‘සේනා’ ඔබ කොහිද? ගියාද?, ඉන්නවාද?, ආයිත් එනවාද?

වල්පැල කමින් කැලයේ සිටින බවට සැකයක්!

“ඒ පනුවගේ විශාල පින්තුරේ දැකල මගේ අතින් පත්තරේ අතහැරුන”.

විද්‍යුත් තැපෑලෙන් මා වෙත පණිවිඩයක් ඒවා තිබුණු ඇය අගනුවර ජනප්‍රිය බාලිකා පාසැලක උසස්පෙළ පන්තියේ ශිෂ්‍යාවකි. කෘෂිකර්මයට අදාළ මාතෘකා ඔස්සේ මා විසින් දිවයින ඉරිදා සංග්‍රහයේ පලකරනු ලබන ලිපි නොවරදවාම කියවන බව, ඇය විසින් කලින් දිනයකදීද මාගේ විද්‍යුත් ලිපිනයට දන්වා ඒවා තිබූ බව මා හට හොඳාකාරවම මතකය.

එදා 2018 සැප්තැම්බර් 16 වෙනි දින පත්‍රයේ කොටස් හතර වෙන්කරන විටම, එක කොටසක මුල් පිටුවේ හරස් අතට දිග ඇදී සිටියේ ‘සේනා’ දළඹුවා යි. සංවේදී බව නිසා ඇය අතින් පුවත්පත ගිලිහුනත්, මා විසින් අනාවරණය කර තිබුනේ සමස්ත ගොවි ජනතාව හා කෘෂි බලධාරීන් වෙතින් ගිලිහී නොයා යුතු ප්‍රවෘත්තියකි. එය අනාවැකියක් යයි කීවත් එතරම් වැරදි නැත. පාසැල් සිසුවිය විසින් බියකරු දළඹු රූපය දෙස නොබලාම එම පිටුව මුළුමනින්ම කියවා තිබුනත්, එම තොරතුරු නිසැකවම දැනගත යුත්තන් කී දෙනෙක් එය කියවූවාදැයි මට නම් ඇත්තේ සැකයකි. එයට එක හේතුවක් වන්නේ මාගේ ‘සහෘදයෙක්’ විසින් ඒවා තිබූ තවත් විද්‍යුත් තැපැල් පණිවිඩයක ‘සේනා දළඹුවා’ ට කොරහේ සිටිනා කිඹුලෙක්ව ආරෝපණය කර, මා වෙත හීනියට සමච්චලයක්ද කර තිබූ බැවින්ය. ‘ඉන්දියන් සාගරය හරහා සමනල්ලු කොහොමද ලංකාවට පියාඹන්නේ?” ඒ ඔහුගේ පණිවිඩයේ හරයයි. කෙසේ වෙතත් ඉන් මාස එක හමාරකට පසුව එනම් ඔක්තෝබර් 30 වෙනිදා අම්පාරෙන් ‘සේනා’ හමුවිය. එනම් ඊට සතියකටවත් එපිටදී අඩුතරමින් උගේ පියා කෙසේ වෙතත් මව් සලබයාවත්, අපේ විද්වත් මිත්‍රයාට අරුමයක් වූ සාගරය හරහා කල පියාසැරිය නිමකර තිබේ.

අප යුද්ධය අතගාන්නට මෙන්ම අතුගාන්නටද දක්ෂයෝ වෙමු. උතුරේ යුද්ධය දිගින් දිගටම අතගාමින් සිට අවසානයේ අතුගෑවා සේ, ‘සේනා’ට එරෙහි සටන අතගාන්නේ නැතිවම අතුගා දැමුවා යයි දැන් බොහෝ දෙනා සිතනවා ඇත. එහෙත් මේ බියකරු ජීවියා 2016 වසරේදී ආරම්භ කල රටවල් ආක්‍රමණය හා වගා වැනසීමේ ක්‍රියාන්විතයට හසුවූ කිසිදු රටක් මේ වනතෙක් නිදහසක් ලබා නැති බවනම් සිහි තබාගනු වටී. සතර දෙසින් එල්ලවූ මර්දන ක්‍රමවේදයත්, ඊට සමපාතව නිසි කෘෂිකාර්මික උපදෙස් පිළිපැදීමට ගොවි ජනතාවගෙන් වැඩි පිරිසක් දැක්වූ එකඟතාවයත්, වගා කන්නය අවසානවීමත් යන හේතු කාරනා නිසා ‘සේනා’ පෙනෙන්නට නැති බව නම් සැබෑය. එළඹෙන මැයි මාසයේ සිට ‘යල’ වගා කන්නයද ආරම්භ වන බැවින් ‘සේනා’ කෙරෙහි වූ අවධානය කිසිලෙසකින් වත් ලිහිල් කලයුතු නැති බවට කෘෂි විද්වත්තු අවධාරණය කරති.   

පැරණි කෘෂිකර්මාන්තය ගැන දන්නා කියන අය බඩඉරිඟු වගාවක් ගැන යල කන්නය තුලදී කතාකරන්නට එතරම් කැමති නැත. ඔවුන් දන්නේ ගොවීන් විසින් වියලි කලාපයේ හේන්වල වර්ශාපෝෂිත බෝගයක් ලෙස බඩඉරිඟු වවන බවයි. එහෙත් දැන් සියලු සිරිත්විරිත් වාණිජ පඹගාලේ පැටලී උඩු යටිකුරු වී ඇති නිසා ගොවීහු යල කන්නයටත් වාරි ජලය උපයෝගී කරගනිමින් හෝ බඩඉරිඟු වවති. වී වගාවට දෙන්නට තරම් ජලය නැතිවූ තැන, වී නොවන වෙනත් බෝගයක් වවන්නට රජය විසින්ද ගොවියාව මෙහෙයවද්දී මතකයට එන්නේද, මහතැන් වලින් යෝජනා වන්නේද බඩඉරිඟුය. ඒ ගැන අපගේද කිසිදු අමනාපයක් නැති බව සැලකුව මැනවි. යලට බඩඉරිඟු එපා යයි නිර්දේශ පනවන්නට තරම් අප කිසිවෙක් මේ මොහොතේ ශක්තිවන්තයින් නොවෙමු. කිරිකරල් වශයෙන් ලපටි කරල් තම්බා අලෙවිකිරීමේ පුරුද්ද රටපුරා පැතිරී ඇති නිසා  ‘සේනා’ ට එරෙහි යුද්ධය පසුගිය දිනවල ක්‍රියාත්මක වෙත්දී පවා අපගේ උපදෙස් වලට පිටින් ගොස් පිරිසක් ඉරිඟු සිටුවා ඇති බවට, ඇතැම් තැන්වල පාර අයිනේ උතුරන වතුර මුට්ටි විසින් පවා සාක්ෂි සැපයීය. කෙසේ වෙතත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පෙර සිටම අවධාරණය කර සිටියේ බඩඉරිඟු සිටුවීම මැයි මාසයේ පළමු දෙසතියට සීමා කරන ලෙසයි. එම කාල සීමාවේදී සිටුවා ගන්නට බැරිඋනොත් බඩඉරිඟු අතහැර වෙනත් බෝගයක් වගාකරන ලෙසයි.

බෝග වර්ග 100 කට වැඩි ගණනක් ‘සේනා’ ගේ ආහාරය පිණිස යෝග්‍ය වන බව පෙර විස්තරවල සඳහන්වූ බැවින්, බෝග නොවන ශාක රැසක්ද මෙම සත්වයාගේ දිවි රැකගැන්මට උපකාරී වියහැකි බව කීට විද්‍යාඥ මතය වේ. ඒවා ඇත්තේ වගා බිම් වලින් බැහැර කැලෑවේය. දළඹුවා ඒ මත පෝෂණය වෙමින් දිවි ගෙවනවාදැයි බලන්නට කිසිවෙක් උනන්දු වන්නේද නැත. ජනමාධ්‍යවේදීන් සතු සියලු තොරතුරු ග්‍රාහක මෙවලම් පසුගිය දිනවලදී ඩුබායි දේශය වෙතටද, ඉන්පසු අයවැය කියුම් කෙරුම් විවරනයටද යෙදී තිබියදී, යල – මහ දෙකන්නය අතරමැදිව මේ ගෙවී යන කාලය තුල ‘සේනා’ ගේ ආගිය තොරතුරු සොයන්නට ඉදිරියට ආ විද්වත් දෙපලක් ගැන අසන්නට ලැබේ. ඔවුන්ගේ එකමුතුව මතක් කරදෙන්නේ අයර්ලන්ත ජාතික සාහිත්‍යධරයෙකු වූ නොබෙල් ත්‍යාගලාභී ජෝර්ජ් බර්නාර්ඩ් ෂෝ ගේ කියමනකි.

“ඔබ හා මා සතුව ඇපල් ගෙඩිය බැගින් ඇතැයි සිතන්න. අපට මේ දෙක හුවමාරු කරගත හැකිය. ප්‍රතිපලය ලෙස තවමත් ඇපල් ගෙඩිය බැගින් අපට තිබේ. ඔබ හා මා සතුව අදහස් එක බැගින් ඇතැයි සිතන්න. දැන් ඒවා හුවමාරු කරගත්විට ඔබටත් මටත් අදහස් දෙක බැගින් ඇත.”

ගන්නොරුව උද්‍යාන බෝග පර්යේෂණායතනයේ කීට විද්‍යාඥයෙක් වන ප්‍රදීපා රණවීරත්, වල් පැලෑටි විශේෂඥ අනුරුද්ධිකා අබේසේකරත් විෂය පථ දෙකක් යට‍තේ වූ තම අදහස් හුවමාරු කරගෙන කරනලද කඩිනම් අධ්‍යයනයකි මෙය. එම දෙපලගේ සුසංයෝගය තැනේ හැටියට හරියටම ගැලපෙන්නේය. අපටත් අවශ්‍ය වන්නේ බඩඉරිඟු නැති තැන, තණකොළ කන්නෙමි යි සිතාගෙන ‘සේනා’ කැලයටවත් රිංගුවාදැයි දැනගන්නටය. තම වර්ගයා බෝකරමින් දරු මුණුපුරන් සමග එහි වෙසෙනවාදැයි දැනගන්නටය. නිල්ල නැගෙන ලපටි බඩඉරිඟු යායට හෙට අනිද්දා කඩාපැන, සිනාසීමට වෙර දරන ගොවි නෙත කඳුලින් තෙමන්නට තම බලමුළු තරකරනවාදැයි දැනකියා ගන්නටය. සලබයාගේ ජීවන ප්‍රවෘත්තිය ගැන ඇති අවබෝධයට අනුව වල්පැල මත ඌ යැපෙනවා ඇතැයි ප්‍රදීපා තුල ජනිත අදහසට පොහොර දමමින් අනුරුද්ධිකා විසින් ඇය වෙත, පනුවන් දළඹුවන් ආදීන්ගෙන් වැඩිපුරම හානි වෙන වල්පැලෑටි තෝරා දුන්නාය.

“අපි මේ පර්යේෂණය කෙරුවේ ලංකාවේ සුලභව තියෙන වල්පැලෑටි වර්ග කොපමණ දුරට සේනා දළඹුවාගේ පැවැත්මට උපකාර වෙනවාද කියල බලන්නයි. මේ සඳහා භාවිතා කෙරුවේ  එළිමහනේ ඇටවූ මීටර් 3 X 2 X 1 ප්‍රමාණයේ කම්බියෙන් තැනූ කූඩු. ඒවා කෘමි ප්‍රතිරෝධී දැල් වලින් ආවරණය කරලා, ඒවා තුල වෙනස් වර්ගයන්හි වල්පැල සිටුවා, දළඹුවන්ද ඇතුලට දැම්මා.”

ප්‍රදීපා මහත්මිය පවසා සිටී. දින කීපයක් තුල ඔවුන් නිරීක්ෂණය කර ඇත්තේ ඇතැම් ශාක වර්ග දෙස දළඹුවා ඇහැක්වත් ඇර බලන්නේ නැති බවයි. තම්පලා, වල්රබර්, වල්අබ, කුප්පමේනියා, තෙල්එඬරු, කලාඳුරු වැනි පැළෑටි මීට උදාහරණ වේ. ඒ නිසා පළමු පියවරෙන්ම එම පැලෑටි වර්ග පර්යේෂණයෙන් ඉවත් කරන්නට ඔවුන් පියවර ගෙන ඇත.  එසේ වුවත්, බැලතණ (Eleusine indica), දියතණ (Bracharia mutica), කුකුල් ඇටවරා (Cynodon dactylon), වීදුරුවල් නොහොත් ගුරුතණ (Digitaria ciliaris) හා ගිණිතණ (Panicum maximum) වැනි ශාක ප්‍රභේදයන් දළඹුවාට ආහාරයක් සේ ක්‍රියා කරන බව නිරීක්ෂණය කර තිබේ.

“පරීක්ෂණයේ ඊළඟ කොටස හැටියට අපි දළඹුවා කෑමට ගත් ශාක කැබලි කරලා, පාරදෘශ්‍ය ප්ලාස්ටික් බඳුන් තුලට දමලා, ඒවාට ‘සේනා’ ත් එකතු කරලා විද්‍යාගාරය ඇතුලේ වැඩෙන්න සැලස්වූවා. ගිණිතණකොළ කෑවා තමයි. ඒත් ටික දිනකින් කෑම නතර කරලා දළඹුවෝ මියගොස් තිබුණා. ගුරුතණ, බැලතණ හා දියතණ තිබූ බඳුන් වල සත්තු ඒවා හොඳින් කාල පරිනත වෙලා පිලා අවස්ථාවටත් පැමිණ තිබුනා. ඒ කියන්නේ ජීවන චක්‍රය සම්පූර්ණයි.”

මතුපිට නිරීක්ෂණයන්ට අනුව මෙහිදී ඇතිවෙන හැඟීම, වැඩිදුර අධ්‍යයනයන් සිදුකරනා තෙක් ඉතා  වටිනා අවබෝධයකි. දැනට අවශ්‍ය වන්නේ මෙම ආගන්තුක ආක්‍රමණිකයාගේ හැසිරීම් රටා හැකිතාක් තේරුම් ගැනීමයි. ප්‍රදීපා පවසන ආකාරයට ගිණිතණ (Panicum maximum) ශාකය දළඹුවාට ආහාරයක් වුවත් ධාරක ශාකයක් වන්නේ නැත. මන්ද යත් සත්වයාට ඒ මත යැපෙමින් ජීවන චක්‍රය සම්පූර්ණ කල නොහැකි බැවිනි. අනෙකුත් ශාක ආහාරයක් වනවාට අමතරව ධාරක ශාකද වේ. 

සේනා දළඹුවාගේ මව්පියන් වන සලබයන් සම්භවයෙන් ඇමරිකානුවන්ය. ඔවුන්ගේ ආක්‍රමණය වඩාත් සවිමත් වන්නේ හිතකර උෂ්ණත්වයත්, වැඩි වර්ෂාපතනයත් පවතින විටදීය. මෙම දේශගුණික තත්වයන් වඩාත් අවශ්‍ය වන්නේ තම ජීවන චක්‍රයේ සියලු අවස්ථා අඛණ්ඩව පවත්වා ගැනීමටයි. ඒ වෙනුවෙන් ඌ දිගු දුර පර්යටනයන්ට වුවත් සූදානම්ව සිටී. උතුරු අප්‍රිකා ප්‍රදේශ වල සිට උණුසුම් මාස වලදී යුරෝපයටත්, ටෙක්සාස් හෝ ෆ්ලොරිඩා සිට උතුරු කැනඩාවේ කුබෙක් හෝ ඔන්ටාරියෝ දක්වාත් සලබයා පර්යටනය වන්නේ තම වර්ගයාගේ පැවැත්ම වෙනුවෙන්ය. දැන් විද්‍යාඥයින් විශ්වාස කරන්නට පෙළඹී සිටින්නේ බාහිර ආධාර උපකාරයක් නැතිව ඇමරිකාවේ සිට අප්‍රිකාව දක්වා 2016 තරම් මෑතකදී හදිසියේම තම පියාසර හැකියාව නිසා පමණක්ම සලබයාට පැමිණිය නොහැකි බවයි. ඔවුන් මගී ගුවන් යානයක නැගී අප්‍රිකාවට පැමිණියාදැයි සාධාරණ මතයක්ද පවතී. මීටම අදාළ සාධකයක් වන්නේ අප්‍රිකාව තුල ‘සේනා’ මුල්වරට නිරීක්ෂණය වූයේ ගුවන් ප්‍රවාහනයේ කේන්ද්‍රයන් වූ අප්‍රිකානු නගර ආශ්‍රිතව වීමයි. මේ නිසාම ඉදිරියේදී තවත් ප්‍රදේශ කරා සලබයා ව්‍යාප්ත වනු ඇතැයි විශ්ලේෂකයෝ මත පළකරති. ජාත්‍යන්තර ගමන් වැඩිපුර සිදුවෙන හා වෙළඳාම ශක්තිමත් වර්තමාන ගුවන් මාර්ගය වන ඔස්ට්‍රේලියාව, චීනය, ඉන්දියාව, ඉන්දුනීසියාව, මැලේසියාව, පිලිපීනය හා තායිලන්තය වැනි රටවල් ඉදිරියේදී අවදානම් කලාප ලෙස නම්කර තිබේ.

‘සේනා’ගේ ආක්‍රමණය නිසා වැඩිපුරම බැටකන්නේ අප්‍රිකානු රටවල්ය. බඩඉරිඟු වගාවට පමණක් මේ නිසා සිදුවෙන හානිය වාර්ෂිකව ඇමරිකානු ඩොලර් බිලියන 2.5 – 6.2 අතර ගණනකි. අපට වූ හානිය ගැන පසුගියදා ලොකු කතිකාවතක් පැවතුනද, දරිද්‍ර අප්‍රිකාව විඳි වේදනාව හා සසඳා බලන කල, එය සැලකිල්ලට නොගත යුතු තරම් වේ. මේ නිසා ඉදිරි ආරක්ෂණ පියවරයන් ගැන වැඩිපුරම පර්යේෂණ පවත්වන්නේත්, උවදුර පිටුදැකිය හැකි මාවත් ලොවට පෙන්වා දෙන්නේත් අප්‍රිකානුවන් විසිනි. ඒවා අපටත් ප්‍රයෝජනවත්ය. කෙන්යාවේ නයිරෝබි නුවර පිහිටි කෘමි කායික විද්‍යාව හා පරිසර විද්‍යාව වෙනුවෙන් වූ ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ විද්වතුන් වන අප්‍රිකානු ජාතික සේලියස් නියාසේ හා ඉන්දියානුවෙකු වූ සෙව්ගන් සුබ්‍රමානියන් දෙපල විසින් ‘සේනා’ පාලනය පිළිබඳව කියනා දෑ ඉදිරි යල කන්නයට මුහුණදීමේදී අපටත් ප්‍රයෝජනවත්ය. අධික ප්‍රජනන වේගය, දිගු දුර පර්යටනය, වැඩෙන පත්‍ර තුල සැඟවී කෘමිනාශක වලින් ආරක්‍ෂාවීම, කෘමිනාශක  ප්‍රතිරෝධීබව ඉක්මනින් ලබාගැනීම ආදිය නිසා සතා පැමිණිවිට සටන් කරනවාට වඩා මගදීම අල්ලා පලවා හැරීම හෝ වඳකර දැමීම ඔවුහු මහත් ඕනෑකමින් යෝජනා කරති. අප මෙන්ම ඔවුන්ද, දළඹුවාට එන්නට ගේට්ටු හැරදමා තැබීමෙන් පසු කෘමිනාශක ඉසිමින් සටනට බැසීම අනුමත කරන්නේ නැත. මී මැස්සන් වැනි හිතකර කෘමීන් වැනසීම නිසා සිදුවන පරිසර අසමතුලිතතාවයත්, බඩඉරිඟු කරලට වසවිස එකතුවීමත් යන කරුණු වලට ඔවුහු වැඩියෙන් බර තබති. සේනා දළඹුවා ආකර්ෂණය කරගත හැකි වෙනත් ශාක වර්ග සමග බඩඉරිඟු වගාව මිශ්‍රව පවතවා ගැනීම ඔවුන්ගේ එක යෝජනාවකි.

වල් ශාක සම්බන්ධයෙන් අපගේ විද්වතියන් කල පර්යේෂණයේ තවත් උපයෝගිතාවයක් මේ හරහා දිගහැරේ. තණකොළ කමින් ‘සේනා’ දැනටත් කැලයේ වෙසෙනවායයි අප පවසන දෑ පත්තර කයිවාරුවකට වඩා වටින්නේ ඒ නිසාය. ප්‍රදීපා රණවීරගේ එක නිරීක්ෂණයක් වුයේ ‘සේනා’ විසින් ටික දිනකට හෝ ගිණිතණ අනුභවයට ගත් බවයි. මීට අමතරව ඇය දුටුවේ සලබයා විසින් ගිණිතණ පත්‍ර මත බිත්තර කැදලි තැන්පත් කිරීමද කර ඇති බවය. සත්ව ලෝකය හරිම අපූරුය. මිනිසා ඇතැම්විට කෙරුවත් අන් කිසිම සතෙක් තම දරුවන්ව සිතාමතා අමාරුවේ දමන්නේ නැත. රංකුඹලා පවා මැටි කාමරයේ සිදුර වසන්නේ මතු උපදින දරුවන්ට සෑහෙන පණුවන් ඒ තුල සිර කිරීමෙන් පසුවයි. එසේනම් උපදින ‘සේනා’ පැටවුන් කෑම අරඹා ටිකදිනකින් මැරී වැටෙන්නට හේතුවන ගිණිතණ මත බිජුලෑමට සලබයා ඉක්මන්වීම තුලින් පෙනී යන්නේ ඌ මුලාවූ බවක්ද?

උගේ රැවටීම අපට වාසියක් කරගැන්මට නොහැකිද? කෙන්යාවේ විද්වත් දෙපල විසින් මේ සඳහා යෝජනා කරන්නේ ‘නේපියර් තණකොළ’ සහ ඩෙස්මෝඩියම් නමැති වැල් වර්ගයයි. ගවයින්ට කන්නට කලෙකදී ලංකාවට හඳුන්වාදුන් ‘නේපියර් තණකොළ’ නම් තවමත් මෙරට තැන තැන තිබුනත්, Greenleaf desmodium නම් තිබෙනා බවක් දැනගන්නට නැත. බඩඉරිඟු වගාවන් ආශ්‍රිතව එම ශාක වවා, ඇතැම්විට අප්‍රිකානුවන් යෝජනා කරන පරිදි, බඩඉරිඟු ගස් පේලි කීපයකට වරක් මෙම ශාක පේලියක් වවා සලබයින් මේ වෙතට කැන්දාගත හැකිය. අනතුරුව කලයුත්තේ බිත්තර කැදලිත් සමග මේ ‘උගුල් බෝගය’ ගලවා විනාශ කිරීමයි. කෙන්යාවේ, උගන්ඩාවේ හා ටැන්සානියාවේ ගොවිබිම් 250 ක් සමග කල අධ්‍යයනයකින් තහවුරු වී ඇත්තේ උගුල් බෝගයක් ලෙස ඩෙස්මෝඩියම්  හා දියතණ යොදා ගැනීමෙන් බඩඉරිඟු ගස්වල ‘සේනා’ ප්‍රතිශතය පාත්තියකට 82.7% කින් පහල ගිය බවයි. උගුල් බෝගයක් ලෙස බඩඉරිඟුම වවා, ඒවා ගැලවීමට ගොවීන් යොමුකරනවාට වඩා මෙය පහසුය. සිත් රිදවීම් අවමය. කෙසේ වෙතත් මෙය කලයුත්තේ කෘෂිකර්ම නිලධාරීන්ගේ මනා අධීක්ෂණයක් යටතේ බව සිහි තබාගත යුතුවේ. පොඩ්ඩක් එහා මෙහා වී බිත්තර කැදලි පුපුරා ගියහොත් ‘උගුල් බෝගය’, ‘සේනා’ නිපදවීමේ ෆැක්ටරියක් විය හැකි බැවිනි.මේ මොහොතේ අපට නේපියර් තණකොළ හෝ ඩෙස්මෝඩියම් නැති වුවත්, ප්‍රදීපාගේ පර්යේෂණ දත්තයන්ට අනුව උගුල් බෝග ලෙස භාවිතා කළහැකි දියතණ, ගිණිතණ ඇතුළු ශාක ගණනාවක්ම තිබේ. ඍජු බලපෑමක් වගාවට නැත්නම් බඩඉරිඟු භූමිය අවට ගිනිතණ ටිකක් තැන තැන තිබුනත්, එය තවත් අයුරකින් ‘සේනා’ මර්දනයට පිටුවහලක් විය හැකි බව පෙනෙන්නේ ඇය පවසන මෙවැනි දෑ අසන විටය.

“ගිනිතණ මත සලබයා බිත්තර දානවා තමයි. ඒත් සලබයින්ට තම පැවැත්ම ඒ මතින් තහවුරු කරගන්න බෑ. බිත්තර කැදලි හොයාගෙන ඇවිත් ඒ බිත්තර තුල නැවත බිත්තර දමන ‘සේනා’ ගේ සතුරන්ගේ බෝවීමට මේ බිත්තර උදව්වක්. එතකොට බිත්තර පුපුරලා එන්නේ ‘සේනා’ ගේ සතුරු හමුදාව. ඒ අය පරිසරයේ වැඩි වෙනවා කියන්නෙත් ස්වාභාවිකවම ‘සේනා’ මර්දනය වෙනවා කියන එකයි.”

මර්දනයක් නොව දැන් ඉතින් කළමනාකරණයක් කර ගන්නට හිත හදාගමු යන අදහස පෙරදැරිව පසුගිය මාර්තු මස දින තුනක රැස්වීමක් සඳහා බැංකොක් නුවරට පැමිණි විවිධ රටවලට අයත් බළධාරීන් හිත හදා ගතහැකි විවිධ ක්‍රමෝපායන් ගැන සාකච්ඡා පවත්වා තිබේ.

“මේ උගුලෙන් ගැලවිලා තිරසාර දළඹු කළමනාකරණයකට නම් අනිවාර්යයෙන්ම ජෛව පාලන ක්‍රමවේදයන් සොයා යාමට අප වැඩියෙන් උනන්දු විය යුතුයි.”

ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ නිලධාරියෙකු වූ මාර්ජෝන් ෆ්‍රෙඩ්රික්, රැස්වීම අවසානයේ ටෙලිග්‍රාෆ් පුවත් සේවයට පවසා තිබුණි. එවැනි අදහසක් ලෝකයා දරත්දී, ගන්නෝරුවේ විද්වතුන් කල්තියාම වැඩේට බැස තිබීම, එළඹෙන යල කන්නයේදී වර්ණවත් ඉරිඟු සිහිනයක් දකින්නට බලා සිටින සුළු පරිමාන ගොවියාට මහත් අස්වැසිල්ලක් වනු නොඅනුමානය.

සනත් එම්. බණ්ඩාර

sanathmalka@hotmail.com

Recommended For You

About the Author: Editor