ සමහර විශේෂ උපක‍්‍රම නිර්මාණය කළ ආකාරය මේ වන විටද රහසක්ව පවතී. ‘ද ෆෝ ට‍්‍රබල්සම් හෙඞ්’ චිත‍්‍රපටයේදී මිනිසෙක් තමාගේ ශරීර අවයව සියතින්ම කපා දමන ආකාරය දැක්වෙන අතර එය සිදුකර ඇති ආකාරය විස්මය ජනකය. මේලියේ නිර්මාණය කළ චිත‍්‍රපට අතරින් වැදගත්ම නිර්මාණය ලෙස සැළකෙන ‘අ ටි‍්‍රප් ටු මූන්’ A Trip To Moon විනාඩි 14 ධාවන කාලයකින් යුක්තය. එය ජූල්ස් වර්න්ගේ විද්‍යා ප‍්‍රබන්ධ ගණයේ නිර්මාණයක් ලෙස සැළකේ. ඔහුගේ චිත‍්‍රපට අතර වෙළඳ දැන්වීම්, මුල් කාලීන නිල් චිත‍්‍රපට මෙන්ම ව්‍යාජ ප‍්‍රවෘත්ති චිත‍්‍රපටද දැකිය හැකි විය. මැජික්කරුවකු ලෙස තමා සතු වූ කුසලතාව සිනමා කලාව සඳහා යොදා ගනිමින් විචිත‍්‍රවත් හා තාක්ෂණයෙන් අනූන චිත‍්‍රපට බිහි කිරීම මේලියේගේ ජනප‍්‍රියත්වයට හේතු විය.

ද ගේ‍්‍රට් ටේ‍්‍රන් රොබරි’ The Great Train Robbery

එඞ්වින් එස් පෝටර්

පුරෝගාමී අවධියේ ඇමරිකා එක්සත් ජනපදයේ බිහි වූ එකම සාර්ථක චිත‍්‍රපටකරු ලෙස එඞ්වින් එස් පෝටර් හඳුන්වා දිය හැකිය. චලන රූප භාවිතයෙන් කථාන්තරයක් කීමේ ක‍්‍රමය සොයාගැනීමේ පුරෝගාමියා වූයේ ඔහුය. චිත‍්‍රපට කලාවේ මූලික පදනම සංස්කරණය තුළින් ගොඩනැංවිය හැකි බව මුලින්ම වටහාගෙන නිර්මාණ ඉදිරිපත් කළේ ඔහු විසිනි. ඔහු 1903 දී ‘ද ලයිෆ් ඔෆ් ඇන් ඇමරිකන් ෆයර්මන්’ The Life Of An American Fireman චිත‍්‍රපටය තුළින් සංස්කරණ මූලධර්ම ගැන අත්හදා බැලීම් මුල් වරට ඉදිරිපත් කළේය. මේ චිත‍්‍රපටය වාර්තා වෘතාන්ත චිත‍්‍රපට ධාරාවේ ඉතිහාසය සනිටුහන් කරන බව විචාරක මතයයි. මෙම චිත‍්‍රපටය නිර්මාණය කිරීම නිසා පෝටර් ඇමරිකාවේ පළමු ‘සිනමා කලාකරුවා’ බවට පත්විය. ඔහුගේ මීළඟ නිර්මාණය වූ ‘අන්කල් ටොම්ස් කැබින්’ Uncle Tom’s Cabin ද එම වසරේදීම නිෂ්පාදනය කරන ලදී.

චිත‍්‍රපට කලාවේ ඉදිරි ගමනට හරවත් මග පෙන්වීමක් ලබා දුන් ‘ද ගේ‍්‍රට් ටේ‍්‍රන් රොබරි’ The Great Train Robbery හෙවත් මහා දුම්රිය මංකොල්ලය චිත‍්‍රපටය කතාන්දරයක් විස්තරාත්මකව ප‍්‍රකාශ කළ ප‍්‍රථම චිත‍්‍රපටයයි. ජවනිකා 14 සමන්විත වූ විනාඩි 13 ධාවන කාලයකින් යුක්ත එය ඇමරිකාවේ ප‍්‍රථම වෘතාන්ත චිත‍්‍රපටය ලෙස සැළකේ. මෙම චිත‍්‍රපටයේදී සමාන්තර ෙ‏ඡ්දනය ‏parallel cutting මගින් එකම කාලයක විවිධ ස්ථානවල සිදුවන සිදුවීම් එකට යා කරමින් අඛණ්ඩ සිදුවීම් දාමයක් බවට පත් කෙරිණි. රූපයක ගැඹුර මතු කෙරෙන ආකාරයෙන් වස්තූන් පෙළගැසීමත්, තිරස්කරණය වැනි විවිධ කැමරා හැසිරවීම් මගින් රූපයට සිදුවීම් හා බැඳෙන රිද්මයක් ලබාදීමත් මෙහි විශේෂත්වයක් විය. ද ගේ‍්‍රට් ටේ‍්‍රන් රොබරි, චිත‍්‍රපටයක දිග ප‍්‍රමාණය හා ධාවන කාලය පිළිබඳ ප‍්‍රමිතියද ගොඩ නැංවීය. 1911 එඩිසන් සමාගමෙන් ඉවත් වූ පෝටර් රෙක්ස් ෆිල්ම්ස් නම් ස්වාධීන සමාගම පිහිටුවා ගත් අතර පෝටර් සැ අවසන් චිත‍්‍රපටය ‘ද එන්ටර්නල් සිටි’ ලෙස හැඳින්වේ.

ඞී. ඩබ්. ග‍්‍රිෆිත් D. W. Griffith’s

චිත‍්‍රපට භාෂාව පිළිබඳ මූලික සිද්ධාන්ත රාශියක් සොයා ගැනීම හා වර්ධනය කිරීමත්, චිත‍්‍රපටයේ ප‍්‍රකාශන ශක්තිය තීව‍්‍ර කිරීම උදෙසා එය භාවිතා කිරීමත් නිසා ග‍්‍රිෆිත් චිත‍්‍රපට කලාවේ පියා ලෙස සැළකේ. චිත‍්‍රපටය යනු හුදෙක් කතාන්දර ප‍්‍රකාශ කරන මාධ්‍යයක් නොව ජීවිතය හා සමාජය පිළිබඳව ගැඹුරු අර්ථ සම්පාදනය කරන ලලිත කලාවක් බව ඔහුගේ පිළිගැනීම විය. චිත‍්‍රපටයක පදනම දර්ශනය නොව තනි රූපය බව සැළකූ ඔහු දුර, මධ්‍යම, සමීප ලෙස රූප වර්ග කරමින්, කැමරා චලනය මගින් රූපයට විවිධ අර්ථ ලබාදුනි. විවිධ කාච ආවරණ masks හා පෙරණ filters භාවිතයෙන් ආලෝකය පාලනය කළ අතර ෙඡ්දනය උපක‍්‍රමය හරහා ප‍්‍රස්තුතයට උචිත රිද්මයක් නිර්මාණය කළේය. ඡ්දනය මගින් රූපයට යටි අර්ථ ලබාදිය හැකි බව ඔහුගේ පිළිගැනීම විය. එසේම අන්තර් ඡ්දන හා සමාන්තර ඡ්දනත්, ක්ෂණික හා වේග ඡ්දනත් විවිධ හැඟීම් දැනවීම සඳහා ඔහු විසින් භාවිත කර ඇත.

The Birth Of A Nation

ග‍්‍රිෆිත්ගේ සම්ප‍්‍රාප්තියත් සමග සිනමාව වඩාත් මුහුකුරා ගිය මාධ්‍යයක් ලෙස වර්ධනය වන්නට විය. සිනමා මාධ්‍ය අරභයා කිසියම් මූලික ව්‍යාකරණයක් හඳුන්වා දීම හා ඒවා භාවිත කරමින් විශිෂ්ට ගණයේ චිත‍්‍රපටි කිහිපයක් නිර්මාණය කිරීමේ ගෞරවය ඔහුට හිමි වේ. ඔහු විසින් නිර්මාණය කළ ‘ද බර්ත් ඔෆ් අ නේෂන් ’ The Birth Of A Nation චිත‍්‍රපටය පැය 03 ධාවන කාලයකින් යුක්ත විය. තෝමස් ඩික්සන් පියතුමාගේ ‘ද ලෙපර්ඞ්ස් ස්පොට්’ The Leapfrogs Spot හා ‘ද ක්ලෑන්ස්මන් The Clansman නවකතා දෙක ඇසුරින් මෙය නිර්මාණය කර තිබේ. මේ චිත‍්‍රපටය සිනමාවේ ප‍්‍රථම දැවැන්ත නිෂ්පාදනය වූවාක් මෙන්ම වැඩිම ආදායමක් ඉපැයූ ප‍්‍රථම චිත‍්‍රපටය බවටද පත්විය. ඉතිහාසයේ අවධීන් හතරකදී සිදුවන මහා මිනිස් ඝාතන දෙකක් හා පුද්ගල ඝාතන දෙකක් එකම කථා පුවතකින් දක්වන ඉන්ටොලරන්ස් Intolerance චිත‍්‍රපටය ඔහු නිර්මාණය කළ තවත් විශිෂ්ට සිනමා කෘතියකි. මෙම චිත‍්‍රපටවලදී භාවිතා කළ අසාමාන්‍ය කැමරා ධාවන මෙන්ම ඒවායේ භාවිතා වූ අතිවිශාල පසුතලද විස්මයජනක වේ. මෙම චිත‍්‍රපටයට ඉතා විශාල මුදලක් වැය කළ අතර ප‍්‍රධාන චරිත හැටක් හා අතිරේක චරිත දහස් ගණනක් මෙයට ඇතුළත් විය. ආදායම් ඉපයීම අතින් ඉන්ටොලරන්ස් අසාර්ථක වුවද රුසියානු සිනමාකරුවන්ට සමෝධාන රීතිය Montage බිහි කිරීම උදෙසා පන්නරය ලැබුණේ මෙම චිත‍්‍රපටයෙනි.

මේ අනුව චිත‍්‍රපටය හුදු වාර්තා ස්වරූපයෙන් මුදවා ලලිත කලාවක් බවට පත් කිරීමට ඉන්පසුව බිහි වූ සිනමාකරුවන්ද උත්සාහ දරා ඇති අතර ඒ අතරින් රුසියානු සිනමාකරුවන්ට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි.

මාලි නිසංසලා
ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

Recommended For You

About the Author: Editor