ශබ්ද මාධ්‍යයේ දැවැන්තයා: ශ‍්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව

සන්නිවේදනයෙන් තොරව සමාජයේ පැවැත්මක් නැහැ. ඒ තරම් ජන ජිවිතයට සන්නිවේදනය සම්බන්ධයි. වචනවලින් තොරව සන්නිවේදනය කළ යුගය පසු කරමින් විවිධ අදියර ඔස්සේ අද වන විට ජයග‍්‍රාහණ රැසක් අත්පත් කර ගැනීමට මිනිසාට හැකිවුණා.

ප‍්‍රාථමික ශිල්ප ක‍්‍රම වලින් අදහස් හුවමාර කර ගත් මානවයා මුද්‍රණ කර්මාන්තය ඔස්සේ විධිමත් ක‍්‍රමවේදයකට පැමිණ පසුව තවත් ජයග‍්‍රාහණ අත්පත්කර ගත්තා. ඒ අතරින් වැදගත් අවස්ථාවක් සටහන් කරන්නේ ගුවන් විදුලි මාධ්‍ය සොයා ගැනීමයි.

ටෙලිග‍්‍රාප් ක‍්‍රමය

විවිධ ක‍්‍රම ඔස්සේ පණිවිඩ හුවමාර කිරිමට අතීතයේදි පියවර ගෙන තිබෙනවා. මෝස් සංඥා ක‍්‍රමය ද ඒ අතර ප‍්‍රදානයි. කඩිනමින් සහ පැහැදිලිව පණිවිඩ යැවීමට අත්හදා බැලීම් එකළ සිදු වුණා. ටෙලිෆෝන් ක‍්‍රමය හා ටෙලිග‍්‍රාප් ක‍්‍රමය ඒ අතර ප‍්‍රදාන වනවා. එක් ප‍්‍රදේශයක සිට තවත් ප‍්‍රදේශයක් යා කරමින් කම්බි දිගේ පණිවිඩ යැවීම කේබල් පණිවිඩ ක‍්‍රමය ලෙසයි හැදින් වුණේ. කඩිනම් පණිවිඩ හුවමාර ක‍්‍රමයක් පිළිබදව ටයිටැනික් නෞකා අනතුරෙන් පවා ලෝකයට පණිවිඩයක් ලබා දුන්නා. ඉක්මන් පණිවඩ හුවමාරු ක‍්‍රමයක් හදුන්වා දීමේ අවශ්‍යතාවයි එහිදි මතු වුණේ. ගුවන් විදුලි මාධ්‍ය ප‍්‍රචලිත වීම කෙරෙහිත් එමගින් යම් බලපෑමක් එල්ල වුණා.

ගුවන් විදුලිය ජනමාධ්‍යක් බවට පත්කිරිමේ පුරෝගාමි මෙහෙවරක් ඉටුකළේ ඉතාලි ජාතික ගුග්ලෙමෝ මාකෝනි. කෙසේ වෙතත් ඊට පෙරත් මේ ගුවන් විදුලියට බලපාන විවිධ පර්යේෂන සිදු කෙරුණා. 17 වන සියවසේ ජිවත් වු ලන්දේසි විද්‍යාඥයෙක් වන හියුජන්ස් අලෝක තරංග මාලාවක් ආකාශයට යැවීමෙන් පණිවිඩයක් එක් තැනක සිට තවත් තැනකට යැවිය හැකි බව සොයා ගත්තා. මේ මතය ඔස්සේ මයිකල් පැරඬේ නව අත්හදා බැලීම් සිදු කළේ චුම්බක ශක්තිය යොදා ගෙන. එය ගණිතමය සිද්ධාන්තයක් බවට පත් කිරිමේ පුරෝගාමියා වුණේ ජෙම්ස් ක්ලාක් මැක්ස්වෙල්. මෙම න්‍යාය පසු කාලයකදි හයින්රික් හර්ට්ස් විසින් ප‍්‍රායෝගිකව ඔප්පු කළා. මීට අමතරව තවත් රටවල් රැසක විද්‍යාඥයන් ගුවන් විදුලිය පිළිබද පර්යේෂන සිදු කර තිබෙනවා.

මෙවැනි තත්ත්වයක් තුළයි මාකෝනි තම පර්යේෂණ උතුරු ඉතාලියේදි සිදු කළේ. මෙය 1896දි එංගලන්තයට හදුන්වා දීමට ඔහු සමත් වුණා. 1897 දි වයර්ලස් සිග්නලීන් කොම්පැනිි නමින් සමාගමක් පිහිටුවා ගැනීමට මාකෝනිට හැකි වුණා. ඔහුගේ වයර්ලස් ක‍්‍රමය නාවිකයන්ට ද ඉවහල් වි තිබෙනවා. සරුන්ගලයක් මත එල්ලන ලද සම්පේ‍්‍රෂකයක් මගින් එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට පණිව්ඩ යැවීමේ ක‍්‍රමය ඔහු සොයා ගත්තේ 1901 දි. 1920 වන විට ගුවන් විදුලිය ශබ්ද මාධ්‍යක් වශයෙන් වඩාත් ප‍්‍රබල ස්ථානයකට පැමිණ තිබෙනවා.

වාණිජ නොවන පළමු ඇමරිකා ගුවන් විදුලි මධ්‍යස්ථානය 1915 දි පිහිට වු බවට මත පවතිනවා. ප‍්‍රකට පුවත්පත් ආයතන හිමිකරුවකු වු බි‍්‍රතාන්‍ය නෝර්ත් ක්ලිප් සාමි වරයාගේ යෝජනාවකට අනුව ප‍්‍රකට ගායිකාවක් වු නෙලි මෙල්බා ගුවන් විදුලි පළමු නිළ ගායිකාව ලෙසයි හදුන්වන්නේ. ජනමාධ්‍ය ඉතිහාසයේ වැදගත් සංදිස්ථානයක් 1927දි සටහන් වනවා. ඒ ලෝක ගුවන් විදුලි පනත සම්මත වීමයි. කරුණු කිහිපයක් පිළිබදව මෙහිදි අවධානය යොමු වුණා.

1.නීතිමය වශයෙන් ගුවන් විදුලිය ආරක්ෂා කිරිම.
2. ග‍්‍රාහකයාට බලපත‍්‍ර ක‍්‍රමයක් හදුන්වා දීම.
3.වැඩසටහන් ව්‍යුවහයක් සැලසුම් කිරිම.
4.ගුවන් විදුලිය වාණිජ ක‍්‍රමයක් ලෙසට දියුණු කිරිම.

යුරෝපයේ ගුවන් විදුලි සේවය ආරම්භ වි වසර 3ක් යන්නට පෙර ශ‍්‍රි ලංකාවට එය හදුන්වා දෙනවා. ඒ අනුව දකුණු ආසියාවේ ගුවන් විදුලිය හදුන්වා දුන් පළමු රට වන්නේ ශ‍්‍රි ලංකාවයි. ශ‍්‍රි ලංකා ආධුනික ගුවන් විදුලි සංගමය ඒ සදහා උනන්දු වනවා. බි‍්‍රතාන්‍ය ජාතික ප‍්‍රධාන විදුලි සංදේශ ඉංජිනේරු එඞ්වඞ් හාපර් මහතාගේ සහයත් ඊට ඉවහල් වි තිබෙනවා. විශේෂයෙන් ලැබුනු නිර්දේශයකට අනුවයි ගුවන් විදුලිය ලංකාවේ පිහිටුවන්නේ. බි‍්‍රතාන්‍ය ආණ්ඩුකාරවරයා එම නිර්දේශ නිකුත් කිරිම සදහා කමිටුවක් පත්කළා. 1924 මැයි මාසයේදි නිකුත් කෙරුණු පුවත් පත් නිවේදනයක මේ සදහා අනුමැතිය ලැබුණූ බව ප‍්‍රකාශයට පත්වුණා.

සබ්බැරීනයකින් ගලවා ගත් උපකරණ යොදා ගනිමින් මුල්වරට ගුවන් විදුලි සම්පේ‍්‍රෂනාගාරයක් මධ්‍යම විදුලි සංදේශ කාර්යාල භුමියේ ඉදිකර තිබෙනවා. ග‍්‍රෑමෆෝනයෙන් සංගීතය වාදනය වීමට සලස්වා මයික‍්‍රෆෝනයක් ඉදිරියේ තබා එය විසුරුවා හැරිය. 1924 ජුලි මස පළමුදායින් පසු වරින් වර වැඩසටහන් විසුරුවා හැර තිබෙනවා. ප‍්‍රචාරයට අවශ්‍ය වු ග‍්‍රෑමෆෝන් තැටි වැඩි වශයෙන් ලබාගෙන තිබෙන්නේ පරිත්‍යාගශීලින්ගේ අනුග‍්‍රාහයෙන්. මුල් දශකය තුළ ගුවන් විදුලියේ ප‍්‍රගතිය මන්දගාමි ලෙසයි සිදු වුණේ. එහි පළමු සිංහල නිවේදකයා වන්නේ ඩි.එම්.කොළඹගේ මහතායි.

ගුවන් විදුලියේ සංවර්ධනය සෙවීම සදහා වරින් වර විවිධ කොමසම් පත්කර තිබෙනවා. වෛද්‍යනාදන් කොමිසම සහ වීරසුරිය කොමිසම ආදිය ඊට ඇතුලත් වුණා. ගුවන් විදුලියේ ජනප‍්‍රියතාව දෙවන ලෝක යුධ සමයේදි වඩාත් වර්ධනය වි තිබෙනවා. 1940 ගණන් වල ගුවන් විදුලි කාර්යාලය පිහිටු තිබුණේ බොරැල්ල කොටා පාරේ පරණි ගෙයකයි. වැඩසටහන් කල් ඇතිව පටිගත කිරිමක් සිදු වුණේ නැහැ. දෙවන ලෝක යුධ සමයේදි ශ‍්‍රි ලංකාවට පැමිණි සෙබලුන්ට විනෝදය සම්පාදනය කිරිමට ගුවන් විදුලිය කටයුතු යොදා තිබෙනවා. 1949 ඔක්තෝම්බර් මාසයේදි ගුවන් විදුලිය දෙපාර්තමේන්තුවක් යටතේ ස්ථාපනය කෙරෙනවා.

ගුවන් විදුලියේ වැඩසටහන් අනුව එය විවිධ දින වලට වෙන්කර තිබුණා.
සදුදා – සංගීත වැඩසටහන්
අගහරුවාදා – නාට්‍ය වැඩසටහන්
බදාදා – සගරාමය වැඩසටහන් බ‍්‍රහස්පතින්දා - පාසල් වැඩසටහන් සිකුරාදා - සමාලෝචන වැඩසටහන් සෙනසුරාදා හා ඉරිදා - විශේෂ වැඩසටහන් ලෙසයි මෙම දිනයන් වෙන් කර තිබුණේ.

බි‍්‍රතාන්‍ය රැජින තම ශ‍්‍රී ලංකා සංචාරයේදී ගුවන් විදුලියෙන් ශ‍්‍රී ලාංකිකයින් අමතමින්

ඇතැම් වැඩසටහන් බිබිසි ගුවන් විදුලියේ ආකෘතියටයි සකස් වුණේ.

මෙරට ගුවන් විදුලි සාමාජිකයන් බිබිසි ආයතනයේ පුහුණුව ලැබීමත් එහි ආකෘති මෙරටට ලැබීමට හේතුවක් වුණා. ගුවන් විදුලියේ වැඩසටහන් විස්තර ඇතුලත් මාසික සගරාව පළමු වරට නිකුත් කළේ 1926 දි. ඒ රුපියල් එකයි ෂත පනහක වාර්ෂික දායක මුදලකටයි. මුල් යුගයේදි සිංහල,දෙමළ සහ ඉන්දීය සංගීතාංග වෙනුවෙන් ගුවන් විදුලි කාලයන් සියයට 10ක් පමණ වෙන් කර තිබෙනවා. ගුවන් විදුලියේ නිවේදන කටයුතු මුලින්ම සිදුකළේ විශේෂ පුහුණුවක් නොලත් පිරිසක්. නිවේදන කාර්යයන්ට අමතරව සාප්පු වලට ගොස් ග‍්‍රාමෆෝන් තැටි තෝරා ගැනීමත් ඔවුන්ට අයත් කාර්යයක් බවට පත් වුණා.

ප‍්‍රාදේශිය ගුවන් විදුලි සේවයත් මෙරට ආරම්භ කිරිමේ අදහස කිහිප වරක්ම ප‍්‍රකාශ වුවත් එය ක‍්‍රියාත්මක වුයේ 70 දශකයේදි. 1979 අපේ‍්‍රල් මාසයේදි රජරට සේවය ආරම්භ කිරිමෙන් ඒ ඉලක්කය සපුරා ගන්නාවා. ඉන් පසුව නුවර,රුහුණු සේවය,කොත්මලේ සහ ගිරාදුරුකෝට්ටේ වැනි නාලිකා ආරම්භ කෙරෙනවා.

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතා

ගුවන් විදුලි නාට්‍ය සම්ප‍්‍රදාය බිහි කිරිමේ සංකල්පය හදුන්වා දෙන්නේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතායි. නොරත රථ, පේමතෝ ජායති සෝකෝ,රත‍්‍රං වැනි නාට්‍ය ඔහු ගුවන් විදුලියට රචනා කළා. මේ අතරින් පේමතෝ ජායති සෝකෝ වැනි නාට්‍ය පසු කාලීනව වේදිකා නාට්‍ය ලෙස පසුව ප‍්‍රදර්ශනය කෙරුණා.

මධ්‍යම තරංග හා කෙටි තරංග ඔස්සේ විසුරුවා හැරුණූ ගුවන් විදුලි සටහන් පසුව එෆ් එම් තරංග මාලා ඔස්සේ විසුරුවා හැරිමට කටයුතු කළා. ඒ එකළ ගුවන් විදුලියේ බළධාරින් කිහිප දෙනෙකු ජපානයේ යෝකෝහෝමා එෆ් එම් නාලිකාව ශ‍්‍රවණය කිරිමේ ප‍්‍රථිපලයක් ලෙසටයි. එෆ් එම් තරංග මාලා ඔස්සේ විකාශය කළ සිටි එෆ් එම් සේවය 1989 නොවැම්බර් 03 වනදා ආරම්භ වුණා. ලග්ගල අඹන්ගග පිහිටි කරගහතැන්නේ සම්පේ‍්‍රශණාගාරය එෆ් එම් තරංග මාලා සහිත ස්ථානයක් බවට පරිවර්තනය වන්නේ සිටි එෆ් එම් ආරම්භයක් සමගයි. මේ විකාශය ආරම්භ කළ ආකෘතිය තුළ එකම ගුවන් කාලයේ සිංහල,දෙමි,ඉංග‍්‍රිසි නිවේදක නිවේදිකාවන් එකම සම්බන්ධතා මැදිරියක සිට නිවේදන කටයුතු කළා. මේ නිසා ගීත වලට වැඩි ස්ථානයක් හිමි වුණා. මෙම ගීත සියල්ල ස්ටිරියෝ තාක්ෂණයෙන් පටිගත කිරිම විශේෂත්වයක්.

City fm එෆ් එම් සේවය හදුන්වා දුන් තාක්ෂණය සමග පසු කාලීනව පෞද්ගලික නාලිකා රැුසක් බිහි වෙනවා. එහි පළමු නාලිකාව වන්නේ එෆ් එම් 99 නාලිකාවයි. ඊට නායකත්වය දුන්නේ ගුවන් විදුලියේ සභාපතිවරයෙකු ලෙස කටයුතු කළ ලිවි ආර් විජෙමාන්න මහතායි. පසුව එෆ් එම් 99 සවන රේඩියෝව බවට පරිවර්තනය වුණා. ඒ වර්ථමානයේ හදුන්වන්නේ ශ‍්‍රි එෆ් එම් ලෙසයි. ඉන් අනතුරුව කාලය තුළ මෙරට පෞද්ගලික රාජ්‍ය අනුග‍්‍රාහය ඇතිව ගුවන් විදුලි නාලිකා ගණනාවක් බිහිවනවා. තාක්ෂණය,වැඩසටහන්,භාෂාව,අරමුණූ ආදි සියල්ලගේම වෙනසක් වර්තමානයේ පවතිනවා.

චන්දන මාරසිංහ
ප‍්‍රවෘත්ති කර්තෘ, ලක්හඬ ගුවන් විදුලිය

Recommended For You

About the Author: Editor